නුව­ණ­ක්කාර පරි­ග­ණක වීරයා මිනි­යන්ස් | දිනමිණ

නුව­ණ­ක්කාර පරි­ග­ණක වීරයා මිනි­යන්ස්

‘ඩිස්පිකබල් මී 3’ සජීවිකරණ සිනමා පට ලෝලීන් වෙනුවෙන් ම තිළිණ වුණු අලුත් ම අමෙරිකානු ප්‍රහසන, ක්‍රියාදාම පරිගණක සජීවීකරණ විද්‍යා ප්‍රබන්ධයයි.

‍ෙම් සිනමාපට මාලාවට මුල පිරුණේ මිනියන්ස් නම් ඒක සෛලික කහ පැහැති අපූරු පරිගණක චරිත මුල්කරගෙනයි. කෙවින්, ස්ටුවට්, බොබ් නම් මේ දඟකාර, කටකාර. නුවණක්කාර ඒක සෛලික සජීවීකරණ චරිත කෙතරම් ආදරයෙන් ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තාද කිවහොත් එය එදා මෙදා තුර වැඩි ම ආදායමක් ලද සියලු සජීවීකරණ නිර්මාණ අතරින් දෙවැනි ස්ථානය ගෙන තිබේ. ‘ඩිස්පිකබල් මී’, ‘මිනියන්ස්’ සාර්ථකත්වයේ ඊළඟ සිනමා ප්‍රතිඵලයයි. 2010 වසරේ ඩිස්පිකබල් මී පළමු සිනමා නිර්මාණය බිහිවූ අතර එය ලොව පුරා තිරගත කිරීමෙන් ලද ආදායම ඩොලර් මිලියන 543 ඉක්මවීය. එහෙත් නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 69ක් පමණක් විය.

‘ඩිස්පිකබල් 2’ සිනමාපට මාලාවේ දෙවැන්නයි. 2013 දී තිරගතවූ මේ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ නිර්මාණය ඔස්කාර් සම්මාන උලෙළේ ‍හොඳම සජීවීකරණ සිනමා පටයට සහ හොඳම මුල් ගීයට පවා නිර්දේශ විය. ඉහළ ම සුබ ප්‍රතිචාර ලද ‘ඩිස්පිකබල් මී 2’ නිෂ්පාදන වියදම වූ ඩොලර් මිලියන 76 පරදා ඩොලර් මිලියන 970ක් ලබමින් වසර 101 යුනිවර්සල් ස්ටුඩියෝ ඉතිහාසයේ වඩාත් ලාබදායක සිනමාපටය බවට පත්විය.

2017 ජූලි 10 වැනිදා තිරගත කෙ‍රුණේ ‘ඩිස්පිකබල් මී 3’ තෙවැන්නයි. සිනමා පට ත්‍රිත්වයේ ම වීරයා වූයේ ග්රූය. ඔහුට බොහෝ කලකින් නුදුටු නිවුන් සොයුරා ඩ්රූ මුණ ගැසෙයි. ග්රූගේ සොයුරා දක්ෂ, විනෝදකාමී, ප්‍රබෝධවත් අයෙකි. දෙදෙනා සහෝදර පෙම වඩාත් ශක්තිමත් කර ගන්නේ බල්තසාර් බ්‍රැට් නම් දුෂ්ඨයා පරාජය කිරීමටය. බ්‍රැට් අසූව දශකයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක සුපිරි දුෂ්ඨයාගේ චරිතය රඟපෑ අයෙකි. ගැටවර වයසට පියමං කිරීමෙන් පසු ඔහුට චරිතය අහිමි වූ අතර සැබෑ ජීවිතයේදී දුෂ්ඨයකු විය. ඔහු තම රොබෝ බලය ශක්තිමත් කර හොලිවුඩයේ මහා විනාශයක් කිරීමට දියමන්තියක් සොරා ගනී. ග්රූ, ඩ්රූ එක්වී දියමන්තිය නැවතගෙන මිනියන්ස්ලා බේරාගෙන ලොවට සිදු විය හැකි මහා විනාශය වළක්වන්නේ කෙසේද? ‘ඩිස්පිකබල් මී 3’ ඊට පිළිතුරු සපයයි. සිනමාපටය තිරගත කළ පළමු සති අන්තයේ අන්තර්ජාතිකව ලද ආදායම ඩොලර් මිලියන 9.9 කි. විචාරක මනාපය ද රොටින් ටුමැටෝස්වලට අනුව 85% කි. බ්‍රිතාන්‍ය, චීනය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, ජපානය යන රටවල අති සාර්ථක ලෙසින් සිනමාපටය තිරගත වෙමින් පවතී. සිනමා පටය වෙනුවෙන් මැක්ඩොනල්ඩ්ස් සමාගම සිංගප්පූරුවේ වෙන ම මිනියන්ස් ආහාර නිෂ්පාදනය කර තිබේ.

‘ටිකි ටිකි බාබිලෝ’ ගීය සුම්බා නර්තනයට ද එක්වී ඇත. මෙහි ප්‍රධාන චරිතය වන ෆෙලෝනියස් ග්රූට සහ නිවුන් සොයුරු ඩ්රූට හඬ කවන ස්ටීව් කැරල්, ලුසී වයිල්ඩ්ට හඬ කවන ක්‍රිස්ටන් විග්, බල්ත සාර් බ්‍රැට්ට හඬ කවන ට්‍රේ පාකර් ඇතුළු තරු පෙළ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් පැවැති පූර්ව දර්ශනයට සහභාගී වූයේ ඒක සෛලික කහ පැහැති පරිගණක චරිත ද සපිරිවරාගෙනය. බොබ්, ස්ටුවට්, කෙවින් මිනියන්ස්ලා මෙහිදී තාරකා පරයන නර්තනයක් ඉදිරිපත් කර ඇති අතර රසිකයන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටියහ. ආරම්භක සිනමා පටයේ සිටම ග්රූට හඬ කවන ස්ටීවන් පනස් හතර හැවිරිදි ජෝන් කැරල් ලයිෆ් සඟරාව මඟින් ‘අමෙරිකාවේ විනෝදකාමී පිරිමියා’ ලෙසින් ද නිර්දේශ වූවකි. එනිසාම ග්රූගේ චරිතය ද ඔහුට අභියෝගයක් නොවීය.

ලුසීට හඬ කවන ක්‍රිස්ටන් විග් හතළිස් තුන් හැවිරිදිය. ඇය ‘ඩිස්පිකබල් මී 2’ හඬ කැවීම උදෙසා ඇනී හඬ රංගන සම්මාන සඳහා නිර්දේශ වූවාය. හතළිස් හත් හැවිරිදි ට්‍රේ පාකර් හඬ නළුවකු වන්නේ ප්‍රථම වරටය. ‘ඩිස්පිකබල් මී 3’ බල්තසාර් බ්‍රැට් ඔහුගේ කුලුඳුල් හඬ රංගනයයි. මෙහි මාගෝ ලෙස මිරැන්ඩා කොස්ග්‍රෝව් ද, එඩිත්සේ ඩානා ගෙයර් ද, හඬ කවති. නෙව් ස්කැරල්, ස්ටීව් කෑගන්, ජුලී ඇන්ඩෲස්, ජෙනී ස්ලේට් සෙසු හඬ නළු නිළියන්ය. මෙල් ඇතුළු මිනියන්ස්ලාට හඬ කවන්නේ පියරේ කොෆින් විසිනි.

සිනමාපටයේ අධ්‍යක්ෂණය පියරේ කොෆින්, කයිල් බෝල්බාය නිෂ්පාදනය ඩිස්පිකබල් පළමු සිනමා පට ද්විත්වයේ තිර රචනය කළ සින්කෝ පෝල් සහ කෙන් ඩෝරියෝ ‘ඩිස්පිකලබල් මී 3’ ද තිර රචකයන්ය. සංගීතය හීටර් පෙරෙයිරා සහ ෆැරෙල් විලියම්ස්ගෙනි. ඔවුන් තනු නිර්මාණයේදී ජැක්සන්ගේ සහ මැඩෝනාගේ ගී තනුවල ආභාසය ලබා තිබේ. මිනිත්තු 90 ක, කාල පරාසයක දිවෙන ‘ඩිස්පිකබල් මී 3’ යුනිවර්සල් පික්චර්ස් බෙදා හැරීමකි.

සෙ.මි. 105ක් පමණ උස ඇඟිලි 3ක් ඇති මිනින්ස් සජීවීකරණ චරිත ලොව පුරා මිනියන්ස් සංස්කෘතියක් ගොඩ නඟා ඇත. අපූරු භාෂාවක් සමඟ අලුත් ම අත්දැකීමක් ‘ඩිස්පිකල් මී 3’ ද ලොකු කුඩා වෙනසක් නැතිව රසික ලොවට දායක කරන බව විචාරක මතයයි.

නව අදහස දක්වන්න