උමා ඔයේ කතාන්දරය! | දිනමිණ

උමා ඔයේ කතාන්දරය!

වත්මන් ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදු කළ පව් ගොන්නක වන්දි ගෙවන්නට සිදු වී ඇතැ’යි කෙනකු තර්කයක් මතු කළ හොත්; එය කිසිවිටෙකත් බොරු කළ නො හැකි ය. සයිටම් ඇති කළේ ගිය ආණ්ඩුව ය. මහින්ද මහතා ඊට පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ය. දැන් එය ජාතික අර්බුදයකි. එයාර් ලංකා සමාගම ලාභ ලබමින් තිබිය දී එහි පරිපාලනය හිතුවක්කාරී ලෙස වෙනස්කොට පාඩු ලබන තත්ත්වයට පත් කළේ මහින්ද මහතා ය. දැන් එහි පාඩුව විඳින්නට වත්මන් ආණ්ඩුවට සිදු වී තිබේ. රටට ඔ‍රොත්තු නොදෙන තරම් විදේශ ණය ගත්තේත් ගිය ආණ්ඩුව ය. දැන් එහි පොලියත් සමඟ ‍ගෙවන්නට සිදුවී ඇත්තේ වත්මන් ආණ්ඩුවට ය. තවත් මෙබඳු ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් පෙන්වා දිය හැකි ය.

අලුත්ම අර්බුදය මතු වී ඇත්තේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙනි. මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ය. ව්‍යාපෘතිය නිසා මුළු ඌව පළාතම විනාශ වන තත්ත්වයක් උද්ගත ව තිබේ. ප්‍රදේශ ගණනාවක ළිං සිඳී ඇත. පොළොව ඉරිතලා ඇත. නිවාස කඩා වැටෙන්නටත් ගිලා බසින්නටත් පටන්ගෙන තිබේ. මේ හැරෙන්නට උමා ඔයේ උමං මාර්ගයෙන් ජලය කාන්දු වන්නට පටන්ගෙන ඇත. දිනකට ජල ගැලුම් ලක්ෂ ගණනක් එයින් පිටතට ගලා යයි. මේ ජලකාන්දුව නිසා තවත් නායයෑමක් හෝ වෙනත් විපතක් හෝ සිදුවන්නට හොඳට ම ඉඩ තිබේ. දැන් මේවාට විසැඳුම් සෙවිය යුත්තේ වත්මන් ආණ්ඩුව ය. ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

පෙරේදා බණ්ඩාරවෙලදී පැවැත් වූ මහජන උද්ඝෝෂණයට සහභාගී වු පිරිස අති විශාලය. මුළු ඌව පළාතම ගිනියම් වී ඇතැ’යි කීම නිවැරැදිය. නගරයේ සියලු කඩ සාප්පු වසා දමා තිබිණි. පාරවල් දිගේ කළු කොඩි ලෙළදෙනු දක්නට ලැබිණි. ගමනාගමනය මුළුමනින්ම අඩාල වූ අතර පාසල් දරුවන්ගෙන්, හිස් ව පැවැතිණි. උද්ඝෝෂකයෝ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කරති. එක; ඔවුන්ගේ ජනාවාස, පානීය ජලය, ගොවිබිම් ආරක්ෂා කර දිය යුතුය. දෙක; ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ අයට නිසි වන්දියක් ලබා දිය යුතුය. තුන; ව්‍යාපෘතියේ උමං මාර්ගයෙහි ඉතිරි කොටස් සම්පූර්ණ කරන්නට පෙර පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් ලබාදිය යුතුය. හතර; මේ ප්‍රශ්න විසඳන තුරු ව්‍යාපෘතියේ ඉදිකිරීම් තාවකාලිකව නතර කළ යුතුය. මේ සියල්ල සාධාරණ ඉල්ලීම් ය.

රටේ සංවර්ධනය සඳහා මහා පරිමාණ ව්‍යාපෘති අවශ්‍යවේ. ඒවා සිදු කළ යුත්තේ ජනතාවට හා පරිසරයට හානියක් නො වන අයුරින් ය. එබඳු ව්‍යාපෘති ඉදිකිරීමට පෙර පාරිසරික වාර්තා සකස් කොට ඒවා විද්‍යාත්මක පිළිවෙළකට අනුමත කරගත යුතුය. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ මේ කිසිවක් නැතිව හිතුවක්කාරී ලෙසය. ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මුල්ගල තබන්නේ 2009 අප්‍රේල් 29 දාය. ඊට අදාළ පාරිසරික වාර්තාව අනුමැතියට ඉදිරිපත් කරන්නේ 2011 අප්‍රේල් 11 දාය. පළමුව මේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ‍ඩො. මි.250කි. පසුව එය ඉරානයේ පරාබ් සමාගමට ලබා දෙන්නේ ඩො. මි. 553 කටය. මේ ව්‍යාපෘතිය පිළිබඳ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු වී නැත. ඒ ගැන ‍සොයා බැලීමට කෙනෙකුද එකල සිටියේ නැත.

ව්‍යාපෘතිය පිළිබඳ විවේචන ඉදිරිපත් කරන අයගේ අදහස වන්නේ හම්බන්තොට ප්‍රදේශය ජලයෙන් පෝෂණය කිරීම සඳහා ඌවේ සාරය උරා බී ඇති බව ය. එය ඇත්තක් යැයි සිතන්නට කරුණු තිබේ. උමා ඔය ඌවේ ප්‍රධාන ගංගාව ලෙස සැලකේ. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශාල කොටසක්ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් විශාල කොටසක් ද මෙහි ජලයෙන් පෝෂණය වෙයි. වසර ලක්ෂ ගණනක් තිස්සේ උමාඔය ගලා ගිය ස්වභාවික ගමන් මාර්ගය වෙනස් කළ මහින්ද රාජපක්ෂ මහතා එහි වාසිය හම්බන්තොටට ලබා දෙන්නට පියවර ගත්තේ ය. මෙයින් ඌවේ ජනතාවට පමණක් නොව මහවැලි ප්‍රදේශවල ජනතාවට ද හානියක් සිදු විය හැකි ය. මන්දයත්; රන්ටැඹේ ජලාශයේ එක් සැපයුම් මාර්ගයක් වන්නේ උමා ඔයයි. එහි ජලය දකුණට හැර වූ පසු රන්ටැඹේ ජලධාරිතාව ශීඝ්‍රයෙන් පහළ බසින්නට පුළුවන.

උමා ඔය යටතේ ක්‍රියාත්මක වූ වෙනත් ජල ව්‍යාපෘතිද මීට පෙර පැවැතිණි. මහා පරිමාණ ව්‍යාපෘති හයක් හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති දහසයක් ඒ අතර තිබේ. මේ හැරෙන්නට උමා ඔයේ ජලයෙන් කුඹුරු අක්කර 30,000ක් වගා කර තිබේ. දැන් මේ සියල්ල පවතින්නේ අවදානම් සහගත තත්ත්වයක යැයි කියන්නට පුළුවන. ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ හාලිඇල, බදුල්ල, වියළුව, මහියංගණය යන ප්‍රදේශවල පානීය ජල ප්‍රශ්නය මේ වනවිටත් උග්‍ර වී පවතී. ඇතැම් ප්‍රදේශවලට බවුසර් මඟින් ජලය බෙදයි. බත්මැඩිල්ල ගොවි ජනපද ව්‍යාපාරය මේ නිසා සම්පූර්ණයෙන් ම පාහේ අවදානමට ලක් වී ඇත. ඌව ගිනියම් වී ඇත්තේ නිකම් ම නොවන වග මෙයින් පැහැදිලි වනු ඇත. එක්කෝ මේ ව්‍යාපෘතිය නැවත සලකා බලා ප්‍රතිසංස්කරණ මත ගොඩනැඟිය යුතුය. එසේ නැතහොත් නවතා දැමිය යුතුය.

උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළ සමයේ දිගම උමං මාර්ගයක් ගැන දේශපාලකයන්ගේ වර්ණාව අපට අසන්නට ලැබිණි. දැන් මුළු ඌව විනාශ මුඛයට ඇද දමා ඇත්තේ ද එම උමං මාර්ගයයි. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර කළ ඉරාන සමාගම ගැන සොයා බැලීමක් ද ගිය ආණ්ඩුව සිදුකර නැත. ඔවුන් භාවිත කරන තාක්ෂණය හා යන්ත්‍ර - සූත්‍ර ශ්‍රී ලංකාවේ පරිසරයට හා භූ විෂමතාවට කිසිසේත් නොගැළපෙන බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. කාන්තාරයේ උමං හාරන යන්ත්‍රවලින් ශ්‍රී ලංකාවේ කඳු හෑරීම අනුචිත බව සමහරු පෙන්වා දෙති. කුමක් වුව ඌවේ උස් බිම් මේ වන විට කම්පනයට ලක් ව ඇතැ’යි සිතන්නට පුළුවන. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ දුර්වල කඳු කඩා වැටීම ය . මේවා ගැන කල්පනා කරන්නට තිබුණේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට කලින් ය.

කුමක් වුව ඌවේ ජනතාවට සහන සැලැසීම ආණ්ඩුව මත ද , ජනාධිපතිවරයා හා අගමැතිවරයා මත ද පැටවී තිබේ. ජනාධිපතිවරයා කියා ඇත්තේ ඌවේ ජනතාවගේ උද්ඝෝෂණය සාධාරණ බව ය. උද්ඝෝෂකයන්ගේ නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා කරන සාකච්ඡාවක් අද පැවැත් වේ. අපි එම සාකච්ඡාව දෙස බලා සිටිමු.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...