ජීවිතය එපා වෙලා ද? | දිනමිණ

ජීවිතය එපා වෙලා ද?

 දිනපතා රටේ සිදුවන දිවි නසා ගැනීම් දෙස බලන විට පෙනී යන්නේ ඒ අතින් ලෝකයේ පළමු තැන ලබා ගැනීමට අපට වැඩි කාලයක් ගත නො වන බව ය. ‍මෙසේ දිවි නසා ගැනීමට ලක්වන අයගෙන් වැඩි පිරිස තරුණ වයසට අයත් වෙති. එයින් පෙනී යන්නේ අනාගතය පිළිබඳ බලවත් අර්බුදයකි. මේ වනවිට බොහෝ දෙනකුගේ කල්පනාව වී ඇත්තේ දිවි නසා ගැනීම සියලු ප්‍රශ්නවලට විසැඳුමක් බව ය. දිවි නසා ගැනීම තවත් ප්‍රශ්න සමූහයකට මුල මිස විසැඳුම් මාර්ගයක් නො වන බව අඥානයාට කිසි දිනෙක වැටහෙන්නේ නැත. මේ තත්ත්වය වටහා දිය හැකි මාර්ග කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය.

ඊයේ ජාතික පුවත්පත් බොහොමයක මුල් පුවත බවට පත් ව තිබුණේ කඹුරුපිටිය පළාතේ පවුලක ඛේදවාචකයකි. එම පුවතට අනුව දරු තිදෙනෙක් හා පියෙක් ගෙල වැළලාගෙන මිය ගොස් සිටිති. දරුවෝ යෞවන වයසේ පසුවූවෝ වෙති. ඒ අතර සාමණේර හිමිනමක් ද සිටිති. කරුණු සොයා යන විට පැහැදිලි වන්නේ පවුල් ආරවුලක් මත ඛේදවාචකය සිදු වී ඇති බවය . මේ පවුලට අයත් මව එනම්; මියගිය පුරුෂයාගේ බිරිය නිවෙස හැර ගොස් ඇත. ඒ කුමන සාධක මත ද යන්න පැහැදිලි නැත. ආර්ථික දුෂ්කරතා වන්නට පුළුවන . අයථා සම්බන්ධතා හෝ වෙනත් සම්බන්ධතා ‍හෝ මත ආරවුල ඇතිවන්නටත් පුළුවන. කුමක් වුව අවසානය ඛේදවාචකයකි.

මේ පවුලේ පසුබිම සොයා යන විට පැහැදිලි වන්නේ ආර්ථික අපහසුතා බෙහෙවින් පැවැති බව ය. ආර්ථික අපහසුතා ඇත්තේ මේ පවුලට පමණක් ‍නොවේ. ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් රැසක් සිටිති. ඒ සියලු දෙනා දිවි නසා ගැනීමට සැලැසුම් හදන්නේ නැත. හතළිස් හතර හැවිරිදි ස්වාමි පුරුෂයා කියා ඇත්තේ බිරිය නිවෙස හැර ගිය පසු ප්‍රශ්න උග්‍ර වූ බවකි. තවත් කරුණු සොයා බලන විට පෙනී යන්නේ සැමියා නිතර ආරවුල් ඇති කරන බව ය. බිරියගේ වෙන් වීමට ද එය හේතුවක් වන්නට ඇත. කුමක් වුව මේ ආරවුලට සැමියා වගකිව යුතු ය . බිරිය ද වගකිව යුතුය. කිසිවකුට සමාවක් දිය නොහැක්කේ දරුවන් තිදෙනෙකුගේ ජීවිත මේ මඟින් අහිමි වී ඇති නිසා ය.

පවුල් ආරවුල් අතින් ගත්ත ද ශ්‍රී ලංකාව පවතින්නේ සතුටුදායක තැනක නොවේ. පොලිසියට ලැබෙන පැමිණිලිවලින් ද අධිකරණයේ විභාග වන නඩුවලින් ද මේ තත්ත්වය හොඳ හැටි පැහැදිලි කර ගත හැකි ය. අඹු - සැමියන් අතර ගැටුම් උග්‍ර ය . මාපියන් හා දරුවන් අතර ගැටුම් ද උග්‍ර ය. ‍මේ හැර ඥාතීන් අතර ගැටුම් ද අසල්වැසියන් අතර ගැටුම් ද පවතී. සැමියා බිරියට ඇහුම්කන් දෙන්නේ නැත . බිරිය සැමියාට ඇහුම් කන්දෙන්නේ නැත. දරුවන් මාපියන්ට කීකරු නැත. මාපියන් දරුවන්ට ඇහුම්කන් දීමට සූදානම් නැත. එක අතෙකින් මානුෂික සම්බන්ධතා බිඳ වැටී ඇත. තව අතෙකින් එකිනෙකා අතර තියුණු තරගයක් පැන නැඟී ඇත.

සමාජ විද්‍යාත්මක ව මේ ප්‍රශ්නය දෙස බලන විට පුද්ගලයා හුදෙකලා වී ඇති බවක් පෙනෙන්නට ති‍බේ. අතීතයේ පවුල යනු විශාල ඒකකයකි. පරම්පරා කිහිපයක් එක පවුලකට අයත් විය. ඔව්හු සාමුහිකව ගැටලුවලට මුහුණදුන්හ. ඒ පවුල තුළ නායකත්වයක් තිබිණි. උපදේශන තිබිණි. පවුලේ සාමාජිකයන් ගැටලු ගැන සාකච්ඡා කිරීම පරණ පවුල්වල කැපී පෙනෙන ලක්ෂණයකි. නූතන පවුල්වල සාකච්ඡාවක් නැති තරම්ය. තීරණ ගන්නේ තනි -තනිව හුදෙකලාව යැයි කියන්නට පුළුවන. මීට හේතුව සමාජයේ දියුණුව යැයි සමහරු කියති. හේතුව තරගය යැයි තව සමහරු කියති. කුමක් වුව පුද්ගයා හුදෙකලා වී ඇති බව කීම සත්‍යයෙකි. සාමුහිකව ගැටලුවලට මුහුණදීමක් ඇත්තේම නැති තරම් ය.

අතීත ගමක් ගතහොත් ගමට නායකයෝ සිටියෝ ය. සමිති සමාගම්වල උපදේශකයෝ සිටි‍යෝ ය. අත්දැකීම් බහුල වැඩිහිටි පිරිසට ගරු කරන සමාජයක් ද එදා පැවතිණි. විශේෂයෙන් ජීවත්වීමේ දී ඕනෑම පුද්ගලයකු ලැජ්ජා-භය ඇතිව ජීවත්වීමට උත්සාහ කළ බවක් පෙනෙයි. මේ ලැජ්ජා - භය යන්නෙන් අ‍පේක්ෂා කළේ විනය ගරුකභාවය යි. නැතහොත් ශික්ෂණයයි. සමාජයක ඉදිරි ගමනට විනය අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. එදා සමාජය හා එහි පැවැතුම් රටාව ඒ අයුරින් ම අදත් පවත්වාගෙන යා නොහැකි ය . එහෙත් අදටත් හෙටට ත් , සමාජයේ යහ පැවැත්ම සඳහා විනය හා හික්මීම අවශ්‍ය වේ . නූතන සමාජය තුළ විනය හොඳටම පිරිහී ඇත.

දියුණු රටවල් මේ සම්බන්ධයෙන් භාවිත කරන ක්‍රමවේද කිහිපයක් ති‍බේ. එක; පවුල් උපදේශන සේවා පවත්වා ‍ගෙන යෑම ය. දෙක; සමාජ සංවිධාන ඔස්සේ වින්දිත කණ්ඩායම්වලට උපකාර කිරීමය. තුන; වින්දිතයන් එක මේසයකට ගෙන්වා සාකච්ඡා කිරීමට අවස්ථා සැලසීමය. පවුල් ආරවුල් , තරුණ අසහනය, පුද්ගල ගැටුම් ගැන පමණක් නොව; අපරාධකරුවන් ගැන පවා බලන ආයතන හා සංවිධාන දියුණුරටවල පවතී. කෙනකු අපේ රටේ පවත්නා සමථ මණ්ඩලය ද මීට සමාන යැයි කියන්නට පුළුවන. එහෙත් අපට පෙනෙන හැටියට සමථ මණ්ඩලය මඟින් සිදු කෙරෙන්නේ සාමාන්‍ය නඩු විසැඳීමය. එය ආරවුල් හා ගැටුම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරන හා විසැඳුම් ක්‍රි යාමාර්ග ලෙස විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන තැනක් නො වේ.

කඹුරුපිටියේ ඛේදවාචකය ගතහොත් එය වළක්වා ගත හැකි ව තිබූ අපරාධයකි. ‍මෙහි එන පුරුෂයා නූගත් ‍කෙනකු වන්නට පුළුවන. බිරිය ද බුද්ධිමත් නොවන්නට පුළුවන. එහෙත් මේ දෙදෙනා ම උපදේශන මගින් හරි තැනකට ගත හැකි ව තිබිණි. පුරුෂයා සමඟ කතා කිරීම ට කෙනකු සිටියේ නැත. බිරිය සමඟ කතා කිරීමට කෙනකු සිටියේ ද නැත. අසල්වැසියන් පවා ඔවුන් කොන්කර සිටි බවක් දැනගන්නට ලැබේ. මිනිසා හුදෙකලා කිරීම, කොන් කිරීම කිසි කලෙකත් නො කළ යුත්තකි. ඒ මඟින් පුද්ගලයා කලකිරීමට පත් වේ. ප්‍රචණ්ඩත්වයට ද පෙළැඹේ. ‍මෙබඳු අර්බුද විසැඳීම සඳහා සමාජය ද යම් වගවීමක් දැරිය යුතුය.

සැම නිවසකම ද සැම පවුලකම ද සිනහවක් රැඳී තිබිය යුතු යැයි කතාවක් තිබේ. එවිට මුළු මහත් ජාතිය ම සතුටින් කල් යවන්නේ යැයි සිතන්නට පුළුවන. පවුලකට හා නිවසකට සිනහව උරුම වන්නේ සාමූහිකව සැනසීමෙන් ජීවත් වීමෙන් ය. ඒ සාමුහික බව ගොඩනැඟීම සඳහා ද සැනසීම උදාකර ගැනීම සඳහා ද මිනිසා බොහෝ කැපවීම් කළ යුතු ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...