ඩෙංගු පාලනය කරන්න විද්‍යාත්මක වැඩපිළිවෙළක් අවශ්‍යයි | දිනමිණ

ඩෙංගු පාලනය කරන්න විද්‍යාත්මක වැඩපිළිවෙළක් අවශ්‍යයි

ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ අද වනවිට සමස්ත දිවයිනම වෙලාගත් උවදුරක් බවට පත්ව අවසන්ය. දේශපාලන ආගමික, සංස්කෘතික හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතයට අද වනවිට හැට නව දසකට වැඩි පිරිසක් බිලි වී ඇති අතර දෙසීයකට අධික පිරිසක් මියගොස් තිබේ. සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් තුළ අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

ඩෙංගු ව්‍යසනයේ පරිමාව බොහෝ අවස්ථාවලදී දේශපාලන සංවාදයක් බවට පත්ව ඇති අයුරු අද වනවිට නිරීක්‍ෂණය වේ. ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ බේදයකින් තොරව ඩෙංගු ව්‍යසනයට එරෙහිව ජාතික හැඟීමකින් යුතුව මෙන්ම අතිශය සංවේදී කෝණයකින් විමසා බැලීම අප හමුවේ ඇති වගකීමයි.

පෞද්ගලිකව තම නිවාස සහ පරිශ්‍ර මෙන්ම ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියකු විසින්ම දැරිය යුතු වීම ඩෙංගු මර්දනයේ ප්‍රමුඛ අවස්ථාවයි. දෙවනුව පළාත් පාලන ආයතන සහ වෙනත් රජයේ ආයතන වෙත ඍජුවම එම වගකීම පැවරේ. අද වනවිට පළාත් සභා සහ පළාත්පාලන ආයතන බල ප්‍රදේශ වල කැළි කසළ අර්බුදය ඩෙංගු මර්දනයට ප්‍රධානම බාධකයක් වී ඇති බව ප්‍රදර්ශනය වෙමින් තිබේ. පළාත් සභා සහ පළාත් පාලන ආයතන පරිපාලන ව්‍යුහයන් දිගින් දිගටම කැළි කසළ කළමනාකරණය කිරීමේ ජාතික අවශ්‍යතාවට මුහුණ දීමට අපොහොසත්ව තිබීම දැවැන්ත සමාජ අර්බුදයක් බවට පත්වෙමින් පවතී. මධ්‍යම රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත මෙන්ම ජනතා බදු මුදල් එකතු කිරීමෙන් යැපෙන පළාත් සභා සහ පළාත් පාලන ආයතන කසළ කළමනාකරණයේ දී පෙන්වා ඇති අසමත් බව මෙන්ම ඒ හරහා උත්සන්න වී ඇති ඩෙංගු ව්‍යසනයේ අවසන් වගකීමද මධ්‍යම රජයට ම දැරීමට සිදු වීම අතිශය ගැටලුකාරී තත්ත්වයක් බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

ඩෙංගු ව්‍යාප්තිය පළාත් වශයෙන් ගත කල වැඩිම ව්‍යාප්තිය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඇතැම් පළාත් සභා ප්‍රධානීන් වෙනත් දේශපාලන මාතෘකාවලට සිරවී ජනමාධ්‍ය තුළ කැපිපෙනෙන චරිත බවට පත් වී සිටියද එම ප්‍රදේශවල ඩෙංගු වසංගතය මර්දනය කරගැනීමට හෝ නොහැකි වීම ඛේදනීය තත්ත්වයකි. එම අසමත්භාවයද පළාත් සභා පරිපාලනය බිඳ වැටි ඇති බවට හොඳම උදාහරණයකි.

ඩෙංගු රෝගය වසංගතයක් ලෙස සමාජයේ සෑම ස්ථරයක්ම වෙලාගනිමින් පවතින මොහොතක පොදු මහජනතාව වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක් සිදු කළ යුතු පාර්ශ්වයක් ලෙස වෛද්‍යවරු සහ සෙසු සෞඛ්‍ය සේවකයන් හැඳින්විය හැකියි. එහෙත් අද වන විට වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කරන සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබේ. මහජනතාවගේ ලක්‍ෂ ගණනක බදු මුදලින් නිර්මාණය වන වෛද්‍යවරයා මෙවැනි ජාතික ව්‍යසනයක් හමුවේ අනුගමනය කරමින් සිටින පිළිවෙත මහත් ගැටලුකාරී තත්වයක් බවට පත්ව ඇත. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට ඇති අයිතිය පිළිබඳ ගැටලුවක් නොවූවද විලාසිතාවක් ලෙස වර්ජනවලට එළඹීම තුළින් මහජනතාව අපහසුතාවට පත් කිරීම අනුමත කළ නොහැක.

ඩෙංගු ව්‍යසනය මර්දනය කිරීමේදී ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන් ද කෙටි කාලීන ක්‍රියා මාර්ගවලට වඩා දීර්ඝ කාලින ක්‍රියාමාර්ග පිළිබඳ වැඩි විශ්වාසයක් තැබිය යුතුව ඇත.

කියුබාව වැනි රටවල් ඩෙංගු උවදුර සාර්ථකව තුරන් කළ ආකාරයත් සිංගප්පුරුව සහ මැලේසියාව වැනි රටවල් ඊට ශක්තිමත්ව මුහුණ දෙමින් සිටින ආකාරයත් අප විසින් වැඩි දුරටත් අධ්‍යයනය කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. 

නව අදහස දක්වන්න