සමාජයේ අභියෝග තේරුම්ගෙන ජීවත්වීමට දරුවන් කටයුතු කළ යුතුයි | දිනමිණ

සමාජයේ අභියෝග තේරුම්ගෙන ජීවත්වීමට දරුවන් කටයුතු කළ යුතුයි

ගිරිතලේගම විද්‍යාලයේ නව ගොඩනැගිල්ල හා රංග ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී ජනපති කියයි

විභාගය සමත්වු පමණින් ජීවිත සමත්විය නොහැකි අතර එදිනෙදා සමාජයේ පවතින අභියෝග තේරුම්ගෙන ජීවත්වීමට දරුවන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දරුවන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳ මවුපියන් මීට වඩා අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ජනාධිපතිවරයා පසුගියදා සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවු ජීවිත අහිමිවීම් මෙන්ම, ජීවිතයේ අභියෝගවලට මුහුණදිය නොහැකිව තරුණ දරුවන් සිය දිවි නසා ගැනීම් පිළිබඳව පලවු වාර්තා ගැන කණගාටුවෙන් සිහිපත් කෙළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසූවේ පෙරේදා (21) පොළොන්නරුව, ගිරිතලේගම විද්‍යාලයේ නව ගොඩනැගිල්ල හා රංග ශාලාව විවෘත කිරීමේ උත්සවයේදීය.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ කළුවර පැළයක් රෝපනය කිරීම ද සිදු විය.

විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ආදි ශිෂ්‍යයින් ද ඇගයීමට ලක් වූ අතර උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එච්.එම්.සී. බණ්ඩාර, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය...

ගිරිතලේගම මහා විද්‍යාලයට අද දීර්ඝ කාලීනව තිබූ අවශ්‍යතා කිහිපයක් ඉටුවූ දවසක්. මේ ශ්‍රවණාගාරයේ නම ලෙස යොදන්නට මම දිසාපතිතුමාට යෝජනා කළා, පුලතිසි සූර්ය්‍ය මණ්ඩපය කියා. පොළොන්නරුව නව නගරයේ නව ශාලාව හෙට විවෘත කරනවා. එම ශාලාවට අපි නම තිබ්බා ද චන්ද්‍ර මණ්ඩපය කියා. තව මෙවැනි ශාලා ලංකාපුර, හිගුරක්ගොඩ ප්‍රදේශවලත් තිබෙනවා විවෘත කිරීමට. පන්ති කාමරයේ තිබෙන නව ගොඩනැගිල්ලත් මේ ශ්‍රවණාගාරයත් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ලැබීම පිළිබද අපි ඉතාමත් සතුටු වෙනවා. මේ ශ්‍රවණාගාරය පිළිබඳ කතා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කටුකයි, අමිහිරියි එහි ආරම්භය. ඒ කාලයේ හිටපු අපේ නායක හාමුදුරුවෝ මේවැනි ගොඩනැගිල්ලක් ඕනේ කියා මගෙන් ඉල්ලීමක් කළා.

මම පසුගිය කාලයේ ආණ්ඩුවෙන් එළියට එන්න සිටින විට, විටයි මේ සඳහා මුදල් ලබා ගත්තේ. 2014 වසරේ මුල එවකට මුදල් වෙන්කරන ඇමතිවරයෙකුට මම දෙතුන්වරක් කියා, ලිපි දෙකක් දීමෙන් අනතුරුවයි මේ සඳහා ඔවුන් ක්‍රියාත්මක වුණේ. මේ ශාලාවට මුදල් වෙන්කරන විට මගේ සිතේ සිහිනයක්වත් තිබුණේ නැහැ මම මේ රටේ ජනාධිපතිවරයෙක් වීම පිළිබඳ. එහෙත් ජනතාවගේ ආශිර්වාදය සහ දෛවයේ ඉරණමත් සමඟ අද විවෘත කරන්නේ එදා ඇමතිවරයෙක් විදියට වෙන් කරගත් මුදල් පසුව ජනාධිපති වෙලා තවත් අඩුපාඩු 13 ක් තිබුණා, එම අඩුපාඩුත් සම්පූර්ණ කරගෙන මේ දරුවන්ට ශ්‍රවණාගාරයක් සහ දෙමහල් ගොඩනැගිල්ලත් ලබා දුන්නා. ඔබට මේ වේදිකාව නිර්මාණය කරන්නේ ඔබේ කුසලතා, නිර්මාණයන් ශක්තිමත් කිරීම සඳහා. ඔබේ බුද්ධි වර්ධනය සඳහා.

මම ඕස්ටේ‍්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ අවස්ථාවේ දී නව වෛද්‍ය පර්යේෂණ ආයතනයකට ගියා. එහි ඖෂධ සහ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම සකස් වෙන්නේ පරමාණු වලින්. එහි දී ඕස්ටේ‍්‍රලියාවේ ආචාර්යවරු, මහාචාර්යවරු හදුනා ගත්තා. එහි දී එක් මහත්මයෙක් මගේ ළගට ඇවිත් මට අත දී කිව්වා, සර් මම මහාචාර්ය දිසානායක. මම අවුරුදු 27 ක් මේ ආයතනයේ වැඩ කරනවා. මගේ ගම පොළොන්නරුවයි කියා. නායක හාමුදුරුවනේ ඒ වේලාවේ මට ඇති වූ සතුට අසීමිතයි. අපේ කෙනෙක් ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන රටක එමෙන්ම තාක්ෂණයේ ඉහළම තිබෙන පරමාණු බල ශක්තිය තුළින් ලෝකයේ වෛද්‍ය පර්යේෂණ සහ ප්‍රතිකාර කරන ආයතනයක අපේ ලාංකිකයෙක් අවුරුදු 27 ක් මහාචාර්ය වරයකු ලෙස සිටීම අපිට විශාල ගෞරවයක්. දරුවනේ අපි ඔබෙනුත් බලාපොරොත්තු වෙන්නේ එයයි. මීට අවුරුදු විස්සකට විසිපහකට එහා මම පාර්ලිමේන්තුවට ගිය කාලයේ පොළොන්නරුවේ දරුවන්ව පාසල්වල දී උත්සවවල දී හමුවුණාම මම කිව්වේ දරුවනේ, මේ ඉන්න තැන මෙහෙම ඉදලා බැහැ. හබරණින් එහාට යා යුතුයි කියා සරලව කිව්වා. මීට අවුරුදු දහයකට පෙර මම කිව්වා, මේ කවුරුත් ජාතික මට්ටමේ තිබෙන ජයග්‍රහණ ලබාගෙන මහ මුහුදෙන් එගොඩ වෙන්න සූදානම් විය යුතුයි කියා.

ලෝකයේ තිබෙන තරගකාරීත්වය සෑම ක්ෂේත්‍රයකම තිබෙන මානවයාගේ තරගකාරීත්වය අද සියලූ දේ සමඟ එක්වී තිබෙනවා. එය සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් සියලූ ක්ෂේත්‍රවල නව තරගකාරීත්වය සමඟ ඔබ සියලූ දෙනාම සූදානම් විය යුතු වෙනවා. පොළොන්නරුවේ පාසැල් 240 ට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. දරුවන් අනූ දාහක් පමණ මේ පාසල්වල අධ්‍යාපනය ලබනවා. ගුරුවරුන් පන්දාහක් පමණ මෙහි සේවය කරනවා. ඔබට අවශ්‍ය මානව සම්පත් සහ භෞතික සම්පත් ඔබට ලබා දෙන්නේ තරගකාරීත්වය තුළ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමටයි. පසුගිය අවුරුද්දේ අපේ රජය ආරම්භ කළා දීදරුවන් රකිමු කියා වැඩසටහනක්. අධ්‍යාපනයට කෙරෙන ආයෝජනය රටක අනාගත සංවර්ධනය සඳහා කරන පුුළුල්තම හා ශක්තිමත් වූ ආයෝජනය ලෙසයි අපි සලකන්නේ. ඒ නිසායි අපේ දරුවන්ට ලෝකය ජයග්‍රහණය කිරීම සඳහා මේ සම්පත් සියල්ලම ලබා දෙන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වර්ධනය ඉලක්ක සහගත ජාතික වැඩසටහන් සියල්ල සමඟ ජාත්‍යන්තරයේ දොරටු විවෘත කරන්න ඔබට මග සකස් වන විට සැමවිටම දරුවනේ, විභාග සහතිකය සමත් වූ පමණින් ජීවිතය සමත් වෙන්න බැරි බව අප දැනගත යුතුයි. විභාග සමත් වන්නා සේම ජීවිතය සමත් වීමේ සමාජමය ප්‍රායෝගික අභියෝග අප විසින් තේරුම් ගත යුතුයි.

දීදරුවන් රකිමු යන වැඩසටහන අපි මූලික වශයෙන් ආරම්භ කළේ මේ රටේ දරුවන් මුහුණ දෙන විවිධ ගැටලූ විසදීමයි. මම පසුගිය අවුරුද්දේ අපේ රටේ මත්ද්‍රව්‍යවලින් විනාශ වූ දරුවන් සිටින පුනරුත්ථාපන මධ්‍යස්ථාන කිහිපයකට ගියා. ඉතාම පින්වන්ත ලස්සන දරුවෝ. පාසල්වල 10, 11, 12 පන්තිවල දරුවන්. මත්කුඩු මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා අද පුනරුත්ථාපන කදවුරුවල සිටිනවා. ඒ දරුවන්ගේ මුහුණු දැක්කහාම මට සිතුනේ මොවුන් ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිත කරනවාද කියායි. එය අයහපත් තත්ත්වයක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් මේවා බරපතළ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. පසුගිය දිනක මෙහි අසල්වැසි පාසලක ඔබ වැනි දරුවකු පොලිසිය අත්අඩංගුවට ගත්තේ මත්කුඩු ජාවාරම්කාරයෙකුගේ නියෝජිතයෙක් විදියට කටයුතු කිරීම නිසා.

දරුවාගේ ආරක්ෂාව සුරක්ෂිතතාවය පිළිබඳ කතා කරන විට පාසලේ දරුවා ඉගෙනුම ලබන පැය පහ වගේම ඉතිරි කාලයේ දී පාසලෙන් බාහිරව දරුවාගේ සුරක්ෂිතතාවය පිළිබඳ මවුපියන් ඉතා වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අපි දකිනවා. ඔබ මාධ්‍ය තුළින් අසන, දකින දේ සමඟ දරුවන්ට ආරක්ෂිතම ස්ථානය පාසල ලෙසයි අපි දකින්නේ. දරුවා අයහපත් දේ සඳහා යොමුවීමේ අවස්ථාව පාසල තුළ ඉතාමත් අවමයි. එවැනි දේවල් වාර්තා වෙනවානම් මේ රටේ ලක්ෂයකට එකක් වගේ තිබෙන්නේ. දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙන්නේ මවුපියන් සමඟ දරුවන් සිටින කාලය තුළයි. බොහෝ වෙලාවට මවුපියන් ආර්ථික තරගයක, ජීවත්වීමේ තරගයක සිටිනවා. ඒ දේවල් සමඟ මවුපියන්ගේ අවධානය ගිලිහෙනවා. මවුපියන් දරුවන්ට ආදරේ නැතිව නෙමේ. මවුපියන් දරුවන්ට තිබෙන ආදරේ වැඩි නිසා දරුවන් වෙනුවෙන් සමාජ තරගකාරීත්වයකට මවුපියන් යෙදිලා ඉන්නවා. මේ දේවල් එක්ක බොහෝ වෙලාවට ආපසු හැරී බැලීමක් ඇතැම් වෙලාවට මවුපියන් තුළින් සිදුවන්නේ නැහැ. පාසලට ඇතුළත් කළ දරුවා පාසලේ පැය 6ක් සිටීමෙන් පසුව ගෙදර දී මොනවාද කරන්නේ, ඔහු ඇසුරු කරන්නේ කවුරුන්ද, ඔහු කොහොමද කාලය ගත කරන්නේ කියලා මවුපියන් සොයාබලා කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි.

පසුගිය සතියේ පමණක් ජංගම දුරකථනය ජීවිත කීයක් විනාශ කළාද? සෙල්ෆි ඡායාරූප ප්‍රශ්නයේ දී මම දැක්කා ඉන්දියාවේ නීතියක් ගෙනත් තිබෙනවා අනතුරු දායක තැන්වල ඡායාරූප ගත කරනවාට දැඩි දඩුවම් ගේනවා කියලා. මොකද හේතුව විනාශ වන ජීවිත ගැන හිතලා. පසුගිය දිනවල බම්බලපිටිය ප්‍රදේශයේ සිදුවුණ ජීවිත හානිය. අයියා සහ මල්ලි තමයි මෙහෙම අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේ. දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගහලා දෙන්නම දන්නේ නැහැ මොකද්ද වුණේ කියලාවත්. මුහුදේ ශබ්දයට කෝච්චි එන ශබ්ධය ඇහෙන්නේ නැහැ. ඒ නිසා දෙන්නම ජීවිතක්ෂයට පත්වුණා. මල්ලිගේ බෙල්ල හමුවුණේ ඊට පසුවදා ගම්පහ දුම්රිය මාර්ගයේ තිබිලා.

මේ සියල්ල සිදුවන්නේ අපි සමාජ තරගකාරීත්වය, අයහපත් සමාජය, මිනිසුන් හදුනාගැනීම වැනි දේවල් තුළින් තමයි. දරුවන්ගේ විභාග ප්‍රථිඵල විශිෂ්ටයි. ඉහළ ප්‍රථිඵල තිබෙනවා. මේ තමයි රටේ අධ්‍යාපන තත්ත්වය. නමුත් විභාග සමත්වීමත් සමඟ ජීවිතය සමත්වීමේ අභියෝගය දරුවා කොයිතරම් දුරට සිදුකරනවාද? මේ පිළිබද වගකීම තිබෙන්නේ මවුපියන්ට. ඒ වගේම ගුරුවරුන් ඒ පිළිබද අවබෝධයකින්, වගකීමකින් කටයුතු කිරීම අවශයයි.

මම සතුටු වෙනවා අපට තිබෙන සමාජ දොරටු විවර කරගෙන අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් පසුබිමයි අපි රජයක් විදියට සකස් කරන්නේ. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන මගින් අධ්‍යාපන, සෞඛ්‍යය, දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, අනෙකුත් විවිධ ක්ෂේත්‍ර හරහා අපි පුළුල් ආයෝජනයක් කරලා තිබෙනවා. තුන් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ. ඒ තුළ මම බලාපොරොත්තු වෙනවා පොළොන්නරුවේ විශාල වෙනසක් වෙයි කියලා. මම දකිනවා පොළොන්නරු නගරයට ගියාම මංතීරු හතරකින් යුත් මහාමාර්ග මේ දිනවල සකස් වෙනවා. අපිට ආර්ථිකය ගැන කතාකරන විට ඇතැම්විට ගිරිතලේ ගොවිජනතාව ගැන කතාකළොත් ඔවුන් සතුටු සිතින් නොවේ ඉන්නේ ජල ප්‍රශ්නයත් එක්ක. මේ ප්‍රශ්නය ගිරිතලේට විතරක් නොවේ. පොළොන්නරුවේ විවිධ පළාත් වලත් තිබෙනවා. අද අනුරාධපුර දිස්ත්‍රික්කයේත් බරපතළ නියගයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇමතිවරු මංගාවට ඇවිත් කිව්වා නියග තත්ත්වයට ඉක්මනින් සහන දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා කුරුණෑගල හා අනුරාධපුරයට.

ඔබ දන්නවා ඇතිවුණ ගංවතුර තත්ත්වය. ලොව අනෙකුත් රටවල ඔබ මාධ්‍යවල දකිනවා. දකුණු ඉන්දියාව ගත්විට සාමාන්‍ය ජනතාවට ජීවත්වන්න අසීරු තත්ත්වයකට පත්වෙලා. ඒ තරම් වියළි කාලගුණයක්. බොන්න වතුර නැහැ. පකිස්ථානය, තායිලන්තය ගත්තාම ගංවතුර ආපදාවන්. මීට දින කිහිපයකට කලින් ලන්ඩන් නගරයේ තට්ටු නිවාසයක් ගිනි ගත්තා, ජීවිත හානි සිදුවුණා. ඒ එක්කම තවත් රටක ලැව් ගින්නක්. ජීවිත කීයක් විනාශ වුණාද? ජපන් මුහුදේ ඉහළම තාක්ෂණයෙන් යුත් නැව් දෙකක් එකිනෙක ගැටුණා. එහි දී ජීවිතත් එක්ක කොයිතරම් වත්කම් විනාශ වුණාද. ගෝලීය උෂ්ණත්වය පාරිසරික වෙනස්කම් මෙන්ම ඇතිවන විවිධ තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය මිනිසුන්ට වගේම සත්ත්වයින්ට ජීවත්වීමේ අභියෝගය ඇතිවෙලා තිබෙනවා. අද මුළු ලෝකයේම පරිසර විනාශය කියන එක විශාල ගැටලූවක් වෙලා තිබෙනවා. ඒ වගේම සිදුවන සමාජ විෂමතාවයන් සමඟ අපි අද විවිධ ගැටලූවලට මුහුණ දෙනවා. මේ සියල්ල සමඟ හොද රටක් හදන්න සිදුකළ යුතු කාර්යය භාරයන් ඔබ විසින් තෝරාබේරාගෙන සිදුකරයි යන්න මා විශ්වාස කරනවා. පාසලේ දරුවන්ට කියලා දෙන්න වෙලා තියෙනවා විභාගයට අවශ්‍ය විෂය වගේම ජීවිතය සමත්වීමේ කාර්යයන් වගේම ඉතා පුංචි දේවලූත්. ගෙදර තිබෙන කැළිකසළවලට මොකද කරන්නේ කියලත් කියලා දෙන්න වෙලා තිබෙනවා.

ඔබ අද මාධ්‍ය තුළින් දකිනවා රජයට එල්ලවන විවිධ චෝදනා ගැන. කොළඹ කුණු කදු ගැන. පාරේ තිබෙන කුණු පිළිබඳ. මීතොටමුල්ල මහා කුණු කන්දේ ප්‍රශ්නයත් සමඟ කොළඹ කුණු දැමීමේ ගැටලූව මතුවුණා. ඒ නිසා අපි නීතියක් ගෙනාවා කුණු වර්ග කිරීම පිළිබදව. හුගක් අය ඒ වගකීම ඉටුකරනවා. ඒ වැඬේ නොකරන පිරිස කුණු එකතු කරලා මල්ලකට දාලා පාරට ගෙනත් දාලා යනවා. කුණු කසළ අදින ආයතන ගෙනියන්නේ වර්ග කරන ලද කසළ විතරයි. ඒ නිසා තමයි අනෙක් ඒවා පාරේ ගොඩගැහෙන්නේ. වැරැුද්ද කාගෙද? ආණ්ඩුවේ ද? තමන්ගේ ගෙදර කසළ වර්ග කරලා ගෙනියන්න හදලා දෙනඑක අමාරුද? මේ පුංචි දේවලූත් අද දරුවන්ගේ ඉදලා කියලා දෙන්න සිදුවෙලා තිබෙනවා. අපි කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ. පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඩෙංගු මදුරු වර්ධනය අපි කොහොමද මර්දනය කරගන්නේ. ලෝකයේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය අද බරපතළ ප්‍රශ්නයක්. ඉන්දියාවේ ඩෙංගුවලින් මියයන පිරිස කවුරුවත් දන්නේ නැහැ. ඉහළම දියුණුවක් තියෙන රටවලවත් ඩෙංගු මර්ධනය කරන්න පුළුවන් වෙලා නැහැ. මෙක්සිකෝව වැනි රටවලත් ඩෙංගු මදුරු ගැටලූව ව්‍යාප්ත වී තිබෙනවා.

අපි මේ සියල්ල එක්ක සටන් කරනවා. සටන් කරන්න අපි සියලූ දෙනාටම කැපවීම අවශ්‍යයි. රට වශයෙන් ගත්තාම දෙසීයක් පමණ මියගිහින් තිබෙනවා ඩෙංගු හේතුවෙන්. ඒ නිසා පවිත්‍ර කිරීම්, කසළ කළමනාකරණය, අපි හැමෝටම පැවරිලා තියෙනවා. සමහර මිනිසුන් තමන්ගේ ජීවිතයටත් ආදරේ නැහැ. තමන්ගේ ජීවිතයට ආදරේ නම් ගෙදර පිරිසිදුව තියාගන්න ඕනි.

ඒ නිසා අපිට මේ තිබෙන සමාජ අභියෝග තේරුම් අරගෙන හොද අධ්‍යාපන තත්ත්වයත් එක්ක හොදින් විභාග පාස්වෙලා හොද පුරවැසියන් විදියට රට ජයග්‍රහණය කරවන්න ඔබ සියලූ දෙනාට ධෛර්්‍යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, පළාත් ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් දේශපාලනඥයින්, ගුරු භවතුන්, මවුපියන්, සිසුදරුවන්, ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

ඡායාරූප-ජනාධිපති මාධ්‍ය ඒකකය
සුදත් මලවීර
රක්ෂණ ශ්‍රියන්ත සහ පොළොන්නරුව දිසා සමූහ
පොළොන්නරුව සිට

නව අදහස දක්වන්න