හොඳින් හිතන්න නිවැරැදි තීරණය ගන්න | දිනමිණ

හොඳින් හිතන්න නිවැරැදි තීරණය ගන්න

හැම විටම, යමකට ඇති හොඳ ම තීරණය ගැනීම හිතේ සතුටට හේතුවකි. බොහෝවිට ප්‍රශ්නයක් දිහා මතුපිටින් බැලීම, ඉක්මන් තීරණ ගැනීම වැනි හේතු නිසා,ඔබේ ජීවිතයට පසුතැවීම් එක් කරන්නේ, කවදාවත් ඒ සම්බන්ධයෙන් නිවැරැදි තීරණයක් ගත නොහැකි ලෙසිනි. පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් ද නිවැරැදිව, බුද්ධිමත්ව තීරණ ගැනීම කළ යුතු ය. එයට හේතුව, මේ කාරණා මත ඔබේ මුළු ජීවිතයේම සතුට, දියුණුව රැදී පවතින නිසා ය.

අධ්‍යාපනය

සා.පෙළ සමත් වී, උ.පෙළ සඳහා සුදුසුකම් ලබනවිට, ඔබේ කැමැත්ත, හැකියාව මත විෂය ධාරා තෝරා ගැනීම වඩාත් සුදුසු ය. එයට හේතුව, එම තෝරාගැනීම් මත ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, රැකියාව තීරණය වන නිසා ය. මෙහිදී සමාජයේ,මවුපියන්ගේ, නෑදෑ හිතමිතුරන්ගේ තීරණ අනූව ඔබ යම් තීරණයක් ගන්නවාට වඩා, තමන් ම තීරණ ගැනීම වඩාත් සුදුසු ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය

විවිධ කාරණා නිසා සමහරුන්ට සරසවි වරම අහිමි වේ. සරසරවි ප්‍රවේශය යනු, හැමෝටම නොලැබෙන, තමා ලද වටිනා අවස්ථාවකි. ඒ නිසා, ආර්ථික ප්‍රශ්න,රැකියා ගැන සිතා මේ අවස්ථාව ඔබේ ජීවිතයට අහිමි කර නොගන්න. ජීවිතයේ ලැබෙන එම සුන්දර අත්දැකීම ඔබත් ළඟා කර ගන්න.

රැකියාව

ඕනෑම රැකියාවකින් ඔබට ඒ ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලැබේ. ඒ නිසා, පළමුවරට ලැබෙන සුළු හෝ රැකියාවට ගෞරවය දක්වන්න. තනතුර සුළු වූවත්, රැකියාවේ පළමු පියවර ලෙස එය බාර ගැනීමට සිතීම වඩා හොඳ තීරණයකි. පළමුවරට ඔබ අපේක්‍ෂිත අරමුණුවලට ගැළපෙන රැකියාවක් නොලැබුණා නම්, ක්‍රම ක්‍රමයෙන් එවන් රැකියා අවස්ථා කරා යොමු වීමට පියවර ගන්න.

සහකරුවකු හෝ සහකාරියකු තෝරා ගැනීම

බටහිර රටවල නම් මෙය ඉතා වැදගත් දෙයක් ලෙස නොසැලකුවද, අපේ රටේ සංස්කෘතිය තුළ මේ සම්බන්ධයෙන් ගන්නා නිවැරැදි නොවන තීරණ නිසා, ඔබට චෝදනා එල්ලවී, මානසික පීඩනයට ලක් වන්නට සිදුවේ. ඒ නිසා, තමන්ගේ සිතුම් පැතුම්වලට ගරු කරන, ඒවා හඳුනන, ඔබත් සමඟ ජීවිත කාලයම එකට සිටිය හැකි, තරුණියක් හෝ තරුණයෙක් සොයා ගැනීම අවශ්‍ය ය. මෙහිදී හදවතින් තීරණ ගන්නවාට වඩා, බුද්ධියෙන් තීරණ ගැනීම ඉතා වැදගත් ය.

ආර්ථික ස්ථාවරත්වය

පිරිමියෙකුට රැකියාවක් නොකර නිදහසේ සිටිය නොහැකිය. ඒ නිසා ඔබ ශක්ති සම්පන්නව සිටින මේ මොහොතේ, හම්බ කරන ගමන් ඉතිරි කරන්න තීරණය කරන්න. ඒ සඳහා සුදුසු මූල්‍ය ආයතනයක් තෝරා ගන්න. අතමාරුවට මුදල් ඉල්ලා ඔබේ තත්ත්වය බාල්දු කර ගන්නවාට වඩා ආර්ථික ස්ථාවරත්වයට මුදලක් ඉතිරි කරගත යුතු ය.

දරුවන්

විවාහ වූ විගස දරුවන් සෑදීම යම් යම් කාරණාවලට බාධාවක් විය හැකි වුණත්, එයට ඕනෑවට වඩා සීමා දැමීම සදාකාලිකවම ඔබට ප්‍රශ්නයක් විය හැකිය. ඒ නිසා ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් කර නොගන්න, ඔබ දෙදෙනා වග බලාගත යුතුය.

හැමවිටම ඔබට එන අභියෝග හමුවේ සුදුසුම තීරණ ගැනීම, ජීවිතයේ යහපතට හේතුවකි. මුලින් කී කාරණා සම්බන්ධයෙන් හොඳ­ින් කල්පනා කර තීරණ ගැනීමෙන්, ඔබේ ජීවිතේ ප්‍රශ්න රැසක්ම කල්තියා හඳුනාගෙන විස­ැඳ­ුම් ගත් අවස්ථා බවට පත්කර ගත හැකිය.

 

දිනුක මදුෂාන් වන්නිනායක
මනෝවිද්‍යා උපදේශක

නව අදහස දක්වන්න