දවස් 17ක් මුහුදේ අතරමංවී සිටි ධීවරයෝ නිරුපද්‍රිතව එති | දිනමිණ

දවස් 17ක් මුහුදේ අතරමංවී සිටි ධීවරයෝ නිරුපද්‍රිතව එති

මීගමුව විශේෂ එච්. ප්‍රනාන්දු

බහුදින යාත්‍රාවකින් මසන් මරන්න ගොස් යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිතවී දින 17ක් මුහුදේ අතරමංව සිටි ධීවරයන් හය දෙනා නිරුපද්‍රිතව මීගමුවට පැමිණි බැව් වාර්තාවේ.

එක වේලක් පමණක් කෑම කමින් දෙවියන්ට කන්නලව් කරමින් සිටි මේ ධීවරයන් හය දෙනා තවත් ‍බහුදින යාත්‍රාවක ආධාරයෙන් මීගමුව ධීවර ගම්මානයට පැමිණියේ ඉකුත් 13වැනි දිනය.

මෙලෙස ජීවිත බේරාගෙන මීගමුව ධීවර ප්‍රදේශයට පැමිණියේ යාත්‍රාවේ නියමු මීගමුව මුත්තක්කරේ පදිංචි ඩබ්ලිව්. රත්නපාල ප්‍රනාන්දු, ඩී. චතුරංග ප්‍රනාන්දු, කේ.එස්. වසන්ත ප්‍රනාන්දු, ඩී. ආර්. ඒ.වයි. කුමාරි මධුසංඛ, කේ.එන්. රමේෂ් හා ඩබ්ලිව්. එන්. විජේසිරි යන හය දෙනායි.

මේ ධීවරයන් ඕලුවිල් ධීවර තටාංගණයෙන් “විජය 2” බහු දින යාත්‍රාවෙන් මසුන් මැරීමට ගොස් තිබෙන්නේ මැයි මස 25 වැනිදායි. මුහුදු ගොස් දින දෙකකට පසුව බහුදින යාත්‍රාවේ බැටරිවල දෝෂයක් නිසා ඇංජිම නතරවී තිබේ.

විජය 2 බහුදින යාත්‍රාවේ නියමුවා වන මීගමුව මුන්නක්කරේ පදිංචි සිවුදරු පියෙකු වූ ඩබ්ලිව් රත්නපාල ප්‍රනාන්දු (59) මහතා මෙසේ කීය.

අපට පන්න කිරීමට හැකි වූයේ දින දෙකක් පමණි. යාත්‍රාෙව් බැටරිවල දෝශයක් නිසා යාත්‍රාවේ ඇංජිම නතර වුණා. ඒ වනවිට යාත්‍රාව තිබුණත් ගැඹුරු මුහුදේ. යාත්‍රාවේ ඇංජිම නතර වෙනවාත් සමගම විදුලියද ඇන සිටියා. පණිවුඩ හුවමාරු කරන අංගනය සියල්ලම නතර වුණා.

අපි කෑවේ එක වේලක් විතරයි. යාත්‍රාවේ තිබුණෙත් හාල්, කරවල හා පරිප්පු විතරයි. මසකට ඇතිවෙන්න ආහාර තිබුණත් අපට ගොඩට යන්න ලැබෙන්නේ කවදාද කියල අපටම ප්‍රශ්නයක් ඇති වුණා. ඒ හින්ද කෑවේ එක වේලක් පමණයි.

මේ අතරේ විජය 1 බහුදින යාත්‍රාව අප ආසන්නයට ආවා. එම බහුදින යාත්‍රාවේ බැටරි ගෙනත් තිබුණා. එම බැටරිවල ආධාරයෙන් අපේ බෝට්ටුවේ ඇංජිම පන ගන්වා ගෙන ගොඩට ආවා.

යාත්‍රාව අයිති ඩබ්ලිව්. එම්. එම්. රොම්ලන් මහතා අපට මීගමුවට එන්න වෑන් රථයක් එවලා තිබුණා. බහුදින යාත්‍රාව එවලා තිබුණේද ඒ මහතාමයි.

අපි ජුනි මස 13 දා මීගමුවට ආවා.

නව අදහස දක්වන්න