ජනපති ශ්‍රීලනිප සභාපති වුණේ සියලු දෙනාගේම කැමැත්තෙන් | දිනමිණ

ජනපති ශ්‍රීලනිප සභාපති වුණේ සියලු දෙනාගේම කැමැත්තෙන්

 ගම්පහ සංචාරක නිමල් ජයසිංහ ගම්පහ මධ්‍යම සමූහ ඔලිවර් පෙරේරා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූවේ හොරෙන් නොවේ. සියලු දෙනාගේම කැමැත්තෙන් යැයි ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා පැවසීය.

පණ්ඩු බණ්ඩාරනායක මහතා එසේ පැවසුවේ ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් සහ ඉදිරි ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණවලට ගම්පහ දිසාවෙන් තරගකිරීමට අපේක්ෂිත අපේක්ෂකයින් දැනුවත් කිරීමේ සහ මාධ්‍යවේදීන් සහභාගි වූ සාකච්ඡා රැස්වීමක් අමතමිනි. මෙම රැස්වීම යක්කල මඩුගස්වලව්වේදී 26 දින පෙරවරුවේ පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පණ්ඩු බණ්ඩාරනායක මහතා මේ වනවිට ගම්පහ ආසනයේ සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කර සකස්කර අවසන් බවත්, ඕනෑම විටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දයකට සූදානම් බවත් කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මුළු රටම පමණක් නොව මේ වනවිට මුළු ලෝකයම පිළිගත් නායකයෙකි. එතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනෙන්දින විජයග්‍රහණය කරන බවත් කීය.

මේ වනවිට ඇතැම් පරාජිත දේශපාලනඥයන් නායකත්වයට පොර කන බවත්, ඔවුන් ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී ඇති බවත්, වෛරය ක්‍රෝධය නිසා විවිධ මත පළකරන බවත් කීය. ජනාධිපතිතුමාට අදාළ නායකත්වය ව්‍යවස්ථාවෙන්ම ලැබී තිබෙනවා. ඒ නිසා ඕනෑම මැතිවරණයකට අපේ පක්ෂය සූදානම් බවත් පැවැසීය.

මේ වන විට ශ්‍රී ලංකාව පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, අපේ පක්ෂ නායකත්වය යටතේ සංවිධානවී අවසන් බවත් ඒකාබද්ධ විපක්ෂයේ බොරු රැවටිලිවලට එක් නොවන වගද කීය.

‘සයිටම්’ ප්‍රශ්නයද ඉදිරියට දමමින් අපේ රජය අපහසුතාවට පත් කිරීමට විරුද්ධවාදීන් නොයෙකුත් උපක්‍රම කළ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවැනි ප්‍රශ්නවලට නොසැලී තම රජය ශක්තිමත් කරමින් ප්‍රශ්නය විසඳීමට ක්‍රියාකළ බවත් කීය. ජාතික රජයක් හැටියට සැමගේ සහයෝගයෙන් රටවැසියාගේ එදිනෙදා දැවෙන ප්‍රශ්න විසඳීමට ජනාධිපතිතුමාට නියම ජවයක් ඇති බවත් කීය. බො‍හෝ දෙනෙකු බැලුවේ රජය අපහසුතාවයට ලක් කිරීමටයි. නමුත් ජනාධිපතිවරයා සිය අත්දැකීම් සම්භාරයෙන් ඵල ලබමින්, ඕනෑම ගැටලුකාරී ප්‍රශ්නයක් සාමකාමීව විසඳීමට සමත් නියම රාජ්‍ය පාලකයෙකු බවද කීය.

අතීතයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයන්ට හා ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව විනය විරෝධී ක්‍රියා සිදුවූ බවත් එවැනි අවස්ථාවලදී පක්ෂයට විරුද්ධවූ අයට ක්‍රියාමාර්ග ගෙන තිබූ බවද සිහිපත් කළේය.

ප්‍රේමසිරි කාරියවසම් මහතා (ගම්පහ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය ගරුක පක්ෂයක්. අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුළු රට පුරාම විවිධ සංවර්ධන ව්‍යාපෘති ගම්මට්ටමින් පවා ක්‍රියාත්මක කළා. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේද උපදෙස් පරිදි මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා පංචමහා බලවේගය එක්වී ඇති බවත් ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් කීය.

අපේ නායකත්වයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීන් බොරු මත පළකළා. හිටපු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඇතැම් අය පක්ෂයේ විනය කැඩූ අවස්ථා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිසා නායකයෙකු වී සිටි ප්‍රසන්න රණතුංග මහතාද පක්ෂයට විරුද්ධව සංවිධාන වී විනය කැඩූ අයෙක් බවද කීය. පොදු විපක්ෂයට ගොස් ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයයි. ඒ අයද කර ඇත්තේ විනය විරෝධී වැඩ නොවේද? සයිටම් ප්‍රශ්නයටද නායකත්වය දුන් විරුද්ධ පාක්ෂිකයින්ට දැන් කරගන්න දෙයක් නැතිව සිටින බවද කීය. අද රටට හොඳ නායකත්වයක් ඇති නිසා රටවැසියා බියවිය යුතු නොවේ. මෛත්‍රීපාල සිරිසේන මහතා යනු දිවංගත බණ්ඩාරනායක මැතිඳුන්ට පසු බිහිවූ අවංකතම හා කාර්යශූර දේශප්‍රේමී රාජ්‍ය නායකයාය.

එච්.ඒ.එස්. පෙරේරා මහතා ගම්පහ ප්‍රාදේශීය සබාවේ හිටපු මන්ත්‍රී

ගම්පහ ආසනයේ සංවිධායක පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ශාඛා නව සංවිධාන පිහිටුවා ග්‍රාමසේවා වසම් මට්ටමින් සංවිධානය අරඹා ඇත. දිනෙන් දින නව සාමාජිකයින් අපේ පක්ෂය වටා එක්රොක් වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මේ වනවිට මුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ම එක්රොක් වී සිටින්නේ එළඹෙන මැතිවරණවලින්ද විශිෂ්ට ජයක් ලබාදීමටයි.

ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක මහතා ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධාන සංවිධායක

අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් නව ජවයකින් ඉදිරියට එමින් සිටි සියලු කණ්ඩායම් අප පක්ෂය වටා එක් රොක්වෙන්නේ නිවැරදි අවංක කාර්යශූර නායකත්වය නිසාය.

අපේ අරමුණ බෙදී වෙන් නොවී අපි සියළුදෙනා එකට එක්සත්වී සාමයේ අරුණලු දල්වමින් රට දියුණුකර, ජනතාව සුඛිත මුදිත කර වීමයි. ඒ අරමුණ කරා යෑමට සියලු කොටස්වලට ඇරැයුම් කරමි. ඉදිරි මැතිවරණවලින්ද පැහැදිලි ජයක් ලැබුමට අපි එක්වෙමු යැයිද කීය. මේ අවස්ථාවට මැතිවරණ අපේක්ෂිත නියෝජිතවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය - ගම්පහ සංචාරක

නව අදහස දක්වන්න