ටැම්පිටියේ හිමි බන්ධනාගාර රෝහලට | දිනමිණ

ටැම්පිටියේ හිමි බන්ධනාගාර රෝහලට

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී රජයේ දේපලවලට අලාභ හානි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අද (24) කොළඹ ජාතික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

එම අවස්ථාවේ උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් යහපාලන ආණ්ඩුව සිසුන්ගේ උද්ඝෝෂණ සිදුකිරීමේ ප්‍රජාතත්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බවයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ හිටපු සභාපති පබසර ධර්මවර්ධන සදහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සයිටම් සටන දියාරු කිරීමට උත්සාහ දරන්නේ නම් ඊට ශිෂ්‍ය ව්‍යාපාරය එකඟ නොවන බවයි.

මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ.

ඒ සදහා ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මෙන්ම රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් ද එක්ව සිටියේය.

එසේම මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ද අද ගලහ මංසන්ධියේ විරෝධතාවක නිරත විය.

නව අදහස දක්වන්න