අත දරුවන් අත ගිනි අවි | දිනමිණ

අත දරුවන් අත ගිනි අවි

මංජුලා විජයරත්න

අමෙරිකාවේ පාසලක තුනේ පන්තියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු කඩිමුඩියේ පාසලට දිව ආවේ පන්ති කාමරයට රිංගා ගන්නා අටියෙනි. නමුත් එයට කලින් පය ලිස්සා ඔහු හදිසියේම බිම ඇද වැටුණේය. එසැණින් කිසිවකු අපේක්ෂා නොකළ අයුරින් ඔහුගේ පාසල් බෑගයෙහි තිබුණු තුවක්කුවක් පත්තුවීම විය. ඉන් නැඟුණු මූනිස්සම නැවතුණේ බිම ඇද වැටුණු ශිෂ්‍යයා ආසන්නයෙන් ගමන් කළ තවත් ශිෂ්‍යාවකගේ උදරය පාසා කරගෙන ඇතුළුවීමෙන් පසුවයි. බිම ඇද වැටුණු ශිෂ්‍යයා පාසලට පැමිණ තිබුණේ සිය පියාගේ තුවක්කුව පාසැල් බෑගය තුළ දමාගෙනයි. ඒ බැව් දැන සිටියේ ද එය රැගෙන ආවේ කවර කාරණයක් සඳහාද යන්න ද දැන සිටියේ ඔහුම පමණි. තුවක්කුවේ මූනිස්සම් තිබුණු බව සමහරවිට ඔහු නොදැන සිටින්නට ඇත.

පාසල් සිසුන් අත තුවක්කු, පිස්තෝල ආදිය දක්නට ලැබීම මෙන්ම ඒවා පත්තු වීමෙන් හෝ පත්තු කරගෙන හෝ අනතුරු සිදු කරගැනීමත් අමෙරිකාවට දැන් ඒ තරම් ආගන්තුක අත්දැකීමක් නොවේ. මේ සම්බන්ධයෙන් 2012 – 2014 කාලපරිච්ඡ්දය තුළ ඒකරාශී කරන ලද දත්ත අනුව තහවුරු වී තිබෙන්නේ සාමාන්‍යයෙන් වසරකට අමෙරිකා ශිෂ්‍යයන් 5,790කට ආසන්න පිරිසක් වෙඩි වැදීම් නිසා තුවාල ලබන බවකි. එවැනි වෙඩි වැදීම්වලින් 21%ක්ම සිදුව තිබෙන්නේ චේතනාත්මකව නොවන බවත් අනාවරණය වී තිබේ. කණගාටුදායකම කාරණය, සාමාන්‍යයෙන් වසරකට ළමුන් 1,297කට ආසන්න පිරිසක් වෙඩි වැදීම් නිසා ජීවිතක්ෂයට පත්වීම ය. එයින් පැහැදිලි වන්නේ අමෙරිකා ළමුන් 1,297කට ආසන්න සංඛ්‍යාවක් වෙඩි වැදීම් නිසා සෑම වසරක් පාසාම මරණයට පත්වන බව ය. අප දන්නා තරමට අමෙරිකාව මුළුමහත් ලෝකයටම බලපෑම් කළ හැකි රාජ්‍යයකි. අනෙක් අතට එය සංවර්ධිත සඳහන් වන රාජ්‍යක්ද වන්නේ ය. එහෙව් කල එරට දරුවන්ට මේ සා මහා අපරාධයක් වසරක් පාසා සිදුවිය හැකිද යන්න ගැටලුවකි. නමුත් එහි එසේ සිදුවේ.

2002 – 2014 කාලසීමාව තුළදී වයස අවුරුදු 17 දක්වා වූ පරාසය තුළ සිටි අමෙරිකා දරුවන් මරණයට පත්වූයේ කවර හේතු නිසාද යන්න සම්බන්ධයෙනුත් පර්යේෂකයන් තොරතුරු ලබාගෙන තිබේ. එයින් අනාවරණය වන අන්දමට අමෙරිකා දරුවන්ගෙන් 53%කටම ඒ ඉරණම අත්ව තිබෙන්නේ ඝාතනවලට ලක්වීම නිසාය. ඒ හැරුණු විට මරණවලින් 38%ක් සියදිවි නසා ගැනීම් නිසාත් 6%ක් චේතනාත්මක නොවන කාරණා මුල් කරගෙන ද සිදුව ඇත. සිතා මතා නොවන ආකාරයෙන් සිදු කෙරෙන යට කී ආකාරයේ වෙඩි වැදීම් අයත් වන්නේ චේතනාත්මක නොවන ගණයෙහිලා සිදුවන මරණ ලෙසය. දරුවන් තුවාල ලබන ආකාර සම්බන්ධයෙනුත් දත්ත විග්‍රහ කර ඇත. එයින් ආනාවරණය වන්නේ තුවාල ලැබූ දරුවන්ගෙන් 71%ක් පහරදීම් නිසා තුවාල ලබා ඇති බවකි. තුවාල ලැබූ දරුවන්ගෙන් 21%ක් චේතනාත්මක නොවන අනතුරු නිසාත්, 3%ක් තමන් තමන්ටම කරගන්නා හානි නිසාත් තුවාල ලබන බව අනාවරණය වී තිබේ. මෙකී විශ්ලේෂණයෙහි සඳහන් චේතනාත්මක නොවන අන්දමට සිදුවන තුවාල ලැබීම් ගණයට අයත් වන්නේද, චේතනාත්මකව සිදු නොවන වෙඩි වැදීම් ආදියයි.

ගිනි අවි හරඹ නිසා වැඩිපුරම ජීවිතක්ෂයට පත්වන්නේ ගැහැනු ළමුන් බව පර්යේෂකයෝ පවසති. ප්‍රතිශතයක් හැටියට ගත් කල එය 84%ක් පමණ වේ. ගිනි අවි නිසා මරුමුවට පත්වන පිරිමි ළමුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 82%ක් පමණ බව අනාවරණය වී ඇත. අප්‍රිකා - අමෙරිකා සම්භවයක් ඇති දරුවන් වැඩි ප්‍රමාණයක් විවිධ හේතු නිසා ඝාතනයට ලක් වුවත් තුවක්කු සහ රයිපල පත්තුවීම නිසා මියයන්නේ සුදු ජාතික සහ ස්වදේශික අමෙරිකා දරුවන් බව සනාථව ඇත. කෙසේ වුවද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේ තත්ත්වය වෙනස් ය. වෙඩි වැදීම් හේතුවෙන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් මරුමුවට පත්වන්නේ කොලොම්බියා සහ ලුසියානා දිස්ත්‍රික්කවල ය. ඩෙල්වෙයාර්, හවායි, මයිනේ සහ නිව් හැම්ප්ෂියර් ප්‍රාන්තවල දරුවන් ගිනි අවි නිසා මරුමුවට පත්වන්නේ අඩුවෙන් බව පර්යේෂකයෝ පවසති.

පර්යේෂකයන් සඳහන් කරන්නේ වයස වුරුදු 13 සිට 17 දක්වා වූ වයස් පරාසය තුළ දරුවන් ගිනි අවිවලින් සිදුවන අනතුරුවලට වැඩියෙන් මුහුණ දෙන බවකි. වයස අවුරුදු 12ට අඩු දරුවන් ගිනි අවි අනතුරුවලට මුහුණදීමේ ප්‍රවණතාවට වඩා එය දොළොස් ගුණයක වැඩි බව සඳහන් වේ.

“... ගිනි අවි නිසා දරුවන් තුවාල ලැබීම වළකා ගත හැකි තත්ත්වයක්. නමුත් එය මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන කාරණයක් වෙලා තියෙනවා. එනිසා දරුවන් අකාලයේ මියයාම සහ අබාධිත තත්ත්වයට පත්වීම සිදුවෙනවා. ...” යැයි පවසන්නේ අමෙරිකා රෝග පාලන මධ්‍යස්ථානයේ කැතරින් ෆොව්ලර්ය.

මින් අනාවරණය වී තිබෙන තවත් එක් වැදගත් කාරණයක් වන්නේ දරුවන්ට වැළඳෙන රෝග නිසා හෝ ගිනි අවි නිසා හෝ අමෙරිකාව තුළ දිනකට ජීවිතක්ෂයට පත්වන දරුවන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 19කට ආසන්න බවකි.

මේ අතර “ද ඇමෙරිකා ජර්නල් ඔෆ් මෙඩිසින්” හි පසුගිය වසරේ පළවුණු වාර්තාවකින් කියැවුණේ ඉහළ මට්ටමේ ආදායම් ලබන රටවල් 23ක් තුළ ගිනි අවි නිසා සිදුවන ළමා මරණ සැලකිල්ලට ගත් විට එයින් 91%ක්ම ඇමෙරිකාවෙහි සිදුවන බවකි. මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී සිටින, සංවර්ධිත රටක දරුවන් මෙවැනි ඉරමණකට ගොදුරුවනවා යැයි සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත.

සී.එන්.එන්. ඇසුරෙනි

නව අදහස දක්වන්න