මත් උවදුර පාලනය කිරීමේ විධිමත් සැලැස්මකට නීති සංශෝධනය කරනවා | දිනමිණ

මත් උවදුර පාලනය කිරීමේ විධිමත් සැලැස්මකට නීති සංශෝධනය කරනවා

චමීර ඇල්ලදෙණිය

ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් තිබෙන මත් උවදුර පාලනය කිරීමට ඉදිරි වසර දෙක තුළ පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ලංකාවේ මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා යහපාලන ආණ්ඩුව සතුව විධිමත් සැලැස්මක් ඇති බවත් ඊට දැනට තිබෙන නීති අණ පනත් සංශෝධනය කළ යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධීන දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ඊයේ (27) පැවැති උත්සවයට සහභාගීවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මත්ද්‍රව්‍ය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වීම වැළැක්වීම සඳහා මත්විරෝධී රටවල් සමඟ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කීවේය.

ජාත්‍යන්තරය තුළ මත් විරෝධී රටවල් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආසියාවේ සිට අප්‍රිකාව දක්වා ව්‍යාප්තවී ඇති මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා. 1984 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා යෝජනා කර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඇති කළා. ඒ කාලයේ සිට අද සිටන සභාපතිවරයා දක්වා මෙම මණ්ඩලය කර තිබෙන වැඩසටහන් ඉතා විශිෂ්ටයි. විශේෂයෙන් නව වැඩසටහන් ගණනාවක් රවීන්ද්‍ර ප්‍රනාන්දු වෛද්‍යතුමාගේ සභාපතිත්වයෙන් සිදු කර තිබෙනවා.

ඒ වගේම ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ එකතුවෙලා විවිධ වැඩසටහන් කර තිබෙනවා. ඒවා සාර්ථක වෙලා තිබෙනවා. මේ පාලක මණ්ඩලයේ අයට පුහුණුව ලබා දෙන්න, අධ්‍යාපනය ලබා දෙන්න හා පහසුකම් ලබා දෙන්න අප කටයුතු කරනවා. මණ්ඩලයට තිබෙන සම්පත් වැඩි කිරීමට උවමනායි. එය සැලැස්මක් අනුව කළ යුතුයි.

අනෙක් පැත්තෙන් ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ප්‍රමාණය වැඩිවෙලා.

සමහර ගම්වල මත්උවදුර පැතිරිලා තිබෙනවා. මෙය විශාල උවදුරක් වෙලා. එදිනෙදා තිබෙන ප්‍රශ්න කසළ ප්‍රශ්නය, කැලිකසළ උද්ඝෝෂණය, මුස්ලිම් පල්ලිවලට පහරදීම, සයිටම් වගේ දේශපාලන ප්‍රශ්න තිබෙනවා. එදිනෙදා ප්‍රශ්නවලට තමයි සෑම දෙනාගේම අවධානය යොමු වෙලා තිබෙන්නේ. මාධ්‍යයත් එදිනෙදා ප්‍රශ්න පිළිබද අවධානය යොමු කර තිබෙනවා.

නමුත් මේ ප්‍රශ්නය ගැන ජනතාව දැනුවත්භාවය අඩුයි. මේ පිළිබද නීතිමය තත්ත්වය දැනුම්වත්භාවය අඩුයි. නීතිය ක්‍රියාත්මක කරද්දි පොලිසීය ප්‍රධාන ආයතනය වෙනවා. නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බලකාය, ගුවන් හමුදාව, විශේෂ බලකාය වැනි අංශවලට වෙන් වෙන් වැඩකොටසක් පැවරී තිබෙනවා.

මේ සියල්ලම සිදු කරන්න නීති දිහා බල සංශෝධනය කිරීමට කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය පාලක ඒකකයක් ඇති කළ යුතුයි. මත්ද්‍රව්‍ය පාලනයට පිරිස ඉතා සුළුයි. මත්ද්‍රව්‍ය පාලනය කරන සංඛ්‍යාව වැඩි කළ යුතුයි. අපට උවමනා උනත් පිරිස වැඩි කරන්න බැහැ. මොකද ඔවුන්ට නිවැරැදි පුහුණුවක් අවශ්‍යයි. එම පුහුණුව ලබා දී සේවයට බඳවා ගැනීමට අවශ්‍ය කාලයක් ගතවෙනවා.

මත්ද්‍රව්‍ය පාලක ඒකකය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍යයි. ඇමැතිතුමාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැඳවා තිබෙනවා. පොලිස්පතිතුමාගෙන් ඒ පිළිබඳ විමසා තිබෙනවා. අපි එය කඩිනමින් සිදු කරනවා. එමඟින් මත්ද්‍රව්‍ය පාලනයට කේන්ද්‍රස්ථානයක් ඇති කරනවා. පොලිස් සේවා වැඩකටයුතු ශක්තිමත් කළ යුතුයි.

පිටින් මත්ද්‍රව්‍ය ලංකාවට ගෙන එම වැලැක්වීම හා ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම කළ යුතුයි. පිටින් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට පොලීසියට හා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බලකායට හැකියාව තිබෙනවා. දැනටමත් විශාල තොග ගෙනඒමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුවෙන් පිටවන මත්ද්‍රව්‍ය පිළිබඳත් දැඩි අවධානයෙන් පසුවනවා. මේ කිසිවක් කළත් මත්ද්‍රව්‍ය ගෙනඒම නවතින්නේ නැහැ. ඒනිසා අපි මේ වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. අද අැෆ්ගන් යුද්ධය පවත්වන්නේ, සෑම අංශයකටම ආදායම ලැබෙන්නේ මත්ද්‍රව්‍ය නිසයි.

යුද්ධය ගෙන යන්නම මත්ද්‍රව්‍යම විකිණිය යුතුයි. ඒ නිසා පාකිස්ථානය හරහා එනවා. ඉන්දියාව හරහා එනවා. මුහුදෙන් එනවා. මත්ද්‍රව්‍ය පාලනයට අදාළ කටයුතු තව තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා සම්බන්ධිකරණය ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. රට තුළ මත්ද්‍රව්‍ය වගාකිරීම වෙන්නේ ගංජා වගාවයි. එයට ගුවන් හමුදාවයි විශේෂ බලකාය පිළියම් යොදමින් යනවා.

ඒ වැඩසටහන පිළිබඳ විශාල මෙහෙයුමක් කළ යුතුයි. ලංකාවේ තුළ බෙදාහැරීම වළක්වාලීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා පොලිසිය විසින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එයින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් අත්අඩංගුවටත් ගෙන තිබෙනවා. නමුත් බෙදාහැරීමේ අඩුවක් දකින්න නැහැ. රටවටේම බෙදාහැරීම සිදු කරනවා.

අපි කොළඹ උතුරට මැද කොළඹට ගියහොත් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා හොරකම වැඩිවෙලා තිබෙනවා. රටේ හැම කොනකම මෙය තිබෙනවා. මේ කටයුත්ත වළක්වා ගන්නේ කෙසේද කියා අපි සොයා බැලිය යුතුයි.

ඒ සඳහා පොලිස් ස්ථාන පනහත් සීයයත් අතර ගණනක් තෝරාගෙන මධ්‍යස්ථාන බවට පත් කළ යුතුයි. පාසල් එක්වත් තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය ශක්තිමත් කළ යුතුයි. නීතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා. සංවිධානාත්මක අපරාධ වැළක්වීමට පියවර ගැනීමට කටයුතු කරවනවා.

අපරාධ කණ්ඩායම් මැඩලීමේ නීති කෙටුම්පත් පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. අපරාධ මඩින්න නීති ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අප සොයා බලනවා.

මත්ද්‍රව්‍ය බෙදාහරින අයට ලබාදෙන දඬුවම් පිළිබඳත් අපි අවධානය යොමු කරමින් තිබෙනවා. මේ අය සාමාන්‍ය ආකාරයට අත්අඩංගුවට ගන්නවාද? නැතිනම් විශේෂ බලතළ පොලිසියට ලබා දී අත්අඩංගුවට ගන්නවාද කියන එක පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මේ ක්‍රමවේදය එක කාලයක දේශපාලනයටත් ඇතුළුවෙලා තිබුණා. දැන් එය දේශපාලනයෙන් ඉවත් වෙලා. එය ප්‍රමාණවත් නැහැ. තවත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.

අපි තවත් නීතිය ශක්තිමත් කර පොලිසිය හා අධිකරණය ස්වාධීනය කටයුතු කිරිමට සලස්වා මෙම නඩු කඩිනම් කළ යුතුයි. නඩු ඇදගෙන යනවා නම් වාසිය ඒ අයටයි. නීතිය හා සාමය පැත්තෙන් කළ යුතු දේවල් පිළිබඳ අපව දැනුම්වත් කළ පසු ඊට අදාළ මුදල් සැපයීමට අප කටයුතු කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රධාන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කර මත්ද්‍රව්‍ය ලංකාවේ තුරන් කිරීමට පියවර ගන්නවා. එම රටවල් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. ඒ පියවර ගැනීමෙන් විශාල සාර්ථකත්වයක් ඇතිවේවි.

මේ මෙහෙයුමේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන විසඳුම් තිබෙනවා. අද වන විට මත්ද්‍රව්‍ය උවදුර ආසියාවට අප්‍රිකාවට පැතිරී අවසානයි. අපි දන්න හැම වාර්තාවක මෙය ඉස්මතුවෙලා තිබෙනවා. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය පාලනයට මේ වසරේදීම වැඩකටයුතු කළ යුතුයි. සෞඛ්‍ය පැත්ත පිළිබඳ නීති අවශ්‍යයි.

මණ්ඩලයට අදාළ නීතියත් සංශෝධනය කිරීමට උවමනායි. මණ්ඩලයත් ප්‍රතිසංවිධානය කළ යුතුයි. මත්උවදුර පැතිරීම ලබන වසර දෙකක කාලය තුළ අවම කිරිමට සැලසුම් කරනවා.

නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැතිසාගල රත්නායක, ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය-මාලන් කරුණාරත්න 

නව අදහස දක්වන්න