කුණු ප්රශ්නය කියන්නේ ලංකාවේ මේ දවස්වල කුණු වෙන ප්‍රශ්නයක්. ජනගහනය වැඩිවීම කෙසේ වෙතත් අපේ එදිනෙදා දේවල්වල පරිභෝජනය වැඩි වෙද්දි ඒවාත් එක්ක ඇතිවන ඉවතලන දේවල් ප්‍රමාණයත් වැඩි වෙනවා. කුස්සියේ ඉවීමේ දී එකතු වන දේවල්, ඉවත් කරන කෑම ජාති, පලතුරු ලෙලි, ගෙදරට අලුතෙන් ගෙනාපු බඩුවල අසුරන, ඉටි බෑග් ආදිය හැමවිට ම ගෙදර කුණු ගොඩ වැඩි කරනවා. හැබැයි මේවා ඉවත ලීමේදී අපි කාගෙත් කුණු ෂොපින් බෑග් එකට කියලා සේරම කුණු කවලමේ එක ම බෑග් එකකට දාලා පාරෙන් තියනවා. එහෙමත් නැත්නම් උදේට ඔෆිස් යන ගමන් හමුවන ප්‍රියතම කුණු ගොඩ ළඟින් නැවතිලා හොඳ හුස්මක් ඉහළට අරගෙන ගෙදරින් ගෙනාපු කුණු ටිකත් එතනට ම දාගෙන යනවා.
හවසට ගෙදර එද්දිත් ඒ කුණු ටික එතන ම යි. ඒත් බනින්නේ කණ්ණාඩියෙන් පෙනෙන කුණු දාපු කෙනාට නම් නෙවෙයි, ඒ කුණු අස් කරපු නැති වෙනත් ම කෙනෙක්ටයි. ඉතින් මේ විදිහට අපි කුණු ටික වෙන් කරලා පිළිවෙළකට ප්‍රතිචක්‍රීකරණය පහසු කරන්නට උදව් කරන්නේ නැති නිසා කුණු කඳු ඇති වෙලා, ඒවා නාය ගිහින් තවත් ප්‍රදේශයක ජනතාවකට තමයි එයින් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ කුණු කතාව අස්සේ කනු කුනු නොගා කුස්සියේ කුණුවලට තිත තියන උණු උණුවේ ආ නිෂ්පාදනයක් ගැනයි අද 'වයර් සහ අකුරු' කතාව.
සාමාන්‍යයෙන් කුණුවලට පිළියමක් තමයි ගෙදරදී ම කොම්පෝස්ට් හදන එක. දිරන කුණු වෙන් කරලා විශේෂයෙන් හදපු සිලින්ඩරාකාර කුටියකට හෝ කොටුවක් ආකාරයට හදපු කොටසක කුණු එකතු කරලා තැබුවාම ගෙදර පැලවලට දාගන්න හොඳ කාබනික පොහොර ටිකක් ලැබෙනවා. හැබැයි මේකට ටිකක් කල් යනවා. නිතර හොයන්න බලන්න, කලවම් කරන්න, ගව මුත්‍ර වගේ දේවල් එහෙම යොදලා වැඩේ ඉක්මන් කරවන්නත් කරදර වෙන්න සිද්ධ වෙනවා. අනෙක කුස්සියෙන් ඉවතලන කිරි නිෂ්පාදන, මස් වර්ග වගේ හැමදේම කොම්පෝස්ට් කරන්නත් බැහැ වගේ ම මෙහෙම කෑම එකතු වෙලා තියෙන කොට එක එක ජාතියේ කෘමීන් ඇවිත් ගෙදරටත් බෝ වෙනවා විතරක් නෙවෙයි, සමහර ලොකු සත්තු ඇවිත් කුණු ටික අවුස්සලා දානවා. මේ සේරම ප්‍රශ්නවලට විසඳුමක් හැටියට ZERA නම් ආහාර ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය නව නිපැයුමක් වශයෙන් ලොවට එළි දක්වා තිබෙනවා.
ගේ ඇතුළේම උයන මේසය ළඟින් ම තබා ගත හැකි අඩි තිස් හතරක් පමණ උස පෙට්ටියක් වැනි උපකරණයක් වන මෙහි ඉහළ කොටසේ තල්ලු කොට වැසිය හැකි පියනක් තිබෙනවා. කුස්සියෙන් ඉවතලන එළවළු කැබලි, ඉඳුල්, පළතුරු ලෙලි හෝ පොතු ආදිය ඇතුළත් කිරීමට ප්‍රමාණවත් එම විවරය තුළින් අපද්‍රව්‍ය බහාලුම තුළට එක් වනවා. එතුළ කලවම් කිරීමේ උපකරණයක් සහ අපද්‍රව්‍ය කුඩා කොටස්වලට සිඳලන තියුණු තල තිබෙනවා. එහෙත් මේවා බොහෝ ගැඹුරින් තිබෙන නිසා කුඩා දරුවෙකුටවත් ඊට අත දමා තුවාලයක් කරගන්නට අවස්ථාවක් නැහැ. කිලෝග්‍රෑම් 3.5ක් එනම් දින හතකට පමණ සරිලන කුණු ප්‍රමාණයක් රඳවා ගත හැකි මෙම කුටීරය පතුලෙහි කුණුවලින් අන්තඵලය වෙන් කරගන්නට වෙන ම කවුළුවක් හා තැටියක් තිබෙනවා. මෙම උපකරණය ඔබේ දුරකතනයේ තිබෙන ඇප් එකක් සමඟ සම්බන්ධ වෙමින් සජීවීව එහි තත්ත්වය පිළිබඳව දැනුම් දෙනු ලබනවා.
උයන අතරතුරේ එකතු වෙන කුණු ටික එළියේ තියෙන කොම්පෝස්ට් එකතුවට ගිහින් දාන එක ටිකක් කම්මැලි වැඩක්. මොකද ගඳ සහ සත්තු බෝ වන නිසා ගෙදර ආසන්නයේ ම ඒක නොහදා ටිකක් ඈතින් හදන්නට සිද්ධ වෙනවා. කුණු ටික ඒකට ගිහින් දාන්න අපිට කොච්චර කම්මැලි හිතුණත් ගෙදර කුණු ගොඩ ගැහෙන එකනම් නවතින්නෙ නැහැ. ඒත් මේ ගෘහ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය කුස්සියේ කැපුම් මේසය අසලින් ම තියාගන්න පුළුවන් නිසා උයන අතරතුරේ ම කුස්සියත් අස් කරගන්න පුළුවන්. එළවළු විතරක් නොවෙයි, මස්වලින් ඉවත් කරන කොටස් සහ කිරි සහිත ආහාර ද මීට දැමිය හැකි නිසා නෝනාගේ තේ එක රහ නැත්නම් ඇවිත් 'සේරා' එකට හලලා යන්න පුළුවන්. ඒ වගේ ම ගෙදර මෙහෙකාරියක් ඉන්නවා නම් ඇය කුණු ටික අස් කරනවා ද කියලා බලා ගන්නත් ඔබට ලෝකයේ එහා කෙළවරේ ඉඳලා වුවත් පුළුවන්. මොකද, එහි පියන විවෘත ද නැති ද යන්නෙහි සිට සියලු දේ ම දුරකතන ඇප් එකේ පෙන්වන නිසා එය භාවිතයට ගන්නවා ද යන්න ඔබට බලාගන්න පුළුවන්.
සාමාන්‍ය කොම්පෝස්ට් එකතුවක කුණු දිරලා පොහොර හැදිලාද බලන්න කුණු අවුස්සන්න වෙනවා. ඒ වගේ ම ඒ ටික වෙන ම හලලා කුණුවලින් පොහොර ටික වෙන් කරගන්න වනවා. හැබැයි සේරා හි ඒ කරදරය නැහැ. බහාලුම පිරුණා ම එහි තිබෙන සැකසුම් ක්‍රියාවලිය අරඹන බොත්තම තද කළායින් පස්සේ ලොකු අපද්‍රව්‍ය කැබලි කුඩා කරලා, හොඳට කවලම් කරලා පැය 24ක් පමණ සුළු කාලයක් තුළදී එහි පහළ කොටසින් පොහොර ටික බන්දේසියක තබා පිළිගන්වන්නට එය සමත් වෙනවා. ඔබට බොත්තම ඔබන්නට අමතක වුවත් දුරකතනය අතේ තිබෙනවා නම් ඔෆිස් එකේ ඉඳගෙන වුවත් එය ක්‍රියා කරවන්නට හැකියාව තිබෙනවා. ඒ වගේ ම ගෙදර පූසා මාළු කට්ටක් හොයා ගන්න මේකට රිංගන්න උත්සාහ කළොත් දුරකතනයෙන් ම එහි කවුළුව අගුළුලන්නට ඔබට හැකි වෙනවා. පූසා ටිකක් බඩගින්නේ හිටියාට කමක් නැහැ, ඔබ ගෙදර යද්දි උන්දැව කොම්පෝස්ට් වෙලා තිබෙනවාට වඩා.
සේරාහි ක්ෂණික දිරාපත් වීම ලබාදෙන බේකින් පවුඩර් හා ශාකමය කෙඳිවලින් සැකසූ මිශ්‍රණය ස්වයංක්‍රීයව මිශ්‍ර වීම සඳහා ඊට එක් කළ යුතු වනවා.
එසේ ම මෙහි තිබෙන කාබන් වායු ෆිල්ටරය නිසා දුගඳ හැමීම වළකාලන අතර මේ දෙක ම කාලයකට සැරයක් මාරු කරන්නට සිදු වනවා. ඒ බව ඇප් එක ඔබට සිහිපත් කර දෙනවා. මේ වසර අග භාගයේදී පෙර-ඇණවුම් කළ අයට අඩු මිලට සහ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත මේ අපූරු උපකරණය ඓන්ද්‍රීය පොහොර ගේ ඇතුළේම හදාගෙන කුණුවලින් රට කුණු කර ගන්නේ නැතිව තවත් සුවඳ හමන මලකට, කුස පුරවන එළවළුවකට ඔබේ ගෙවත්තේ හිස ඔසවන්නට උපකාර කරාවි.
නව අදහස දක්වන්න