ආර්ථිකයේ මාර්ග සිතියම | දිනමිණ

ආර්ථිකයේ මාර්ග සිතියම

ස්ථාවර ආර්ථික සැලැසුමකින් හා දර්ශනයකින් තොරව රටක් ඉදිරියට ගෙන යා නොහැකි ය. රටක සංවර්ධනයේ පදනම එම ආර්ථික සැලැසුම යැයි කිව හැකි ය. අවාසනාවකට මෙන් නිදහසින් පසු අපේ රට භාරගත් බොහෝ දෙනකුට ලෝකය හා තරග කළ හැකි ආර්ථික දර්ශනයක් නිර්මාණය කර ගත නො හැකි විය. මේ අතරින් යම් දැක්මක් ඇතිව ආර්ථික ප්‍රතිසංස්කරණ රටට හඳුන්වා දීමට උත්සාහ කළ නායකයා ජේ.ආර්.ජයවර්ධන මහතා යැයි කියන්නට පුළුවන. ඉන්දියාව විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නටත් පෙර ජේ.ආර්.ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික පිළිවෙත හඳුන්වා දුන්නේය.

ලෝකයේ ආර්ථිකය දුවන පිළිවෙළ ව්‍යාපාර ආරම්භ කරන ආකාරය හා ලෝක ගනුදෙනු සිදුවන රටාව නොදැන රටක ආර්ථිකය ඔසොවා තැබීම දුෂ්කර ය. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වී ඇතැ’යි කියන්නේ ද, එක යායක් බවට පත් වී ඇතැ’යි කියන්නේ ද අන්තර්ජාතික ආර්ථික ගනුදෙනුවල ව්‍යාප්තියත් ඊට එකතු කරමින් ය. අද කිසිදු රාජ්‍යයකට හුදෙකලාවේ තම ආර්ථිකය දියුණු කරගත නො හැකි ය. ලෝක වෙළෙඳාම සමඟ සම්බන්ධ නොවන කිසිදු රාජ්‍යයක් දියුණුවට පත් වී ඇත්තේ ද නැත. චීනය ලෝකයේ දැවැන්තම ආර්ථිකයට හිමිකම් කියන්නේ ලොව අංක එකේ නිෂ්පාදකයාද, ලොව අංක එකේ නිර්යාතකයා ද බවට පත්වෙමින් ය.

ශ්‍රී ලංකාව වරින් වර ස්වකීය ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරමින් අසාර්ථක ගමනක යෙදී සිටියේ ය. වරෙක දේශීය කෘෂිකර්මයෙන් හා ව්‍යාපාර ජනසතු කිරීමෙන් දියුණුවීමට ගිය ශ්‍රී ලංකාව ආර්ථික පරාජයන් රැසක් ළං කර ගත්තේ ය. තව වරෙක විවෘත ආර්ථිකය විවේචනය කරමින් ආසියාවේ අසාර්ථක රාජ්‍යයක් බවට පත් විය. තවත් වරක් විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබාදීමට ගොස් පැවැති ව්‍යාපාර ද බංකොළොත් කර ගත්තේ ය. අපේ පාලකයන් ගෙන ඇත්තේ ආර්ථික තීන්දු නොව; ජනප්‍රිය දේශපාලන තීන්දු යැයි සිතන්නට පුළුවන. මේ මොහොතේ අප කල්පනා කළ යුත්තේ 1950 ගණන්වල ද, 1970 ගණන්වල ද අපට පිටුපසින් සිටි රාජ්‍යයන් අප පසුකොට ගොස් ආර්ථික ජයග්‍රහණලබා ගත්තේ කෙසේ ද කියා ය.

1948 නිදහස ලබා ගන්නා විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජපන් ආර්ථිකයට සමාන විය. අපට ඉතා සාර්ථක අපනයන ආදායමක් ලැබිණි. එය රටේ ආර්ථිකය හැසිරවීමට ප්‍රමාණවත් විය. එහෙත් ඉන් ඔබ්බට ගමන් කළ හැකි ආර්ථික උපාය මාර්ග ගැන අප එදා කල්පනා කළේ නැත. 1977 වන විට කොරියාව, තායිවානය වැනි රටවල් පසු වූයේ ද ආර්ථික වශයෙන් අපට වඩා දුර්වල තැනක ය. එදා අපි කොරියාවේ පැල්පත් විවේචනයට ලක් කළෙමු. එහෙත් අද වන විට දකුණු කොරියාව පසුවන්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ය. අද අපේ ශ්‍රමිකයෝ දකුණු කොරියාවට ගොස් රැකියා කරති. තායිවානය ලෝක වෙළෙඳාමේ තීරණාත්මක සාධකයක් බවට පත්ව සිටී. අද වනවිට අපට පිටුපසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානය, ඉතියෝපියාව වැනි රටවල් පමණි. ඉතියෝපියාව පවා ශීඝ්‍ර ආර්ථික පිම්මක් උදෙසා සැරසෙමින් සිටී.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නේ දීර්ඝ කාලයක සිට ය. ඔහුගේ තර්කය වන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම, අපේ සාගර කලාපය හා අපේ මානව සම්පත ප්‍රයෝජනයට ගනිමින් අපට ආසියාවේ බලවතකු බවට පත් විය හැකි බව ය. ඒ තර්කය නිවැරැදි බව ද කාලෝචිත බවද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඉන්දියන් සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රයක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකිය යන්න වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආර්ථික තර්කයකි. චීනයේ ලෝක ආර්ථික සැලැස්ම හා සේද මාවත දෙස බලන විට ද පෙනී යන්නේ වික්‍රමසිංහ මහතා ගේ යෝජනාව පහසුවෙන් ම යථාර්ථයක් බවට පත්කර ගත හැකි බව ය. අවශ්‍ය වන්නේ මේ සඳහා පසුබිම සකස් කිරීම ය.

පෙරේදා අරලියගහ මන්දිරයේ දී මීට අදාළ මාර්ග සිතියම එළි දැක්විණි. එය අපගේ ආර්ථික දර්ශනය හා වැඩපිළිවෙළ ලෙස ද ගත හැකි ය. දේශීය හා විදේශීය ආයෝජකයන් ආර්ථිකයට සම්බන්ධ කරගැනීම නව ව්‍යාපාර ආරම්භ කිරීම, අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනු සමඟ සම්බන්ධ වීම, මුල්‍ය කටයුතු ආදිය මේ මාර්ග සිතියමට සම්බන්ධ ය. මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මූලික වශයෙන් ලෝක බැංකුවේ හා ඕස්ට්‍රේලියාවේ සහයෝගය මතය. දැනට ලෝක ආර්ථික ගනුදෙනු හා ව්‍යාපාර දියුණුව අතින් ගත් කළ ශ්‍රී ලංකාව පසුවන්නේ එකසිය දහය වන ස්ථානයේ ය. උක්ත වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළහොත් 2020 වන විට අපට හිමි ස්ථාන හැත්තෑව බවට පත් වනු ඇත.

අද වනවිට අපට අවශ්‍ය වන්නේ ශීඝ්‍ර හා කඩිනම් ආර්ථික වර්ධනයකි. ඒ සඳහා පළමුව කළ යුත්තේ අන්තර්ජාතික සම්බන්ධතා ගොඩනඟා ගැනීම යැයි කියන්නට පුළුවන මහින්ද රාජපක්ෂ පාලන සමය යනු අන්තර්ජාතික සම්බන්ධතා මුළුමනින් ම පාහේ විනාශකර දමන ද යුගයක් සේ සැලැකිය හැකි ය. එදා අප වෙනුවෙන් බලවත් රාජ්‍යයන් ඉදිරිපත් වූයේ නැත. යුරෝපා සංගමය ආර්ථික තහංචි පැනවීය. ‍ලෝක බැංකුව ඇතුළු ජගත් මුල්‍යායතන අපට සහයෝගය දැක්වීම නවතා දැමී ය. මේ තත්ත්වය කණ පිට හැරවීමට වත්මන් ආණ්ඩුව සමත් විය. එය ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලබාගත් බරපතළ ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. මේ ජයග්‍රහණයේ වාසිය ලබාගත හැක්කේ නව කර්මාන්ත, නව ආර්ථික අවස්ථා,  නව ආයෝජකයන් ආදී සංකල්ප ඔස්සේ කටයුතු කිරීමෙන් යැයි සිතන්නට පුළුවන.

අගමැතිවරයාගේ දැක්මට අනුව ආයෝජන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය අපේ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රධාන මාර්ග දෙකකි. තවත් ආර්ථික සාධක දෙකක් වන්නේ අපනයන ක්ෂේත්‍රය හා සේවා සැපයුම් ක්ෂේත්‍රය යි. මේවා මගින් විශාල වශයෙන් රැකියා සම්පාදනය කරනු ලැබේ. ආයෝජකයන් පවතින පසුබිම යටතේ රටේ කර්මාන්ත ඇති කරන්නේ නැත. ඒ සඳහා ඇතැම් නීති ලිහිල් කළ යුතුය. ඇතැම් පොදු පහසුකම් වැඩි දියුණු කළ යුතුය. මැලේසියාව ආයෝජන ක්ෂේත්‍රය පුළුල් කළේ නව නීති - රීති හඳුන්වා දෙමින් ය. මෙබඳු පරිවර්තනයක් සඳහා රජය, දේශපාලකයන් පමණක් නොව ජනතාව පවා වෙනස් විය යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...