'පළමු චිත්‍රපටයෙන්ම ද්විත්ව චරිත ලැබීම භාග්‍යයක්' - රිෂි ඇන්ජලා | දිනමිණ

'පළමු චිත්‍රපටයෙන්ම ද්විත්ව චරිත ලැබීම භාග්‍යයක්' - රිෂි ඇන්ජලා

මේ දිනවල තිරගත වන ජී. නන්දසේන අධ්‍යක්ෂණය කළ දෙවැනි වරම සිනමාපටය හරහා රිදීතිරය ආක්‍රමණය කළ ඇය රිෂි ඇන්ජලා.

* ඉතින් රිෂි කොහොමද පළමු සිනමා රංගනයට ලැබෙන ප්‍රතිචාර?

සාමාන්‍ය මට්ටමක තියෙනවා. සිනමා ශාලා සීමිත ප්‍රමාණයකයි දෙවැනි වරම තිරගත වන්නේ. එවන් වූ තත්ත්වයක් මත ලොකු ප්‍රතිචාරයක් ලබන්න බැහැනෙ. නමුත් වරදක් කියන්න බැහැ ලැබෙන ප්‍රතිචාර සතුටින් බාරගන්නවා.

* දෙවැනි වරම හි ඔබ ද්විත්ව රංගනයක යෙදෙනවා. ඒකත් සුවිශේෂියි?

ඒකනෙ. චරිතයේ නම සමන්මලි. බටහිර සහ ගැමි චරිත දෙකක්. කෙටියෙන්ම කිව්වොත් එකිනෙකට එකක් වෙනස්. පළමු සිනමාපටය තුළින්ම ඒ අන්දමේ චරිතයක් රඟන්නට ලැබීම වාසනාවක්. මොකද හැමෝටම එහෙම චරිත ද්විත්වයක් ලැබෙන්නේ නැහැ. මට ඒ ලැබුණු අවස්්ථාවෙන් මං උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මට හිතෙනවා.

* කොහොමද ඔබට දෙවැනි වරම සිනමාපටය සඳහා අවස්ථාව ලැබෙන්නේ?

අධ්‍යක්ෂවරයාම තමයි මට කතා කළේ. ඔහු සම්බන්ධ වූ නිර්මාණයන් සඳහා මං දායක වී තිබෙනවා. එහෙයින් ඔහු මා ගැන දන්නවා. ඒ හිතවත්කම මතයි මට කතා කළේ.

* දෙවැනි වරම රංගනයට ගිහින් ඔබ කතරගම මල් විකුණුවලු නේද?

ඒ අත්දැකීම නම් හරිම සුන්දරයි. ඒ වගේම හරිම ලැජ්ජාශීලීයි. කතරගම තමයි ෂූටිං තිබුණේ. සාමාන්‍ය විදියට මල් විකුණන ළමයි අතරට මමත් ගිහිල්ලා මල් විකුණුවා. සමහර මිනිස්සු හිතුවේ මං ඇත්තටම මල් කෙල්ලෙක් කියලා. මගෙන් මල් ගන්නත් ආවා. මුල් අවස්ථා කිහිපයකදී මං තරමක් චකිතයෙන් හිටියේ. පසුව හරි ගියා.

* පාරුවක තිබුණු දර්ශනය ගැනයි මං ඊළඟට අහන්නේ?

ඒ සීන් එක මතක් වෙද්දී තවමත් ඇඟ හිරි වැටෙනවා. මමයි පුබුදුයි ඒ පාරුවේ හිටියේ. වැව මැදදී පාරුව පෙරළෙන්න ගියා. වාසනාවට එහෙම වුණේ නැහැ. අදටත් අප ජීවතුන් අතර ඉන්නේ ඒකයි. නැත්නම් ජීවිතවලට පවා හානිවෙන්න ඉඩ තිබුණා.

* රිෂි රංගනයට පිවිසි අයුරු මතක් කළොත්?

පළමුවෙන්ම මං මේ ක්ෂේත්‍රයට එන්නේ මෝස්තර නිරූපිකාවක් විදිහට. රොසෑන් ඩයස් ගාව ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. පසුකාලිනව මං රංගනයට එනවා. ඒ සිහින විමන් ටෙලි නාට්‍ය හරහා. ඊට පසුව සිහින ටවුම නාට්‍යයේ රඟපෑවා.

* මේ වන විට ඔබ වෘත්තීය කලාකාරිණියක්?

එකට උත්තරේ ඔව් කියන එක.

* නමුත් ඔබ වැඩිය රඟපාන්නේ නැහැ?

මගේ මතයට අනුව වෘත්තීය රංගන ශිල්පිණියක් කියන්නේ නිතරම පෙනී සිටින අයකු නෙවෙයි. මං ඉඳහිට රඟපෑවත් මං කරන චරිතය කැපවීමෙන් සිදු කරනවා. ඒ චරිතය ලොකු පොඩි වුණත් මට අදාළ නැහැ. මං කරන්නේ ඊට සාධාරණය. මං වෘත්තීය වන්නේ එතෙන්දි.

* ඇයි ඉඳහිට රඟපාන්නේ?

ලැබෙන සෑම චරිතයක්ම බාර අරගෙන කාර්යබහුල වෙන්න මං ආස නැහැ. වසරකට එකක් හරි කමක් නැහැ හොඳ චරිතයක් කරනවා.

* අනිත් නිළියො වගේ ඔබ මුදල් හම්බ කරන්නේ රංගනයෙන් නෙවෙයිද?

රංගනයෙන් මුදල් හොයන්න මට අවශ්‍ය නැහැ. රංගනයේ යෙදෙන්නේ මං ආත්ම තෘප්තිය සඳහා පමණයි.

* රිෂිගේ පදිංචිය කොහේද?

හෝකන්දර.

* ඉගෙන ගත්ත පාසලත් මතක් කළොත්?

ගල්කිස්ස බාලිකා විදුහලින් තමයි මං ඉගෙන ගත්තේ.

* ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

ගැමි චරිතයක් කරන්න ආසයි.

* රිෂි වඩාත් කැමැති සිනමාවට ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද?

දෙකටම ආසයි. මේ කුමන මාධ්‍යයක වුණත් කමක් නැහැ. දැනෙන්න රඟපාන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මං කරනවා.

 

නව අදහස දක්වන්න