පළමුව ප්‍රමිතිය දෙවනුව උපාධිය | දිනමිණ

පළමුව ප්‍රමිතිය දෙවනුව උපාධිය

අපේ අධ්‍යාපනය තුළ සැලකිය යුතු අවුලක් ඇති බව රටේ සිදුවන ඇතැම් දේවල්වලින් හොඳ හැටි පැහැදිලි වෙයි. එක අතෙකින් නිදහස් අධ්‍යාපන රටාවක් පවතින්නේ වු ව තව අතෙකින් සෑම පළාතකටම සමසේ අධ්‍යාපන පහසුකම් බෙදී ගොස් නැත. කොළඹ කේන්ද්‍රීය ප්‍රමිතිගත අධ්‍යාපනයක් ඇතැ’ යි සිතන්නට කරුණු තිබේ. තවත් අතෙකින් රටට අවශ්‍ය අධ්‍යාපන පාඨමාලාවල හිඟයක් පවතී. ඒ අනුව රැකියා වෙළඳ පොළ හා අධ්‍යාපනය අතර පරස්පරයක් පවතී. සමාජය ඉල්ලා සිටින විනය හා  ශික්ෂණය අධ්‍යාපනය වෙතින් නොලැබෙන බවට චෝදනාවක් ද පවතී. මේ සියල්ල ගත් කල අපේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හා වැඩසටහන් වෙනස් විය යුතු යැයි කලක සිට ම හඬක් නැ‍ඟේ.

මේ අතර ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ අධ්‍යාපනය සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි ය. එහි ඉලක්කය වන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ලබාදීම ය. රාජ්‍ය විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන මෙන් ම සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන ද එහි පාඨමාලා ද මේ අනුව නියාමනයකට ලක්වනු ඇත. දැනට සියලුම අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් වගකියන හා ඒවායේ කටයුතු සොයා බලන රාජ්‍ය ආයතනයක් නැත . රාජ්‍ය විශ්වවිද්‍යාල පවා තම අභිමතයට අනුව අධ්‍යාපනය තීන්දු කරන බවක් පෙනෙන්ට තිබේ. පෞද්ගලික ආධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නො වේ.

පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ගතහොත් පළමු ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ද පශ්චාත් උපාධි දක්වා ද උගන්වන හා උපාධි ලබාදෙන ආයතන තිබේ. කළමනාකරණය, ඉංජිනේරු විද්‍යාව, ගණකාධිකරණය, ශාස්ත්‍රවේදී උපාධි වශයෙන් මේවා ගණනය කළ හැකි ය . වෛද්‍ය විද්‍යාව සඳහා උපාධි ලබාදෙන පෞද්ගලික ආයතනය සයිටම් යනුවෙන් හඳුන්වනු ලබන අතර ඒ සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පැන නැගී ඇත. මේ ආයතනයට එරෙහිව ගොඩනැඟී ඇති මූලික තර්කයක් වන්නේ සයිටම් ආයතනයේ පාඨමාලාව ප්‍රමිතියෙන් තොර බව ය. සයිටම් උපාධිය පමණක් නොව; රාජ්‍ය විශ්වවිද්‍යාලව ල ඇතැම් උපාධි පවා ප්‍රමිතියෙන් තොර යැයි සමහරු තර්ක කරති. එම තර්කවල ඇත්තක් තිබෙන්නට පුළුවන. එහෙත් ඒවා පිළිබඳ විමර්ශනයක් සිදු නොවේ.

නිදහස් අධ්‍යපනය පිළිබඳ යෝජනාව කරලියට එන්නේ 1940 ගණන්වලය. ජාතික වශයෙන් නිදහස් අධ්‍යාපන රටාව රට පුරා ප්‍රචලිත වන්නේ 1950 ගණන්වලය. ඉක්බිති වරින් වර අධ්‍යාපනය සඳහා විවිධ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වී තිබේ. ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට සිසුන් ඉඩ දී නැත. කුමක් වුව නිදහස් අධ්‍යාපනය එලෙසම පවතින අතර දීර්ඝ කාලයක සිට පෞද්ගලික අධ්‍යාපනය ද පුළුල් ලෙස ස්ථාපිත වී තිබේ. අද එය ඇත්තේ උපරිම තලයක යැයි කියන්නට පුළුවන. පෞද්ගලික අධ්‍යාපනයද මෙතරම් ප්‍රචලිත වූයේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා බහුල කිරීමේ හැකියාව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නැතිකම නිසා යැයි සිතන්නට පුළුවන. වෛද්‍ය, ඉංජිනේරු වැනි උපාධි සඳහා රටේ ඇති අධික තරගයෙන් මේ බව මොනවට පැහැදිලි වෙයි.

ලෝකයේ බොහෝ රටවල් ජාතික අධ්‍යාපන අවශ්‍යතා ඉටුකර ගන්නේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය යන දෙඅංශය ම උපයෝගි කර ගනිමින් ය .දියුණු ම රටවල් පෞද්ගලික අධ්‍යාපනයට වැඩි නැඹුරුතාවක් දක්වයි . පෞද්ගලික අධ්‍යාපනය යන්න ලෝක යථාර්ථයක් ලෙස ද ලෝකයේ නව ප්‍රවණතාවක් ලෙස ද හඳුනාගත හැකි ය. නිදහස් අධ්‍යාපනයට බාධාවක් නොවන අයුරින් ‍පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ හැකිය යන්න ජපානය, මැලේසියාව, කොරියාව , ඉන්දියාව වැනි රටවල් මනාව සනාථ කර තිබේ. මේ සෑම රටකම අධ්‍යාපනය නියාමනයකට ලක්කෙරේ. ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය ආයතන පවතී. කිසිඳු ආයතනයකට තම අභිමතයට අනුව පාඨමාලා සකස් කිරීමට හෝ ඉගැන්වීමේ රටා වෙනස් කිරීමට හැකියාවක් නැත. සියලු ප්‍රතිපත්තිමය තීන්දු අදාළ නියාමන ආයතන විසින් ගනු ලැබේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්න සමූහයක් පවතී. ජාත්‍යන්තර පාසල් ගතහොත් ඒවායෙහි ගුරුවරුන් පිළිබඳ සොයා බැලීමක් නැත. අයිතිකරුවාගේ කැමැත්තට අනුව ගුරුවරුන් තෝරා ගනු ලැබේ. සුදුසුකම් ඇති අය මෙන් ම නැති අය ද ඒ අතර සිටිති. ඔවුන් පොදු විභාගයකට හෝ පොදු පරීක්ෂණයකට ලක් වන්නේ නැත. ගුරුවරුන්ගේ පඩි හා වෙනත් දීමනා සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැත. ‍මේ අනුව නිතර ගුරුවරු මාරු ‍වෙති. විභාග අතළඟ තිබියදී ගුරුවරු මාරු වී යති. අපහසුවට පත්වන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා ය. පාඨමාලා ඉගැන්වීමේ ක්‍රම, පාසලේ පහසුකම් ගැන පමණක් නොව, ගුරුවරුන්ගේ වගකීම් හා ඔවුන් සඳහා වන පහසුකම් ගැන ද සොයා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනයේ ආරම්භය 15 වන සියවස තරම් ඈතට ගමන් කරයි. විශේෂයෙන් අපේ අධ්‍යාපනය මුල සිට ම හැඩගැසුණේ බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ය. භාෂාව පවා දියුණු වන්නේ බුදු දහම ආශ්‍රය කරගෙන ය. පසුව පෘතුගීසි ( 1505 - 1640) ලන්දේසි (1641 - 1795) ඉංග්‍රීසි (1796 - 1947) යන ජාතීන්ගේ පාලනය යටතේ ද අධ්‍යාපනයේ විවිධ වෙනස්කම් ඇති විය. මේ එකක්වත් නරක යැයි කිව නො හැකි ය. විශේෂයෙන් ඉංග්‍රීසි පාලනය යටතේ අපේ අධ්‍යාපනයට සිදු වූ සේවය අති මහත් යැයි කිව හැකි ය. ඉංග්‍රීසි පාලනය යටතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනයක් රටේ පිහිටුවන්නේ 1869 දීය. එම ආයතනය අධ්‍යක්ෂකවරයකු යටතේ පාලනය වූ අතර එහි වගකීම වූයේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම ය. මේ ආයතනය ද ස්වාධීන අධිකාරියක ස්වරූපයෙන් පැවැති බවක් පෙනී යයි.

අපේ අධ්‍යාපනයට ප්‍රමිතියක් ඇති කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. පිරිවෙන් අධ්‍යාපනය බොහෝ දෙනකුගේ සැලැකිල්ලට ලක්වන්නේ නැත. පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ ද, ජාත්‍යන්තර පාසල් තුළ ද සිදුවන්නේ කුමක් දැ’යි බොහෝ දෙනෙක් නොදනිති. මේවා ඉබාගාතේ කටයුතු කරන්නේ යැයි චෝදනාවක් නැඟුවහොත් එහි අසාධාරණයක් නැත. සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් පොදු නියාමනයක් ඇති කළ යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර ය. එවැන්නක් පැවැතියේ නම්; සයිටම් අර්බුද වැනි දේවල් ඇතිවීමට හේතුවක් නැත. ප්‍රමාද වී හෝ නියාමනයට අදාළ ස්වාධීන අධිකාරියක් පිහිටුවීමට අදහස් කිරීම වැදගත් ය.

නව අදහස දක්වන්න