ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ අඩුපාඩු ගොඩගැහිලා | දිනමිණ

ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ අඩුපාඩු ගොඩගැහිලා

මහර ගණිදු රෝචන සමරතුංග

ගම්පහ මහ නගර සභාවට අයත් ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිකර ඇති සමහර ගොඩනැඟිලිවල බිත්ති බොල්වී පුපුරා ඒවායේ වහලයට සෙවිලි කර ඇති සෙවිලි තහඩු දිරා කැඩී යාම හේතුවෙන් වර්ෂා කාලයේදී වෙ‍ළෙඳුන් විවිධ කරදරවලට මුහුණපා සිටිති.

මීට අමතරව මෙහි සමහර කාණු පද්ධති කැඩී අවහිරවීම හේතුවෙන් ද ප්‍රදේශයේ මැසි මදුරුවන් බෝවීමේ අවදානමක් මතුව පවතියි. මෙහි පානීය ජලය ලබා ගැනීමට ඉදිකර ඇති ජලකරාම සහ එළවළු සේදීමට යොදා ගන්නා සමහර ජල ටැංකි අබලන් තත්ත්වයෙන් පවතින බව එහි වෙළෙන්දෝ පෙන්වා දෙති. මේ වනවිට මෙහි අප ජලය බැසයාමට ඉදිකර ඇති සමහර ජල නළ කැඩී ඇති බැවින් එම අප ජලය කාන්දුවී මෙහි බිත්ති බොල්වී විනාශවීමේ අවදානමක් මතුව තිබේ.

වර්ෂ 1969 මාර්තු මස 31වනදින එවකට පළාත් පාලන ඇමැතිවරයා ලෙස කටයුත කළ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙහි මුල්ගල තබා ඇති බව එහි සමරු ඵලකයක සටහන්වී ඇත. එහෙත් මෑත කාලයේ දී මේ පොදු වෙළෙඳ සංකීර්ණයේ කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකර නොමැති බව එහි වෙළෙන් ෙදා් පෙන්වා දෙති.

මේ ස්ථානයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගම්පහ , මාකෙවිට, පහළ යාගොඩ, ඉහළ යාගොඩ, ඔරුතොට, බැන්ඩියමුල්ල, පහළගම, ඉහළගම, මිරිස්වත්ත යන ප්‍රදේශවල පදිංචි ජනතාව වැඩි වශයෙන් පැමිණෙති. එහෙත් මෙය අබලන් තත්්වයෙන් පැවතීම පිළිබඳ ජනතාව විවිධ මත පළ කරති.

ඒ අනුව ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ පවතින අඩු පාඩු නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසට එහි වෙෙළන්ෙදා් අදාල අංශවලින් ඉල්ලා සිටිති. 

 

නව අදහස දක්වන්න