රෝහල්වල පොදු ලෙඩක් | දිනමිණ

රෝහල්වල පොදු ලෙඩක්

පොදු ලෙඩක්පාසල හා රෝහල එක සමානය. මෙම උත්තරීතර ආයතන දෙකෙන්ම මානව සංහතියට සිදු කරන උතුම් සේවය මිල කළ නොහැක. මේ ලංකාද්වීපයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා රජය විසින් මහජනතාවට නොමිලේම ලබා දෙයි. ඒ සඳහා වාර්ෂික අය වැය තුළින් මුදල් වෙන් කරනු ලබයි. මෙවැනි උතුම් සත්කාර ජනතාවට සිදුකරන රටවල් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. ආසියාවේ ධනවත්ම රාජ්‍යය වන ජපානයෙන් මේ උතුම් සේවා සඳහා මුදල් අය කෙ‍රේ. ලංකාව පලාත් නවයකට බෙදා වෙන්කර ඇත. මෙම පළාත් නවය තුළ දිස්ත්‍රික්ක 24 ක් ඇත. මෙම හැම දිස්ත්‍රික්කයේම දිස්ත්‍රික් රෝහල බැගින් මෙන්ම පලාතේ ජනගහනය අනුව මහ රෝහල් කිහිපය බැගින්ද ඇත. මෙම රෝහල් හැරුණුකොට ග්‍රාමීය රෝහල් රාශියක් පිහිටා ඇත. මෙම‍ රෝහල් අතර ශික්ෂණ රෝහල් ද ඇත. කොළඹ අගනුවර ඇති ජාතික මහ රෝහල මේ සියලු රෝහල්වලට ප්‍රධානය. මෙම රෝහල් පද්ධතිය විසින් මහජනතාවට කරන සේවාවන් කිසිම ලෙස ලඝුකොට සැලකිය නොහැක.

අලුත උපන් සිඟිති ළදරුවාගේ පටන් මරණාසන්න අසූ හැවිරිදි මහලු පුද්ගලයා සඳහා හෙදකම හා වෙදකම අඩුවක් නැතිව දවසේ පැය 24 පුරාම කරන සේවය අති උතුම් ය. ඒත් මේ මෑතක සිට රජයේ රෝහල්වල පරිපාලනය දැඩි පසුබෑමකට ලක්ව ඇත. දිනකට ලක්ෂ 20කට ආසන්න බාල/මහලු/ස්ත්‍රී/පුරුෂ රෝගීන් සංඛ්‍යාවක් බාහිර මෙන්ම නේවාසිකව නතර වී ප්‍රතිකාර ගනු ලබයි. රෝහලේ වෛද්‍යවරයා මෙන්ම සුළු සේවකයා දක්වා විශාල පිරිසක් සෞඛ්‍ය සේවයේ යෙදී සිටිති. රෝගීන්ට වෙදකම මෙන්ම හෙදකම ද ඉතා වැදගත්ය. ගුරු සේවය මෙන්ම සෞඛ්‍ය සේවයද රටේ ඇති මේ ඇති අනෙකුත් හැම වෘත්තියක් ම අභිබවා රට වැසියාට හා මුළු මහත් සමාජයට කරන සේවය අතිමහත්ය. උත්තරීතර ය. රෝගීන්ට වෙදකම මෙන්ම හෙදකමද ඉතා වැදගත්ය. මෙම දෙකටම වඩා, උතුම් සේවය උපරිමයට පත්වන්නේ රෝගීන්ට සිත කය වචනය යන තුන් දොරින්ම කරුණාව හා දයාව දැක්වීමයි.

අද රටේ ඇති හැම රෝහලකම රෝගීන් නේවාසිකව නතර වී ප්‍රතිකාර ලබාදීමට වාට්ටු සංකීර්ණ ඇත. රෝහල් වාට්ටුවක ප්‍රධානත්වය වෛද්‍යවරුන්ට හිමි වන අතර මුළු පරිපාලනයම ඉෂ්ඨ සිද්ධ කරන්නේ හෙදි හෙද පිරිස විසින්ය. හෙදි සේවය ආරම්භ වන්නේ නයිටිංගේල් දිවුරුමෙනි. මේ දිවුරුමේ ප්‍රධානම අරමුණ වන්නේ දයාව - කරුණාව මුල්කර ගත් උතුම් හෙදි සේවයයි. අද රෝහල්වල නැත්තේ එම උදාර ධර්මතාවයයි. බෙහෙත් හේත් අඩුපාඩු කොහෙත් ඇත. නමුත් ප්‍රිය වචන කරුණාවන්ත බව ඕනෑම රෝගියෙකුට අගනා ඔසුවකි. අද වන විට ලංකාවේ රජයේ රෝහල්වල ඇති වාට්ටු සංකීර්ණ තුළ ඇති ඇඳන් සංඛ්‍යාවට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා නේවාසිකව සිටී. සමහර ඇඳන්වල රෝගීන් තුන් දෙනා බැගින් සිටිති. එමෙන්ම ඇඳන් යට පැදුරු එලාගෙන වැතිරුණු රෝගීන් මෙන්ම ප්ලාස්ටික් පුටුවල ඉඳගෙන සිටින රෝගීන් ද අඩුවක් නැත.

බොහෝ වාට්ටුවල කැසිකිළි - වැසිකිළි ඉතාම අපිරිසිදුය. දුර්ගන්දයක් සහිතය. විදුලි පංකා (ෆෑන්) දමා තිබුණත් සමහර විදුලිපංකා ක්‍රියා විරහිතය. සමහර හෙදි සොයුරියන් රෝගීන්ට කථා කරන අන්දම එතරම් මෘදු නැත. ප්‍රිය බවත්/කරුණාවන්තකමත් ගෑවීවත් නැත. විශේෂයෙන්ම කාන්තා වාට්ටුවල තත්ත්වය එතරම් හොඳ නැත. මීට වසර දහයකට පහළොවකට පෙර රෝගීන්ගේ රෝගී තත්ත්වය අනුව පිටස්තර අය අවශ්‍ය වූයේ නැත. ඒ සියලු කටයුතු ඇප උපස්ථාන කළේ රෝහල් වාට්ටුවේම සේවය කරන සුළු සේවකයන්ය. අද වන විට එවැනි සේවයක් ලබාගැනීමට සුළු සේවක සේවිකාවන් නැත. මුදලට උපස්ථායකයන් ලබාගැනීමට සිදුව ඇත. සමහර අවස්ථාවල ඇවිදීමට අපහසු රෝගීන් පරීක්ෂණ සඳහා රෝහලේම වෙනත් ස්ථාන කරා ගෙනයාමට රෝද පුටුව තල්ලු කරන්න සේවකයන් සොයා ගැනීමට නොහැක.

මේ සියලු අසරණවීම් නැති බැරි රෝගීන්ට වීම අරුමයක් නොවේය. මුදල් හදල් තිබෙන අයට තනි තරුවේ සිට තරු පහ දක්වා උසස් තත්ත්වයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන රට පුරා ඇත.

චන්ද්‍රසිරි ගෝමිස්

 

නව අදහස දක්වන්න