දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරයේ ධර්මශාලා මන්දිරය ජනපති සුරතින් සසුනට | දිනමිණ

දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරයේ ධර්මශාලා මන්දිරය ජනපති සුරතින් සසුනට

රක්ෂණ ශ්‍රියන්ත

* ආගමික සංහිඳියාව ඇතිව රට ඉදිරියට යන මොහොතක අධර්මිෂ්ඨ බලවේග මතුවීම කනගාටුවක්
- ඇමැති විජයදාස රාජපක්ෂ

* සෑම විහාරස්ථානයකින්ම ආගමික පුනරුදය ඇති විය යුතුයි
- මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

දෙහිවලශ්‍රී මහා බෝධි විහාරයේ අභිනව ධර්මශාලා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (26) පස්වරුවේ පැවැත්විණි.

වසර 300ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ධර්ම ශාලා මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි බුද්ධ ප්‍රතිමාවහන්සේ වෙත පළමු මල් වට්ටිය පූජා කළේය.

අභිනව ධර්මශාලා මන්දීරය ධානපති ෆීලික්ස් පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඇත. විහාරාධිපති විශ්‍රාමලත් ධර්මාචාර්ය මිහිරිපැන්නේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන් වූ අතර ජනාධිපතිවරයා ද උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ මුලසුනේ දේශනය සිදුකරමින් තමන්වහන්සේ කුඩා කාලයේ සිටම මේ විහාරස්ථානය දන්නා බවත් පරිත් දේශනා සඳහා අති දක්ෂ සුප්‍රසිද්ධ ගොරකානේ ධම්මානන්ද හිමියෝ විසු බවත්, මේ විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැර ද අතීතයේ සිට වාර්ෂිකව සිදුකෙරෙන බවද පැවසුහ. වත්මන් විහාරාධිපතිවහන්සේ විශාල ශාසනික ආගමික සේවයක් සිදුකරන බවද සියලුදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර බුරුම රටින් පිමිණෙන භික්ෂූන්වහන්සේලා සඳහා ද නවාතැන් පහසුකම් ලබාදෙමින් බෞද්ධාගමික පුනර්ජීවනය සඳහා අගනා මෙහෙවරක් සිදුකරන බවද පැවසූහ. විහාරාධිපති සියලුම ආගමික නායකන් හා සියලුම ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම රටේ සාමය සමෟද්ධිය එකමුතු කම ඇතිවන බවද එය සෑම දෙනාටම ආදර්ශයක් බවද පැවසූහ.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්විවද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කරමින් මෙ ධර්මශාලාව ඉදිකිරීම මහා පුණ්‍ය කර්මයක් බවත් එදා බණ මඩුව ලෙසින් හැඳින්වුවද අද ධර්මශාලාව නමින් හඳුන්වන්නේ ද එකක් බවත් වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා ධර්මශාලාවෙන් එදාට වඩා වැඩි සේවයක් ඉටුවන බවත් මේ වන විට මේ විහාරස්ථානය හැම අතින්ම අංගසම්පුර්ණ දියුණුවුවක් බවද පවසූහ. ෆීලික්ස් පෙරේරා මහතා මේ විහාරස්ථානයට විශාල පරිත්‍යාගශීලි දායකත්වයක් ලබා දී ඇති බවත් එය විහාරාධිපති හිමියන්ට විශාල ශක්තියක් වූ බවත් තනි ධන පරිත්‍යාගයෙන් මෙවැනි ධර්ම ශාලාවක් ඉදිකිරීම විශාල පුණ්‍ය කර්මයක් බවද කීහ. රාමාසාන් අවසන් කරන අද දවසේ එස්.එම්.මරික්කාර් මහතා මෙවැනි පුණ්‍ය කර්මයක සංවිධාන කටයුතු කරමින් එයට සහභාගීවීම සංහිඳියාව එකමුතුකම ගැන මහඟු ආදර්ශයක් බවද පැවසු අනුනාහිමියන් අපේ රටේ මිනිසුන් අනෙත් අයට උදව් උපකාර කරගනිමින් ජාති ආගම් භේද පසෙකලා මනුෂ්‍යයන් හැටියට අනෙක් අය සමඟ සමානත්වතාවයෙන් කටයුතු කිරීමේ වැදගත් කම පිළිබඳව ද පෙන්වා දුන්හ.

බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අදහස් දක්වමින් අපේ රට ආගමික සංහිඳියාව ඇතිව ඉදිරියට යාමට උත්සහ කරන සෑම මොහොතකම අධර්මිෂ්ඨ අදුරදර්ශී බලවේග මතුවන බවත්, ප්‍රගතිශීලි ගමන වැළැක්වීමට සමහර උදවිය ආගමික අන්තවාදය අවුලුවන බවද පැවසීය.

පසුගිය දවස්වල ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමිණි නීතිඥවරයෙක් අපේ රටේ ක්‍රිස්තු දේවස්ථාන 195කට ස්වාමින්වහන්සේලා පහර දුන් බව කියමින් කළ චෝදනාව තමා සොයා බැලු බවත් ක්‍රිස්තියානි දේවස්ථාන දෙකක් සම්බන්ධව සුළු ආරවුල් දෙකක් පමණක් පොලිසියට වාර්තා වී ඇති බවත් එම නීතිඥ මහතා නැඟූ එම අභුත චෝදනාවට පැය විසි හතරක් ඇතුළත සමාව නොගතහොත් නීතිඥ වෘත්තියෙන් නෙරපන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද කීය. තම රට ගිනි තියමින් තම රට ආගමික වශයෙන් බෙදා වෙන් කරමින් එන්.ජී.ඕ.නඩ සිදුකරන්නේ ඩොලර් මේ රටට ගෙන්වාගෙන තම බඩ වියත රැකීමේ ව්‍යාපාරයක් බවද වැඩිදුරටත් පැවසීය.

උත්සව කමිටු ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අදහස් දක්වමින් ප්‍රතිපත්තිමය පුජාව බෞද්ධ ධර්ශනයෙන් ලබා ගැනීම තව දුරටත් වැඩි කළ යුතු බව කීය. ආගමික සංහිඳියාව ගැන කතා කරන විට මේ විහාරස්ථානය පමණක් නොවෙයි අනෙකුත් විහාරස්ථානත් මේ ආකාරයෙන් ගොඩනැඟීමට අවශ්‍ය බවද කියා සිටියේය. රට පුරා සෑම විහාරස්ථානයකින්ම ආගමික පුනරුදයක් ඇති කළ යුතු බවද කීවේය. තව දුරටත් පන්සල සමඟ ගිහි සමාජයේ සම්බන්ධතාවන් ඇති කළ යුතු බවද කීය. නගරයේ තිබෙන විහාරස්ථානවලට ධායකාරකාදීන් පරිත්‍යාගයන් කළ ද ඈත පළාත්වල විහාරස්ථානවල විශාල අඩු පාඩුකම් සහ ස්වාමින් වහන්සේලාගේ හිඟයක් ඇති බවද කීවේය. සම්බුද්ධ ශාසනයේ දියුණුවට විශාල සේවයක් සිදුකරන ජනාධිපතිතුමන්ගෙන් දවසකට එක බැගින් පන්සල් ගොඩනැඟීමේ ව්‍යාපෘතියකට මීළඟ අයවැයෙන් වෙන් කර දෙන ලෙස ද ඉල්ලීමක් කළේය.

ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මහා නායක හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත මාඋස්සාගොල්ලේ ලංකානන්ද නායක හිමි ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුළු අන්‍යාගමික පූජකවරුන්, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීඑස්.එම්.මරික්කාර් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් සහ ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් මේ පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය උදේශ් ගුණරත්න 

නව අදහස දක්වන්න