කෝ සැපතා මේ සංසාරේ | දිනමිණ

කෝ සැපතා මේ සංසාරේ

 අප ජීවත්වන සමාජය කෙතරම් අකාරුණික ද? කෙතරම් වියළි ද? මේ තත්ත්වය පැහැදිලි කරන සිදුවීම් දිනපතා ම පාහේ දකින්නට හා අසන්නට ලැබේ. මේවායින් ජනතා සිත්-සතන් කම්පා වී යනමුත් පෙරළා ඊට විසැඳුමක් ලෙස යමක් සිදු නො වන බව ද පෙනෙන්නට තිබෙන කාරණයකි. එක අතෙකින් වයස්ගත අසරණ හුදෙකලා මිනිසුන් අපට දකින්නට ලැබේ. ඔවුන්ගේ දිවි පැවැත්ම තහවුරු වී නැත. තව අතෙකින් සිය දිවි හානි කර ගැනීමට ආසන්න තරුණ-තරුණියෝ දකින්නට ලැබෙති. තවත් අතෙකින් අතිශය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන මිනිස්සු හා ගැහැනු ද සිටිති. මුළුමහත් සමාජයක් අසහනයෙන් හා පීඩනයෙන් කල්යවන බවක් දකින්නට ලැබේ.

ඊයේ පුවත්පත් වාර්තා කර තිබූ හිත ‍රිදෙන සිද්ධියක් අප සිහියට නැ‍ඟේ. එම ප්‍රවෘත්තියෙහි සඳහන්වන්නේ අවුරුදු හැත්තෑ එකක් වූ පියකු හා අවුරුදු හැට එකක් වූ මවක පාණදුර නගර සභාවේ ක්‍රීඩා පිට්ටනියේ ජීවත්වන බවය. ඒ මව අංශභාග රෝගයෙන් පෙළෙන අතර රෝද පුටුවක ජීවත්වන්නීය. ජීවත්වීම සඳහා කරනුයේ සිඟමන ය. පුදුමය වන්නේ මේ යුවළ දරුවන් සිව්දෙනකුගේ ආදරණීය මාපියන් වීම ය. දරුවෝ ව්‍යාපාර කරමින් සරුසාර ජීවිත ගත කරති. එක බෑණා කෙනකු ප්‍රසිද්ධ ප්‍රාදේශීය දේශපාලකයකු බව ද කියැවේ. සිදුවී ඇති නස්පැත්තිය කුමක් ද?

සිඟමන් යදින පියා කියන අන්දමට තම නිවස හා ඉඩම පවුලේ බාලයාට ලබාදී ඇත. ඒ ඔහු පුත්‍රයකු වන නිසා ය. අනෙක් අතට සම්ප්‍රදාය ද එය වන නිසා ය. ඉතිරි දරු තිදෙනා දියණියන් වන අතර ඔවුනට ද හැකි අයුරින් සලකා ඇතැ’යි පියා කියයි. එහෙත් දූවරු තිදෙනා බාල පුත්‍රයාට සැලකීම ගැන හොඳටම උරණවී ඇත. මහලු මාපියන්ට කිසිදු සැලකීමක් කිරීමට ඔව්හු ඉදිරිපත් නොවෙති. ඊළඟට ප්‍රශ්නයක් වන්නේ බාල පුත්‍රයා මහලු මාපිය යුවළට නොසලකන්නේ මන්ද යන්න ය. ඔහු ද දෙදෙනාම ගෙයින් ‍බැහැරකොට තිබේ. දරුවන්ගේ හැසිරීම මේ සිද්ධියෙන් හොඳහැටි පැහැදිලි කරගත හැකි ය. මේ එක සිද්ධියක් පමණි. දිනපතාම පාහේ මෙබඳු සිද්ධීන් වාර්තා කළ හැකි ය.

මෙය අප මුහුණ දෙන බරපතළ සමාජ ප්‍රශ්නයක් හැටියට ගත හැකි ය. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව මාපිය-දූදරු සබඳතා ඉතා හොඳින් පැවැතිය යුතුය. දරුවන් සිය මාපියන් වෙත පමණක් නොව; සියලු ඥාතීන් වෙතම දැක්විය යුත්තේ බලවත් ගෞරවයකි. වැඩිහිටියන් සිය දරුවන් වෙත රැකවරණය හා ආදරය බෙදාදෙන අතර පසුව දරුවෝ වැඩිහිටියන් වෙත රැකවරණය හා ආදරය බෙදා දෙති. අද එවැන්නක් දකින්නට නැත. ඇතැම් මාපියන් දරුවන්ට සලකන්නේ නැත. ඇතැම් දරුවන් මාපියන්ට සලකන්නේ නැත. දෙපැත්තේම වැරැදි තිබේ. දෙපැත්තේ ම අඩුපාඩු තිබේ. මෙය සංකීර්ණ සමාජ තත්ත්වයක් සේ ගත හැකි ය. සමාජයට සිය යුතුකම් හා වගකීම් පිළිබඳ නැවත සිහිපත් කළ යුතුව තිබේ.

පළමු සිද්ධිය දෙසට නැවත හැරී බැලුවහොත් අසරණ පියා කියා සිටින්නේ ජීවිතය තවත් අමාරු වුවහොත් දුම්රියට පැන දිවි නසාගන්නා බව ය. මේ පියා තනිව දිවිනසා ගනීවී යැයි කියන්නට බැරිය. ඔහු සිය රෝගී බිරිය ද කැටුව දුම්රියට පැන දිවි නසාගන්නට පුළුවන. එය කෙතරම් ඛේදවාචකයක් ද? මෙබඳු සිද්ධියක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී වැඩි කාලයක් ගෙවී ගියේ නැත. එහි හතරදෙනකු දිවි නසාගෙන තිබිණි. ඔවුන්ගේ දුක කියන්නට කෙනකු සිටියේ නැත. සමාජය ඔවුන් කොන්කර තැබූ බවක් ද අසන්නට ලැබේ. බරපතළ ඛේදවාචක සිදුවීමෙන් අනතුරුව කම්පාවීමෙන් පලක් නැත. සමාජයේ ගැටලු විසැඳීමට සාමූහික ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. අප තවම එබඳු තැනකට ගොස් නැත.

වයස්ගත පුද්ගලයන් සඳහා රැකවරණයක් නැති තත්ත්වය වර්ධනය වෙමින් පවතී. අපේ රටේ වයස්ගත පුද්ගලයන්ගේ ජනගහනය ද අධිකය. දියුණු රටවල් සිය රටවැසියන් සඳහා රක්ෂණ ක්‍රම පවත්වාගෙන යයි. එම රක්ෂණවල ඉලක්කය වන්නේ වයස්ගතවූ පසු ඔවුනට රැකවරණය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම ය. මුදල් ඇතොත් සැලකීමට ඕනෑ තරම් අය සිටිති. අපේ වැඩිහිටියෝ ජවය ඇති කාලයේ හොඳින් හරිහම්බකොට පසුව ඒ සියල්ල දරුවන් අතර බෙදාදී නිදහස් වෙති. මේ ක්‍රමය නරක නැත. එහෙත් තමාගේ රැකවරණය සඳහා ද කිසිවක් ඉතිරිවී තිබිය යුතුය. අපේ වැඩිහිටියන් තමන්ගේ අනාගතය සැලැසුම් නොකිරීම වරදකි. රජයෙන් ඔවුන් සඳහා වැඩසටහන් ඉදිරිපත් නොකිරීම ද අඩුවකි.

මෙබඳු සිද්ධීන් දුටු සැණෙන් වැඩිදෙනකු දරන මතය වන්නේ මීට නීතිමය පියවර ගත යුතු බවය. දරුවන් නොසලකන්නේ යැයි පොලිස් පොතේ පැමිණිල්ලක් ලියා තැබිය හැකි ය. එය විභාග‍කොට දරුවන්ට අවවාද කළ හැකිය. එසේ නැතහොත් නඩු විභාගයකට යා හැකි ය. මේ මගින් සියල්ල විසඳාගත හැකි යැයි සිතන්නට පුළුවන්කමක් නැත. එක අතෙකින් නඩු මාර්ගයට ප්‍රවේශවීම සංකීර්ණ ක්‍රියාවලියකි. තව අතෙකින් දරුවන්ට නොයෙක් හේතු දැක්විය හැකි ය. විවිධ තර්ක ඉදිරිපත් කළ හැකි ය. ඒ මගින් මේ යුතුකමෙන් ගැලවී යා හැකිය. වැඩිහිටි මාපියන් අනාථ නිවාසයක මුදල් ගෙවා නවත්වන්නේ වුව ඔවුනට නිය ම ආදරණීය ජීවිත ලැබෙන්නේ නැත. මෙය අපේ ශිෂ්ටත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳ අර්බුදයක් සේ සැලකීම වඩා නිවැරැදි ය.

නොයෙක් නාලිකාවල මාපිය - දූ දරු සබඳතාවලට අදාළ හැඟුම්බර වැඩසටහන් ඉදිරිපත් කරනු දකින්නට ලැබේ. මේ වැඩසටහන්වලදී අම්මලා හා තාත්තලා සෙම් - සොටු පෙරාගෙන හඬති. දරුවෝ ද කඳුළුවලින් ජීවිතය දියකර හරිති. ඒවා දකින - නරඹන අය ද හඬති. එහෙත් පෙරළා සජීවී සමාජයට යනවිට දරුවෝ අම්මලාට පරුස වචනයෙන් බණිති. අම්මලා ද දරුවන්ට පරුස වචනයෙන් බණිති. දැන් අප අත්දකින්නේ බෙහෙවින් වියරු වූ සමාජයක විවිධ හැලහැප්පීම් යැයි කියන්නට පුළුවන. සොයා බැලිය යුත්තේ මේ හැලහැප්පීම්වලට හේතුවයි. එලෙස හේතු-සාධක සොයා යෑමේ දී සමාජ විද්‍යාඥයන්ගේ මෙන්ම ‍මනෝ චිකිත්සකයන්ගේ ද සහයෝගය ලබාගත යුතුව තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...