ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් ජත්‍යන්තරය සමඟ ගනු-දෙනු කරනවා | දිනමිණ

ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් ජත්‍යන්තරය සමඟ ගනු-දෙනු කරනවා

අසේල කුරුළුවංශ

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිත වනසේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජත්‍යන්තරය හා ගනුදෙනු කරන බව විදේශ කටයුතු ඇමැති රවී කරුණනායක මහතා පැවසුවේය.

මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ ඇමැතිවරයා මහ නාහිමියන් හමුවෙහි මේ අදහස් ප්‍රකාශ කළේය.

පසුගිය දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ජත්‍යන්තරය තුළ පැවැති අයහපත් ප්‍රතිරූපය වෙනස් කරමින් ජත්‍යන්තරය දිනා ගැනීමට යහපාලන රජයට හැකිවූ බවත් මෙහිදී මංගල සමරවීර ඇමැතිවරයා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ බවත් හෙතෙම කීය.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහ නාහිමියෝ තානාපති සේවය සඳහා විශ්‍රාමික පුද්ගලයන් වෙනුවට දක්ෂ තරුණ පිරිස් යොදා ගැනීම වැදගත් බවත් ඇතැමුන් ජත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැන්වීමට මහන්සි වන බවක් පෙනෙන්ට නොමැති බවත් පැවසූහ.

මෙයට පෙරද අවස්ථා ගණනාවකදී ඇතැම් තානාපතිවරු වැඩක් නොකරන බව පෙන්වා දුන් නමුත් ඒ පිළිබඳ රජයන්ගේ නිසි අවධානය යොමු නොවුණු බවද උන්වහන්සේ කීහ.

වත්මන් රජය සම්බන්ධව ජත්‍යන්තරය තුළ ප්‍රසාදයක් පැවැතියත් මෙරට ඇතැම් පිරිස් යහපාලන රජයේ ගුණ නොදකින බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

තානාපති සේවය සඳහා රජය මඟින් පුද්ගලයන් යොමු කරන්නේ රටට සේවයක් කිරීමට මිස රටවලට වී ඔවුන්ට විශ්‍රාම සුව විඳින්නට නොවන බවත් පසුගිය කාලයේ තම සේවය රට වෙනුවෙන් නිසි අයුරින් ඉටු නොකළ තානාපතිවරු තිදෙනකු ජනපති හා අගමැති සමඟ සාකච්ඡා කිරීමෙන් පසු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගත් බවත් ඇමැති රවී කරුණනායක මහතා කීය.

තානාපති සේවයේ නියුක්ත පුද්ගලයන් වෙනුවෙන් වැය කරන්නේ මෙරට ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බවත් ඔවුන් රට වෙනුවෙන් අවශ්‍යය සේවය ඉටු නොකරන්නේ නම් ඒ වෙනුවට සුදුසු අය පත් කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපති සේවයේ නිලධාරීන් 63 දෙනකු නිරතව සිටින බවද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාව අලුතින් රටවල් කිහිපයක් සමඟ නව තානාපති සබඳතා ආරම්භ කරන බවත් වාණිජ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කිරීම ඉතා වැදගත් බවත් පැවසූ ඒ මහතා ණය වලින් රට ඉදිරියට ගෙන යෑමට වඩා වැදගත් වන්නේ වෙළෙඳාම හා ආයෝජන තුළින් රට ඉදිරියට ගෙන යෑම බවද ප්‍රකාශ කළේය.

මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා වසර 2009 ජූනී මස විදේශ ඇමැති ලෙස ජී.එල් පීරිස් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ උපදෙස් මත අත්සන් සහිතව ජත්‍යන්තරයට පොරොන්දු මාලාවක් දුන් බවත් ඒවා ඉටු නොවුණු තැන ජත්‍යන්තරය විවිධ බාධක ශ්‍රීලංකාවට දැමූ බවත් කීය.

යහපාලන රජය බලයට පැමිණි පසු ජත්‍යන්තරය දිනා ගනිමින් පසුගිය වසර 2 1/2 ක කාලය තුළ ශක්තිමත් පදනමක් දැමූ බවත් අද විපක්ෂයේ සුළු පිරිසක් වැදි බණ කියන්නට පටන් ගෙන තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

 

නව අදහස දක්වන්න