පළාත් පාලන ඡන්දයේදී ශ්‍රිලනිපයට ඓතිහාසික ජයක් | දිනමිණ

පළාත් පාලන ඡන්දයේදී ශ්‍රිලනිපයට ඓතිහාසික ජයක්

සන්ධ්‍යා කරුණාරත්න

මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති ඩී.එම්. සුජිත් පුෂ්පකුමාර

ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණය කිසිවෙකුටත් නතර කළ නොහැකි බව මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති ඩී.එම්. සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයාව සිටියදී සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වූ බවත් මැතිවරණය ඉතිහාසයේ මැතිවරණය ජයගත් ඡන්ද මැෂිමක් විදියට එතුමාව හැඳින්විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මොරටුව කින්ග් ටේස්ට් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පසුගියදා (30) පැවැසුවේය.

ඒ මහතා මෙසේද පැවැසුවේය. පළාත් පාලන මැතිවරණය දැන් කරලියට ඇවිත් තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ දිනයන් ක්‍රම ක්‍රමයෙන් දින යවන්න ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් කටයුතු කරනවා. මේ මැතිවරණය තියන්න උත්සාහ කරන විට ඇතැමුන්ගේ කකුල් වෙව්ලනවා. මේ මැතිවරණය කවදාවත් එන එකක් නොවෙයි කියලා සමහර අය හිතුවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් මැතිවරණය තියන්නට දින වකවානු කීවාට පසුව ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා හිවල් රැලේ කකුල් වෙව්ලන්න පටන්ගෙන තිබෙනවා. දිනෙන් දින පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ මතය සමාජගත වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා රටේ ජනතාව මේ වන විට ඒකරාශීව සිටිනවා. බිම් මට්ටමේ ගම් මට්ටමේ සියලු ජනතාව ශ්‍රීලනිපයේ ජයග්‍රහණය උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඒකරාශීව සිටින බව අද වන විට සක්සුදක් සේ පැහැදිලිව තිබෙනවා. පසුගිය දිනවල විවිධ බොරු ප්‍රචාර පැතිරුණා. පසුගිය ආණ්ඩුව කළ බොරු දැන් හෙළි වී තිබෙනවා. රටේ තිබෙන ප්‍රශ්න එළියට දමා ජනතා මනස විකෘති කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. අපි කිව යුතුයි, ඔය කොයි කොයි හාමු මහත්තයා දැඟලුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ ඉතිහාසයේ සිට මේ රටේ මැතිවරණය ජයග්‍රහණය කර පෙන් වූ මැතිවරණ මැෂිමක්.

ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයාව සිටියදී තැබූ සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කරා ගෙනයන්න හැකි වූ එකම පුද්ගලයා ඔහු. මේ වසර තුළ අනිවාර්යයෙන් පවත්වන පළාත් පාලන මැතිවරණය ශ්‍රීලනිපය යටතේ ජයග්‍රහණය කරනවා කියන එක ගැන කිසිදු සැකයක් සංකාවක් විචිකිච්ඡාවක් නැහැ. දිනනවා දිනනවාමයි. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනවා කරනවාමයි.

අනේක විධ දුක් විඳලා දෙමාපියන් තමන්ගේ දරුවන් හදාවඩා උගන්වා විශ්ව විද්‍යාලයට යවනවා. විශ්ව විද්‍යාලයට ගිය මේ දරුවන් විවිධ දේශපාලන පක්ෂ එක්ව ඔවුන් උද්ඝෝෂණ සඳහා රැගෙන යනවා. දෙමාපියන්ගේ අවිහිංසක බලාපොරොත්තු සුනු විසුනු කරන්න උත්සාහ කරනවා. සයිටම් ආයතනයට විරුද්ධව විශ්වවිද්‍යාල දරුවන් උද්ඝෝෂණ, පන්ති වර්ජනවලට මේ වන විට සහභාගි වෙලා සිටිනවා.

හාමු මහත්තයන්ගේ අලුත්ම රැල්ල වෙලා තිබෙන්නේ සයිටම් එක. සයිටම් පටන් ගත්තේ කවුද? මොන කාලයේද? 2015 ජනවාරි 08 වැනිදායින් පසුව සයිටම් එකක් පටන් ගත්තේ නැහැ. ඊට වසර ගණනාවක් ඉහතදී තමයි සයිටම් පටන් ගත්තේ. මේ වන විට ඉන් ඉගෙන ගත් කණ්ඩායම් දෙකකට පමණ උපාධිය දීමට අවශ්‍ය ඉගෙනුම් කටයුතු අවසන් කරලා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැන්ද සයිටම් එකක් මෙරට තිබෙනවා කියලා ඇස් ඇරුණේ. අපිත් නියෝජනය කළ ආණ්ඩුව කාලයේ තමයි සයිටම් එක පටන් ගත්තේ. ඒ ආණ්ඩුවේ සිටි මහා බලපුළුවන්කාර උදවියගේ දරුවන් සයිටම් එකට ගියා. සයිටම් එකක් තිබෙනවා කියා මේ අයට මතක් වෙලා තිබෙන්නේ. 2015 මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය බිහි කරන්න හදපු ආණ්ඩුව සයිටම් එක මුවාවෙන් පරාජය කරන්න ඇතැම් පිරිස් උත්සාහ කරනවා. වංචා, දූෂණ නැති කරන්න බිහි කළ ආණ්ඩුව සයිටම් මුවාවෙන් ගෙදර යවන්න පුළුවන් කියලා සමහර හාමු මහත්වරු හිතාගෙන ඉන්නවා. අපට කියන්න තිබෙන්නේ ඒ හාමු මහත්වරු පව් කියන එක විතරයි.

මොරටුව මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මං. අපේ නගර සභාවේ තිබෙන ගැටලුවක් අපිත් එක්ක සාකච්ඡා කරන්න එකපාරටම දෙදාහක් තුන්දාහක් නගර සභා පරිශ්‍රයට හෝ අමාත්‍යාංශයට කඩා පැන්නොත් අපි මොකද කරන්නේ. මේ කඩා පනින අය රාජ්‍ය දේපළවලට අලාභ හානි කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්වවිද්‍යාල සිසුන් කඩා පනින විට යම් හෙයකින් සෞඛ්‍ය ඇමැතිවරයා එදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටියා නම් එතුමාට දෙයියන්ගේම පිහිටයි. මොකද මේ දරුවන් අමාත්‍යාංශය තුළට කඩා පැන්නේ විකෘති මානසිකත්වයකින්. ඒ දරුවන්ගේ මනස විනාශ කර විකෘති කිරීමට ඔවුන්ගේ ඔළුවලට කූට දේශපාලකයින් විෂ පොවලා තිබෙන්නේ. මේ දරුවන්ට අපි අනුකම්පා කරනවා.

සමාජය ගැන ඉගෙන ගන්න ඔවුන්ට තව ගොඩාක් දේවල් තිබෙනවා. රට ගැන දන්න උදවිය මේ කරන විනාශයට ඉදිරි දිනකදී පසුතැවෙයි. අද වන විට වෛද්‍ය පීඨවල දරුවන් පන්ති වර්ජනය කර තිබෙනවා. මේ පන්ති වර්ජනය අද උපදින දරුවාට පවා තර්ජනයක් එල්ල කරනවා. පන්ති වර්ජනය කිරීම නිසා වෛද්‍යවරුන් බිහි කිරීම ගැන මේ වන විට ප්‍රශ්න පැන නැඟී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ට උවමනා කරන්නේ ඒක තමයි. වෛද්‍යවරුන් බිහි වෙන්න වෙන්න දැන් සිටින වෛද්‍යවරුන්ගේ පෞද්ගලික වෛද්‍ය සේවාවට හානියක් වෙනවා. ආදායම ස්ථාවර කරගෙන තමන්ගේ මඩිහ තද කර ගන්න තමයි මේ උත්සාහ කරන්නේ.

ආදරණීය වෛද්‍ය සිසුන්ට අපි මතක් කරනවා, ආදරණීය දුවේ පුතේ, නංගියේ මල්ලියේ ඔබ විශ්ව විද්‍යාලයට එවන්නට ඔබගේ මව පියා නොවිඳිනා දුක් වින්දා. ඒ නිසා ඔබට යුතුකමක් හා වගකීමක් තිබෙන්නේ කූට දේශපාලඥයින්ට කඩේ යාමට නොවේ, තමන්ගේ මවට පියාට සහ රටට වූ ණය ටික ගෙවන්න පංති වර්ජනය අතහැර පන්තිවලට ගොස් ඉගෙන ගෙන වෛද්‍ය සම්පත රටට දායාද කරන්න කියන ඉල්ලීම අපි කරනවා.

උමා ඔය ව්‍යාපෘතිය ගැනත් මේ වන විට ගැටලුවක් පැන නැඟ තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයාව සිටියදී තමයි උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථම පරිසර අධ්‍යයන වාර්තා ගන්නවා. නමුත් මේ ව්‍යාපෘතියේ පරිසර අධ්‍යයන වාර්තා ගන්නට හිටපු බලවතුන්ට අමතක වුණා. වාර්තා ගත්තත් ඒවා ක්‍රියාත්මක කළේ නැහැ. ඉංජිනේරුවන්ගේ උපදෙස් පිළිගත්තේ නැහැ. තමන්ට ලැබෙන කොමිස් මුදල හනි හනිකට ලබා ගැනීම සඳහා උපදෙස් නොතකා ව්‍යාපෘතිය ආරම්භ කළා. හිතුමනාපෙට කළ නිසා එහි ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ව්‍යාපෘතිය නතර කිරීමට බැලුවා. ව්‍යාපෘතිය තුනෙන් දෙකක් කර අවසන් නිසා ඉදිරියට කර ගෙන යාමට මේ රජයට සිදු වෙනවා. කොමිස් ගත් පුද්ගලයන් ගැන වාර්තා කැඳවන්න දැන් තීරණය කර තිබෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ මේ කොමිස්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

කළුතර නගර සභාවේ හිටපු නගරාධිපති නලීන් මහේෂ් පෙරේරා මහතා

කොට්ඨාස නීර්ණ කමිටුව තමන්ගේ කාර්යභාරය කර අවසන්. දැන් පළාත් පාලන මැතිවරණය තියන්න කිට්ටුයි. ඒ නිසා පොලොන්නරුවේ ඉඳගෙන හූනියම් කරනවා. තොවිල් නටනවා. ජාති ආගම් වාදය සහ ප්‍රාදේශීය වාදය අවුස්සන්නට බලි තොවිල් කරනවා. හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් කළේ බොදු බල සේනා තොවිලය. ඒ තොවිලය නිසා තමයි ඔහුට පරාජය වීමට සිදු වුණේ. අද ඒකට නැවත හසුවෙන්න එපා. ඉදිරියට යන රට රැක ගන්න පියවර ගත යුතුයි.

සයිටම් පිටිපස්සේ දිනේෂ් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ මහත්වරු සිටිනවා. ඔවුන් අසනවා කවුද මේක හැදුවේ කියලා. දිනේෂ් ගුණවර්ධන මහතාම තමයි සයිටම් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පසුගිය රජයෙන් කළ සැලසුම් රහිත වැඩ නිසා ජනතාවගේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුවට කර ගහන්න වෙලා තිබෙනවා. රටේ සාමාන්‍ය ජනතාව හැසිරෙන විදිය අපි දන්නවා. පළාත් පාලන මැතිවරණවලදී ආණ්ඩුව තමයි හැමදාම ජයග්‍රහණය කළේ. බලය තිබෙන තැනට තමයි ජනතාව ප්‍රශ්න අරගෙන යන්නේ. උමා ඔය, සයිටම් ප්‍රශ්න, බැඳුම්කර ගැටලුව අරගෙන ගියේ ජනාධිපතිවරයා ළඟට. ඒවා විසඳීමට ජනාධිපතිවරයා උපරිම ලෙස දායකත්වය ලබාදෙනවා. පළාත් පාලන මැතිවරණයට අපි බය නැහැ. මෙවර මැතිවරණයේදි ශ්‍රීලනිපය ජයග්‍රහණය කර ඓතිහාසික වාර්තාවක් තබන බවට අපි බය නැතිව විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නාලක තරංග සමරවික්‍රම මහතා

පළාත් පාලන මැතිවරණය අවශ්‍ය බවට පසුගිය කාලයේ රට තුළ මතයක් ඇති කළා. අපට ඉක්මනින් මැතිවරණයක් දෙන්න කියලා අපි තමයි පළමුවෙන් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ. මේ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ජයග්‍රහණය කරන්නට ඕනෑම මොහොතක අපි සූදානම්. තමන්ගේ නියෝජිතයන් තමන්ගේ පළාත් සභාවට පත් කරන්නට ශ්‍රීලනිප පාක්ෂිකයින් නොඉවසිල්ලෙන් බලා සිටිනවා. පළාත් පාලන ආයතන ක්‍රියාත්මක මට්ටමේ නොමැතිකම නිසා රජය බැනුම් අහනවා වැඩියි. ඒ නිසා හැකි ඉක්මනින් මේ මැතිවරණය අපට ලබාදෙන්න. පළාත් පාලන ආයතන මේ වනවිට හිතුමනාපේ වැඩ. නිලධාරින්ට ඕන විදියට වැඩ කරන විට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක වන්නේ නැහැ.

ජනාධිපතිතුමා තමන්ගේ බලය ක්‍රියාත්මක කරන වේලාවක රටේ නැති ප්‍රශ්න ටිකක් ඉදිරියට ගෙනැවිත් ආණ්ඩුව පරාජය කිරීමට උත්සාහ කරනවා. රටේ ප්‍රශ්න බොහොමයක් ඇති කරලා පසුගිය ආණ්ඩුව විසින් දැන් උද්ඝෝෂණ මෙහෙය වනවා. මේ උද්ඝෝෂණ රිසි සේ කරන්න එතුමා ඉඩ දී තිබෙනවා. උද්ඝෝෂණ කළා කියලා රජය බිඳ වැටෙන්නේ නැහැ. මේ සියලු ප්‍රශ්න විසඳිය හැකි නායකයකු අපට ලැබී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන නිසා ප්‍රශ්න මතු කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. ඒ බව අපේ රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා. උතුර, නැඟෙනහිර, බටහිර, දකුණ සියල්ල එකම රේඛාවකට ගෙන සංවර්ධනය කරන්නට ජනාධිපතිතුමා කටයුතු කරනවා. සියලු ප්‍රශ්නවලට එතුමා යටතේ අපට පිළිතුරු ලැබෙමින් තිබෙනවා.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ. 

නව අදහස දක්වන්න