කිතුනු ලකුණු ඇති කවි | දිනමිණ

කිතුනු ලකුණු ඇති කවි

“අපට දරුවෙක් උපන්නේය”

මර්සි බී. නෙත්තසිංහ පැවිදි සොයුරියගේ “ගිනිසිරියා මල්” කාව්‍ය සංග්‍රහයේ එන “අපට දරුවෙක් උපන්නේය” කවිය ඉතා ගැඹුරු කිතුනු දැක්මක් විවරණය කරයි.

මෙම කවිය කියවා තේරුම් ගැනීම සඳහා රසිකයාට කිතු දහම පිළිබඳ අවබෝධයක් තිබීම අවැසි වෙයි. මක්නිසාදයත් එය කිතු දහමේ ආලෝකය තුළින් ලියැවි ඇති නිසාය. කිතුනු ඉගැන්වීම්, ශුද්ධ ලියවිල්ල සමඟ මුසු වී ඇති නිසාය.

කවිය ආරම්භ වන්නේ කිතුනු විවාහයන් සිදු කරන ලබනු අවස්ථාවලදී උපුටා දක්වනු ලබන ශුද්ධ ලියවිලි පාඨයක් උද්ධෘත කර ගෙනය.

“දෙවියන් වහන්සේ එක් කළ අය මිනිසා වෙන් නොකරේවා” (ශුද්ධ වූ බයිබලය මාක් 19/6)

කිතුනු ශීලධර්මය දික්කසාදය සඳහා බලවත් සේ විරුද්ධ වේ. විවාහ දිවියේ ඒකත්වය වඩා වැදගත් කොට සලකයි. විවාහක යුවලක් යනු දෙවියන් විසින් එක් කරනු ලබන දෙදෙනෙකි. එය මිනිසුන් වෙන් නොකළ යුතුය. කිතුනු ඇදහිල්ල එයයි.

එකි උපුටනය පූර්විකාව කොටගෙන කවිය ඇරඹේ.

මල් වෙඩිල්ලෙන් අනතුරු

ආසිරි මල් වරුසා නතර විය

ගොරව ගොරව වහින්නට ගත් වැස්ස

අකුණු හෙණ හා සමඟ

නව දිවි ගමන දෙදරවන

තරම් විය

අසල්වාසි කුඩුකේඩු ගැහැනු

දෙවනි ගමනේ රුධිර සලකුණු

සොයන

අම්මාගේ සිත ගිනි තැබුහ

අධ්‍යතන විවාහ උත්සව විශේෂයෙන් පහළ මධ්‍යම පාංතික හා පීඩිත පන්තියේ විවාහ උත්සව යනු ආසිරි මල් වරුසා වලට පසු ණය තුරුස් දුක් සුසුම් ද හරසුන් සම්ප්‍රදායන්ගේ නරුම ගති පැවැතුම් ද විසින් දුක් සුසුම් ගල්වරුසා කැදවන අලකලංචියකි. කිවිදිය උත්ප්‍රාසවත් බසින් එය ඉස්මතු කරයි.

ආසිරි මල් වරුසාවලට පසු ආවේ ගර්ජනා සහිත චණ්ඩ වර්ෂාවකි. දෙවියන් එක් කළ දෙදෙනා වෙන් කරන්නට තරම් ඒවා ප්‍රබල විය. නව දිවියට උදව් පදව් කරනු වෙනුවට එය අවුල් වියවුල් කරන අසල්වාසි ප්‍රතිචාර රුදුරුය.

ඉවසීම පළිනොගැනීම ප්‍රගුණ කර

පුදසුන මත ගිවිස දුන් අයුරින්ම

අපි ආදරයෙන් ප්‍රේමයෙන් බැදුණෙමු

එකම කයක් ද

එකම ආත්මයක්ද වූයෙමු

එසද ඇගේ කුස තුළ

ජීවයක් පිළිසිඳ ගැනිණ

කවිය මෙම විවාහයේ මනාලයාගේ කතෝපකථනයක් ලෙස ඉදිරිපත් වෙයි. ඔවුන් විවාහයට ඇතුළු වී ඇත්තේ ගැඹුරු අවබෝධයකිනි. ප්‍රේමය පිළිබඳ ක්‍රිස්තියානි ඉගැන්වීම අනුව ප්‍රේමයට අදාළ ගුණාංග යහමින් වැඩි වර්ධනය කරගෙනය.

එනම් ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පාරට්ටු කරගන්නේ නැත. උඩගු වන්නේ නැත. ප්‍රේමය අවිනීත නොවේ. ආත්මාර්ථකාමි නොවේ. හනික නොකිපේ. නපුර සිතේ ධාරණය කර නොගනියි. ප්‍රේමය සියල්ල උසුලයි. (1කොරින්ති 14/4-7)

කවිය තුළ මෙම බයිබල් පාඨය උපුටා දැක්වෙන්නේ නැත. එහෙත් මේ යුවළ තුළ එකී ගැඹුරු ප්‍රේමය පවතින බව සිදුවීම් පෙළට ඔවුන් දක්වන ප්‍රතිචාරය හා ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග මගින් අපට ඒත්තු ගන්වයි.

දායාද මදි කියා

ලොකු අක්කාද සටනට වන් කල

දික්කසාදයට අත්සන් තබන්නැයි

අවි අමෝරගත් සැවොම අතහැර

විළිරුදාවෙන් පෙළෙන ඇය සමඟ

සංගණනයක් නැති මුත්

දුක් විඳ හදාගත් ගේ දොර

හැරපියා පැමිණියෙමි

තම පුතුගේ බිරිඳ, තම සොයුරාගේ බිරිඳ ගැබිනියකි. ගැහැනුන් සේ මවත් සොයරියත් සිදු කළ යුත්තේ කුළුදුල් දරු ප්‍රස්‍රතියට සූදානම් වන ඇයට යහපත් මානසිකතාවයක් සාදා දීමයි. එහෙත් සිදුවන්නේ එහි ප්‍රති පක්ෂයයි.

දෑවැද්දද පිවිතුරු බවද තවත් දහසක් දේ මතු කරමින් මේ ගැබ්බර මවගේ සිත පෙළීමය සිදු වන්නේ.

දික්කසාද වෙන්නැයි බල කරන සියලු දෙනාට පිටුපා, තමා විසින් දහඩිය හෙලා සැදු ගෙයත් අතහැර ඔහු තම බිරිය සමඟ නිවසින් පිටව යයි. දෙවියන් එක් කල ජීවිතය වෙන් කිරීමට මිනිසුන්ට ඉඩ නොතබයි. කිසිදු අඩපාලි කීමක්, දෙස් දෙවොල් කීමක් නැත.

අඳ කුළුදුල් පුත්‍රයා ප්‍රසූත කොට

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන්

කුලී නිවහන වෙත ආවාය

පවුලක් ලෙසින් සතුටින් ම

ජීවිතය පටන් ගන්නෙමු

මෙහිදි කිවිඳිය ජේසුතුමාගේ උප්පත්තිය පිළිබඳ ශුද්ධ වු බයිබලයේ සඳහන් වචන මාලාව කවියට යොදා ගනී.

“ඈ කුළුදුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා තානායමෙහි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව මරුවක තැබුවාය” (ලූක් 2/7)

තමන් හරි හම්බ කර සාදා ගත් නිවසට ඔහුට තම පුතු රැගෙන ඒමට නොහැකිවෙයි. කුලී ගෙදරට කුළුදුල් දරුවා හා මව රැගෙන යයි. ජේසු තුමන්ගේ උපතේදි ජුසේ තුමන් විඳි අත්දැකීම සමඟ යම් සාදෘෂ්‍යයක් කිවිඳිය ගොඩනඟයි.

කවිය නිමාවට පත්වන්නේ සුබවාදි තැනකිනි. ඔවුන් විවාහ වූ දා සිට සැමියාගේ නිවසේ ගත කළ ජීවිතය නොවේ. නමුත් දැන් ඔවුන් මේ කුලී නිවසේ ජීවිතය විඳියි.

“අපට දරුවෙක් උපන්නේය” යන කවියේ මාතෘකාවද කිවිඳිය උපුටා ගන්නේ ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ සඳහන් වන බයිබල් පාඨයකිනි. (යෙසායා 9/6) අධ්‍යතන ජීවන අත්දැකීමක් කිවිඳිය ආගමික පසුතලයක තබා ප්‍රබල ලෙස ඉදිරිපත් කරනු ලබයි.

විවාහ ජීවිතයක ඒකත්වය උදෙසා අත්‍යාවශ්‍ය වන්නේ දෙදෙනා තුළ පවතින ප්‍රේමය ම බව කවිය අපට ඒත්තු ගන්වයි.

මහින්ද නාමල්

නව අදහස දක්වන්න