මහවැලි ග‍ඟේ දකුණු ඉවුර ඛාදන වළක්වන්න පැළ 10 000ක් සිටුවීමේ වැඩ සටහනක් | දිනමිණ

මහවැලි ග‍ඟේ දකුණු ඉවුර ඛාදන වළක්වන්න පැළ 10 000ක් සිටුවීමේ වැඩ සටහනක්

 ගිරාඳුරුකෝට්ටේ මහවැලි ප්‍රදේශයට අයත් මහවැලි ගංගාවේ දකුණු ඉවුර ඛාදනයෙන් හා සෝදාගෙන යාමෙන් වළක්වා ගැනිමත් ගං ඉවුර සංරක්ෂණය කරගැනීමත් ඉලක්ක කොට ගෙන පැළ 10 000ක් ඉවුර ආශ්‍රිතව සිටුවීමේ වැඩ සටහනේ පළමු අවස්ථාව ඉකුත් දා ගිරාඳුරුකෝට්ටේ හෙබරව නිපොන් පාලම අසලින් උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දෙහිඅත්තකණ්ඩිය නේවාසික ව්‍යාපාර කාර්යාලය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වන ජීවී දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මෙන්ම උපදේශකත්වය යටතේ ගිරාඳුරුකෝට්ටේ වැලි කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සංවිධානත්වයෙන් ලෝක පරිසර දිනයට සමගාමීව මෙම වැඩසටහන යොදාගෙන තිබූ අතර සමාරම්භක දිනයේදී පැළ 1 000ක් රෝපණය කෙරුනි.

ගිරාඳුරුකෝට්ටේ වැලි කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ඊ.එම්.ජගත් අනුර මහතා-වැලි ව්‍යාපාරය මඟින් ඉටුකරන්නේ ජාතික අවශ්‍යතාවක් පිරිමැසීමයි. මේ ව්‍යාපාරය මඟින් සෘජුවම හා වක්‍රව විශාල පිරිසක් යැපෙනවා. වාර්ෂිකව විශාල බදු මුදල් ප්‍රමාණයක් අපි රජයට ගෙවනවා. විවිධ ආකාර වලින් අප වෙත චෝදනා එල්ල කරනවා.

නමුත් අපි නිතරම උත්සාහ ගන්නේ පරිසරයට කිසිම හානියක් නොවන ලෙසට අපේ ව්‍යාපාරය කරගෙන යෑමටයි. ගිරාඳුරුකෝට්ටේ වැලි කර්මාන්ත කරුවන් 200දෙනෙක් පමණ අපගේ සීමාවට අයත් වෙනවා.අප නොදැනුවත්වම අපගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට හානි සිදුවෙනවා.

එය වළක්වා ගැනීම අපේ යුතුකමක්. ඒ සදහා එක් පියවරක් ලෙස මහවැලි ගගෙහි දකුණු ඉවුරේ කිලෝ මීටර් 20ක පමණ දුරින් යුත් අපේ සීමාවට අයිති කොටසෙහි පැළ 10 000ක් රෝපණය කිරීමටත් එම ගස් ලොකු මහත් වන තෙක් රැක බලා ගැනීමත් අපේ උත්සාහයයි.

දෙහිඅත්තකණ්ඩිය නේවාසික ව්‍යාපාර කළමනාකාර කේ.ඒ.සී.විමල් කුමාර මහතා-ලෝක පරිසර දිනයට සමගාමීව මහවැලි සී කලාපය තුල සිදු කෙරෙන ප්‍රධාන පරිසර වැඩසටහන මෙය වන අතර මහවැලි කාර්යාලය මගින් රෝපණය සදහා උණ, මී, කුඹුක් වැනි පැළ නොමිලයේම ලබා දෙනවා. අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් අප වෙනුවෙන් රැක දුන් මහවැලි ගංගාව ඒ ආකාරයෙන්ම ඉදිරි පරපුරට උරුම කර දීම වර්තමාන පරපුරේ වගකීමක් බව සිතට ගත යුතුයි.

වැලි සංගමය මඟින් පරිසරය රැක ගැනීමට ගන්නා උත්සාහය වටිනා ආදර්ශයක්. එසේම මෙවැනි පරිසර සුරැකීමේ වැඩ සටහන් ඉදිරියටත් අඛණ්ඩවම කරගෙන යාම ඔබ සැමගේම වගකීමක්.

මෙම සමාරම්භක අවස්ථාවට එක්වූ ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය නාපටවෙල ධම්මානන්ද හිමියෝ මෙසේද පැවසූහ. අපිට ගංගාව සලකනවා මෙන්ම ප්‍රති උපකාර ලෙස අපිත් ගංගාවට සලකන්නට ඕනෑ.

මිනිසුන් 1000කගෙන් පරිසරයට සිදු කෙරෙන පරිසර හානිය ,එක ශාකයකින් නිවැරදි කර දෙනවා. ගහක ඵල දරන්නේ ගසේ අවශ්‍යතාවට නොව අනුන්ගේ අවශ්‍යතා පිරිමැසීමට බවත් අමතක කරන්න එපා.ගහ රැක

නුදුන්නොත් අපෙන් ඉටුවිය යුතු යුතුකම පැහැර හැරියා වෙනවා. එසේම රෝපණය කරන ලද පැළ ආරක්ෂාකර ඇති බවටද සෑහීමකට පත්විය යුතු වෙනවා. මෙම අවස්ථාවට එක්වූ මහියංගන ප්‍රාදේශීය ලේකම් ඩී.එම් ,නිමල් දිසානායක, පළාත් සභා මන්ත්‍රී හා මහියංගන එ.ජා.ප. සංවිධායක උපාලි සේනාරත්න යන මහත්වරුන් පරිසරය සුරැකීමත් මහවැලි ගංගාව මෙන්ම ස්වාභාවික දිය පහරවල් ආරක්ෂාකරගැනීමේ අවශ්‍යතාව පිළිබදව අදහස් දැක්වූහ.

සටහන සහ ඡායාරූප
ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමර ගුණරත්න 

නව අදහස දක්වන්න