සෙල්ෆි උන්මාදය සහ නැට්ටේ ගොම විචාර | දිනමිණ

සෙල්ෆි උන්මාදය සහ නැට්ටේ ගොම විචාර

මතක සාදා ගැනීමට මිනිසුන්ට ලැබෙනුයේ කෙටි කාලයකි. එහෙත් මතක ආවර්ජනයට ජීවිත කාලයම ඔවුන්ට හිමිය. නමුත් ජීවිතයේ සිදු වන හැම සිදුවීමක්ම අමතක නොකර මතක තබා ගැනීමට නොහැකිය. දිනපොතක ලියා තැබුවත් ඉන් අදාළ මොහොතේ ලැබූ හැඟීම්වලට එලෙසින්ම ජීවය දීමට බැරිය. ඡායාරූප මනුෂ්‍ය ජීවිතයේ වැදගත් අංගයක් වනුයේ මේ නිසාවෙනි. අපි මතකවලට ඇබ්බැහි වූවෝ වෙමු. තාක්ෂණික වශයෙන් වූ යුග පෙරළිය අවසානයේ අප තවමත් එසේ ය. ඉන් සිදු වූයේ ඡායාරූප කලාව තවත් පියවරකින් ඉදිරියට පැමිණීමයි.

අද සෑම දෙනා අත රැඳෙන දුරකතනය නිසා පෙර මෙන් සාමාන්‍ය ජනතාවට ඡායාරූප අරුමයක් නොවේ. විශේෂ උත්සව අවස්ථාවකට හෝ ස්ටුඩියෝවකට ගොස් ගැනීමට යෙදුණු ඡායාරූපය අද ඇත්තේ ඇඟිලි තුඩක දුරිනි. දුරකතනයක් ගැනීමේදි ඉන් කතා කිරීම කෙසේ වෙතත් එහි කැමරා උපාංගය ගැන ජනතාව විමසිලිමත් වෙති. පෙර නොවූ විරූ සංකල්පයක් වන සෙල්ෆි මිනිස් ජීවිතයේ දෛනික අංගයකි. හතු පිපෙන්නාක් මෙන් ඡායාරූප ශිල්පීහු බිහි වෙති. මොවුන්ට දැඩි ඉල්ලුමක් ඇත්තේ ඡායාරූප ඒ තරමට ම සතුට ඇති කරවන්නක් නිසා ය.

උපන්දා සිට ගෙවා ආ ළමා කාලය පිළිබඳ රස මතක පිරි ඇල්බමයක් හැම නිවසකම ඇත. අද මෙන් ඡායාරූප ගබඩා කිරීමට තරම් උපාංග නොවූ නිසා පරම්පරා ගණනක් තිස්සේ ඡායාරූප ඇල්බම අතිනත පැමිණ ඇත. අප දුරකතනයෙන් ගන්නා අනන්ත අප්‍රමාණ සේයා සමූහය නොදැනුවත්ව හෝ මැකී යාමට හැකිය. ඒ අතින් මතක සංරක්ෂණය කිරීමේදී අපි පැ‍රැන්නන්ට වඩා පසුපසින්ද කියා ඇසිය යුතුය. ඉන්ස්ටාග්‍රෑම් සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි ඒ සඳහා අපට ඩිජිටල් මුහුණතක් ලබා දී තිබේ. නමුත් ඇල්බමයක් තරමට එය හෘදයාංගම දැයි යන්න ප්‍රශ්නයකි.

කුමනාකාරයේ ඡායාරූපයකවත් නොසතුටින් සිටින, ජීවිතය එපා වූ මිනිස්සු නැත. සියලු මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල අවසානය සතුට බලාපොරොත්තු වීම නම් ඡායාරූප ගැනීම වරදක් නොවේ. නමුත් මේ පෘථග්ජන ආශාව විකාරයක් ලෙස දකින ඵලලාභී ජීවිතද අප අතර ඇත.

වත්මන් පරපුරේ ඡායාරූපකරණයට ඇති ඇල්ම හෙවත් 'පොටෝ ගැහිල්ල' විවේචනයට බඳුන් වන්නකි. සෙල්ෆි උන්මාදය ඉන් ප්‍රධාන වේ. එය සමහරුන්ගේ දෘෂ්ටි කෝණයෙන් මානසික රෝගයකි. සෙල්ෆි මාරාන්තික වූ අවස්ථාද නැතුවාම නොවේ. මෑතකදී අපේ රටෙත් මේ නිසා ජීවිත කීපයක් මරු වැළඳ ගත්හ. ඡායාරූප ගැනීමේදී පමණක් නොව ජීවිතයේ හැම අවස්ථාවකම තිබිය යුත්තකි, සිහි බුද්ධිය. එහි පිහිටා කටයුතු කළා නම් මතකයන්ගෙන් පිරි ඡායාරූපත් ඒවායේ හිමිකරුවනුත් තවමත් ජීවමාන ය.

'පොටෝ ගැහිල්ල'ට එල්ල වන විවේචන අතර බර බද්දල් නැති සාධාරණ දෑ ද ඇත. අයෙකුට විපතක් වූ අවස්ථාවක උදව් කිරීම පසෙක ලා එය ඡායාරූපයට නැගීම සහ කිසියම් ස්ථානයකට ගිය මොහොතේ පටන් ඉන් පිටවෙන තෙක් ඡායාරූප ගැනීම යනාදි කරුණු ඉන් ප්‍රමුඛ වේ. මේවා පිළිපදින්නෝ තාක්ෂණික යුගයේම නොදියුණු සත්වයෝ ය. ජීවිතයක් බේරා ගැනීමට තිබියදී එය සේයාරුවකට නැගීම මිනීමැරුමක් හා සමාන ය. කෙළවරක් නොමැතිව කිසියම් ස්ථානයකට පය තැබූ මොහොතේ පටන් කරන ඡායාරූපකරණය අශිෂ්ට ය. එය මානව සම්බන්ධතා පළුදු කරන්නකි. තමන් ගන්නා ආහාර ඡායාරූපයකට වස්තු විෂයක් කරගන්නෝ සිටිති. එය ඔවුනගේ කැමැත්ත ය. එයට කිසිසේත්ම අදාළ බවක් නැති අයට මේ ක්‍රියාවලිය කහඹිලියා සේම ය.

ඡායාරූප ගැනීම සාටෝප සංස්කෘතිකාංගයක් බවට පත් වී ඇතැයි මතයක් ද ඇත. ජනප්‍රිය සංස්කෘතිය සහ මුහු වීමට මල්ටි බැරල් තරම් ලොකු කැමරාවකින් ගන්නා එක් ඡායාරූපයක් සෑහෙන බව තරුණ පරපුර අතරින්ම පැන නැඟි අදහසකි. මේවා අපි සිතින් සාදා ගත් ආචීර්ණ කල්පික මතවාද ය. සරල වශයෙන් පවතින සියල්ල සංකීර්ණ කර ගෙන නැට්ටේ පටන් ගොම ගා ගත් විචාර දීමත් එක් අතකින් බලන කල විකල්ප ධාරාවක ජනප්‍රිය සංස්කෘතිකාංගයකි. අනාදිමත් කලක පටන් ඡායාරූප හරහා අප ලද්දේ සතුටකි. මිනිස් ජීවිතය හා බැඳෙන මෙවන් සංකල්ප විකෘති නොකර ඉදිරියට පවත්වා ගැනීම තවත් අයෙකුට සතුටින් සිටීමට කරන උපකාරයකි.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න