සරසවි සිසුන් 03කට දැඩි ඇප කොන්දේසි | දිනමිණ

සරසවි සිසුන් 03කට දැඩි ඇප කොන්දේසි

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

කුරුදුවත්ත පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට  ශාරීරික හා ලිංගික වශයෙන් නවක වදය ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බවයි.

එය නවක වදය වැලැක්වීමේ පනත යටතේ දඩුවම් ලැබිය  හැකි වරදක් බැවින් සැකකරුවන්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

එම ඉල්ලීම විරෝධය පළ කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ අදාළ සිද්ධියට සැකකරුවන් සම්බන්ධ නොමැති බවයි.එමෙන්ම ශිෂ්‍යයින් මර්දනය කිරීමේ අරමුණින් පොලීසිය නවක වදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උත්සහ කරන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා දන්වා සිටියේ පොලීසිය විසින් චෝදනාවට අදාළ කරුණු බී වාර්තාව මඟින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් රුපියල් 50,000 බැඟින් වූ පුද්ගලික ඇප  මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස සැකකරුවන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී නවක වදය සිදු කිරීම සම්බන්ධයෙන්  පැමිණිලි ඉදිරිපත් වුවහොත් ලබාදුන් ඇප කොන්දේසි අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.

වැඩිදුර නඩු විභාගය ජුලි මස 11 වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නව අදහස දක්වන්න