රජරට පිපාසයට සිහිලැල් විසඳුමක් | දිනමිණ

රජරට පිපාසයට සිහිලැල් විසඳුමක්

සටහන හා ඡායාරූප නිලූකා ඩී. තිලකරත්න

වැව් හිඳුණත් මේ ප්‍රදේශයේ උල්පත් දොලහෙන් අටක් කවදාවත් හිඳෙන්නෙ නෑ. ඒ වගේම මේ ජලයේ ෆ්ලෝරයිඩ නෑ. කහල්ල කන්ද ආශ්‍රිතව තමයි මේ උල්පත් පිහිටලා තියෙන්නෙ . පැතිරිලා ඇති ආකාරයට මේ කන්ද ඉබ්බාගමුව සිරාදුන්න ගම සිට මැල්සිරිපුර හරහා දිවෙන වා. එය ලංකාවේ දිගම කන්ද ලෙසත් ඇතැමුන් සලකනවා. නියං කාලෙදිත් යල මහ පැහෙන්නෙ මේ උල්පත් වතුර නිසයි. මානේරුව උල්පතෙන් කුඹුරු අක්කර තිහක්, පරවහගම කුඹුරු අක්කර විස්සක් ආදී වශයෙන් හැම උල්පතකින්ම දෙකන්නය වගා කරනවා.

ජීවයේ පැවැත්ම නම් කතිකාව ජලය හා සහබද්ධ ය. විටෙක එය දේවත්වයේ ලා සැලකූ අපි වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කළෙමු. ඒ කටු කොහොල් පාරවා නියං සා දුරු කරමින් මිනිසාට සශ්‍රීකත්වය කරා යාමට ජලය ප්‍රධාන සාධකයක් වූ නිසාය. මෙනිසාම අපි ජලය ස්වභාව ධර්මයේ අනගි දයාදයක් ලෙස සලකමු. තුනෙන් දෙකක ප්‍රමාණයක් මේ මිහිතලය මතුපිට ඇත්තේ ද ජලයයි. නමුත් සතා සීපාවට සේම මිනිසාට පරිභෝජනය කළ හැක්කේ ඉන් අල්පයකි. ප්‍රමාණාත්මකව විමසූ විට එය සියයට එකක තරමට වඩා අඩු ය. ආදී මානවයා සිය ජනාවාස පිහිටුවා ගන්නට ජල මූලාශ්‍ර කේන්ද්‍ර කරගත්තේ ජලයෙහි වටිනාකම ඔවුන් මොනවට දැන සිටි බවට සාක්ෂි සපයමිනි. කාලයාගේ ඇවෑමෙන් මිනිස් ක්‍රියාකාරකම් නිසාම පිරිසුදු ජලය හිග සම්පතක් ලෙස සමාජය පෙලන්නට වී ඇත.

විශේෂයෙන් වියලි කලාපයට ජලයහි හිඟයක් බවට පත්වෙමින් තිබේ. අදත් වැව් බැඳි රාජ්‍යයේ වර්ෂයක් පාසා නියං සායට මුහුණ පා යි. යල මහ දෙකන්නය සරි කරන්නට ඇති වැව් දිය හිඳී පතුල ඉරිතලා යයි. මහ වැව් පවා මෙවන් ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන මොහොතක දිය නොසිඳෙන වියළි කලාපයේ උල්පත් සොයා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීමාව නැතහොත් වයඹ පළාත හමුවන මායිමට ගියෙමු. කහල්ල පල්ලෙකැලේ සුන්දර අභය භූමිය පසුකරමින් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානේරුව ට එන ගමනේ දී ඒ අවට ජල උල්පත් දොළහක් ඇතැයි අපට අසන්නට ලැබිණි. ඒ අතර කහල්ල, පරවගම, උපුල්වැහැර, කට්ටකඩුව, මානේරුව, කෝණාරගම, තලාකොලවැව, නාමළුව කවදත් දිය නොසිඳෙන උල්පත් ලෙස ප්‍රකට ය. උතුරුමැද ප්‍රධාන අමාත්‍යතුමාගේ අවධානයට යොමුව තිබූ මෙම උල්පත් සංවර්ධනය කිරීමේ ප්‍රථම වෑයම දියත් කර තිබූ හෙයින් එලෙස සංවර්ධනය කළ උපුල්වැහැර රජමහා විහාරස්ථානයට යාබදව පිහිටි කහල්ල උල්පත අප යන විටත් දිය සොයා දුර බැහැර ගෙවා ආ අයගෙන් පිරී තිබිණි. ඇතැමෙක් අත කුඩා කුඩා කළය. කවකෙකු පිරෙන කළයේ වතුර ලෑන්ඩ්මාස්ටරය මත ඇති ප්ලාස්ටික් ජල ටැංකියට පුරවයි. ඒ දින කිහිපයකට බීමට ඇති වන සේ ය. වතුර ගන්නා අතරතුර

තිලකරත්න (55)මහතා සඳහන් කළේ කිසිදා නොසිඳෙන කහල්ල උල්පතෙන් වතුර ගෙනයාමට අවට ගම් දහයක පමණ ජනතාවක් පැමිණෙන බවයි.

උපුල්වෙහෙර රජමහා විහාරාධිපති ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ කහල්ල උල්පත පිළිබඳ වැඩිදුර සඳහන් කළේ මෙසේ ය.

මේ උල්පත ආරම්භ වන්නේ කහල්ල රක්ෂිතයෙන්. වළගම්බා රජ සමයේ ඇති වූ බැමිණිතියා සායේ දී ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට පැන් වැඩීමට මෙම උල්පතෙන් ජල ගෙන ගිය බවත් එක් එක්කෙනා හිසෙන් හිසට මාරු කරමින් අනුරාධපුර දක්වා ජලය ගෙන ගිය බවත් ජනප්‍රවාදයේ කියැවෙනවා. කුඩා නා ගස් මණ්ඩි මහ නා ගස් මණ්ඩිය පහුකරගෙන ගියාම උල්පත කෙළින්ම පිහිටන උපුල් වෙහෙර පෞරාණික චෛත්‍ය හමුවනවා. මේ චෛත්‍ය නිධන් හොරුන් දහ අටවතාවක් හාරල තියෙනවා. විජිතපුරය සංග්‍රාමයට සේනා සංවිධානය කරද්දි විහාරමහා දේවිය විසින් සංඝයා වහන්සේ රැස් කර ආශිර්වාද කළ ස්ථානය බව ජනප්‍රවාද කතා අතර කියැවෙනවා. වැස්ස නැති නියං කාලෙට මේ චෛත්‍යයට කිරි උතුරල චෛත්‍ය නාවල පිරිත් කිවුවාම එක දිගට දින හතක් වහිනවා. මේ උල්පත එදා මෙදා තුර හිඳීල ගිය එකක් නෙවේ. දවසකට ලීටර් 20000 පමණ වතුර ගෙනියනවා. කොහොම නමුත් මෙම උල්පත් වියළි කලාපයේ අපට ආශිර්වාදයක්.

මහාචාර්ය එම් එස් ලියනගේ ජලසම්පත් මණ්ඩලයේ සභාපතිව සිටියදී ශ්‍රී ලංකාවේ උල්පත් ජලය පිළිබඳ වාර්තාවේ සඳහන් වන පරිදි රට පුරා උල්පත් 225 ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා 26 ක් ඇත. කෙසේ නමුත් මහාචාර්යවරයා සිය වාර්තාවෙන් දක්වා ඇති පරිදි වියළි කලාපයේ සියයට හතළිහකට වඩා නළ ළිංවල ජලයේ ෆ්ලෝරයිඩ බෙහෙවින් ඇති බවයි.එසේම එම ජලය බීමට හා ආහාර පිසිමට නුසුදුසු වන නිසා දුෂ්කර පළාත්වල ජනතාව වැස්ස නැති සමයේදී ආරක්ෂාකාරී පිරිසුදු ජලය නොමැතිකමින් පීඩා විඳින බවයි. මේ තත්ත්වයට කදිම විසදුමක් ලෙස උල්පත් ජලයෙහි වටිනාකම මෙම වාර්තාවේ සඳහන් වේ. එයට සාක්ෂි සපයන්නේ යම්සේද පලාගල මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධනපාල මහතා මෙසේ සඳහන් කළේ ය.

වැව් හිඳුණත් මේ ප්‍රදේශයේ උල්පත් දොලහෙන් අටක් කවදාවත් හිඳෙන්නෙ නෑ. ඒ වගේම මේ ජලයේ ෆ්ලෝරයිඩ නෑ. කහල්ල කන්ද ආශ්‍රිතව තමයි මේ උල්පත් පිහිටලා තියෙන්නෙ . පැතිරිලා ඇති ආකාරයට මේ කන්ද ඉබ්බාගමුව සිරාදුන්න ගම සිට මැල්සිරිපුර හරහා දිවෙන වා. එය ලංකාවේ දිගම කන්ද ලෙසත් ඇතැමුන් සලකනවා. නියං කාලෙදිත් යල මහ පැහෙන්නෙ මේ උල්පත් වතුර නිසයි. මානේරුව උල්පතෙන් කුඹුරු අක්කර තිහක්, පරවහගම කුඹුරු අක්කර විස්සක් ආදී වශයෙන් හැම උල්පතකින්ම දෙකන්නය වගා කරනවා. පරවගම උල්පත ආරම්භ වෙන්නෙ කැප්පෙටිපොල නිලමෙතුමා සුද්දො සිරභාරයට ගත්තැනින්. එතුමාගෙ ස්මාරකයක් එතැන තියෙනවා. මම මේ හැම උල්පතක්ම ආරම්භවෙන තැනට ගිහින් තියෙනවා. වතුර පාවිච්චියට ගන්ඩ එන මිනිස්සුන්ගේ අර පරිස්සම නෑ. නාන්ඩ ගේන ෂැම්පූ, සබන් කොළ එතැන දාලා යනවා. දඹුළු යන වෙළෙන්දො උල්පත් ළග නතර වෙලා වීසිකරන අපද්‍රව්‍ය ටික එතැන දාල යනවා. මම ප්‍රදේශය සභාවෙන් ඉල්ලීමක් කළා කසළ බඳුන ටිකක් තියන්න කියල.නමුත් පරවහගම විතරයි කසල බඳුනත් තියෙන්නෙ. පසුගියදා මහ ඇමැති තුමාගෙ මැදිහත්වීමෙන් උල්පත් තුනක් සංවර්ධනය කරල හැදුවා. අපිට ඕන කරන්නෙ බොන්ඩ තියෙන වතුර ටික රැකගන්නයි.

උල්පත් ජලය ස්වාභාවිකව පිරිපහදු වන්නකි. ස්වභාව දහම අපට නොමිලේ දෙන වස්තුවකි. මහාචාර්ය එම් ලියනගේ සිය වාර්තාවේ දක්වා ඇත්තේ ජල සම්පත් මණ්ඩලය ලංකාවේ ඇති උල්පත් ජල සාම්පල රසායනික පරීක්ෂණ අනුව ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයේ ඇති බවය. මෙවන් ජල උල්පත් සංවර්ධනය කිරීමේ දී සැලකිලිමත් වූ කරුණු පිළිබඳ අපි විමසුවෙමු. උතුරුමැද පළාත් සභාව එක්ව මෙම උල්පත් සංවර්ධනය කිරීමේ නියුක්ත වූ ඉංජිනේරු වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

මෙම උල්පත් ඇතැමුන් වරින් වර සිමෙන්ති වැනි දේ භාවිත කරමින් බැමි සකසා තිබෙනු අපට දක්නට ලැබුණා. නමුත් අප මේ ස්වාභාවික සම්පත එලෙසින්ම රැක ගැනීම වඩා වැදගත් කොට සැලකුවා. ප්‍රධාන අමාතයවරයාගේ අරමුණ වූයේ පරිසර පද්ධතිය වගේ ම ජලය ආරක්ෂා කරගනිමින් මෙම කටයුත්තට උරදීමයි. මෙනිසා තනි කළු ගල් භාවිත කරමින් පීල්ලෙන් පීල්ලට ජලය ගලා යන ආකාරයට අදියර තුනක් යටතේ මෙම උල්පත් සංවර්ධනය කළා. පළමුව බීමට ගන්නා ජලස්ථානය සිංහ කටකින් ජලය එන ආකාරයටත් එහි බිමට වැටෙන ජලය දෙවනුව පීල්ල දිගේ විත් ටැංකියකට වැටීමටත් එහි වතුර ස්නානයටත් තෙවැන්න පසෙකින් රෙදි සේදීමටත් ආදී වශයෙන්. කළු ගලෙන් තනා ඇති නිසා මේවා කාලයක් සුරක්ෂිතව පවතිනවා. උල්පතට කිසිදු හානියක් නොවන ආකාරයට ජලධාරාව ක්‍රමානුකුලව හැසිරීම පමණයි අප මෙහිදී සිදු කළේ.

ලොකු කුඩා තරුණ මහලු කොයි කවුරුත් බලා සිටින්නේ තමන්ගේ වාරය එනතුරු ය. මේ අතර නාන පීල්ලේ දෙදනකු නෑම පසෙක ලා වරුවක් තිස්සේ නෑමට සැරසී යමක් කරමින් සිටී. වයස අවුරුදු හැත්තෑවක් පමණ අප්පුහාමිත් කරුණාරත්නත් ලහි ලහියේ නාන පීල්ල සුද්ධ පවිත්‍ර කරති. කවුරුත් නාන තැනනෙ ඒ අප්පුහාමිගේ හඩය. දැන් ඉස්සර වගේ නෙවෙයි උල්පතේ වතුර අඩු යි.අපි ආවේ කිලෝමීටර් දහයක් දුර ඉඳන්. නෑගම අපේ ගම. ආපසු එන ගමනේදී අපට හමු වූ කන්දේගම උල්පතට බැස්සෙමු. නිකත්තේගම සිට පැමිණි රත්නායක අපට හමුවූයේ එහිදීයි. මම අවුරුදු ගාණක පට න් මේ උල්පතට එනවා. මේ වතුර පිරිසුදුයි.මේ ප්‍රෙද්ශයේ වකුගඩු ලෙඩ්ඩු අඩුයි. නැතිතරම් කිව්වොත් නිවැරදියි.

ගිනිගහන රස්මියට ඉරිතලන මහපොලොව එකම දිය බිඳක්වත් ශේෂ නොකරන මෙහොතක කඳු යායෙන් නැඟි අපේම මිනිසුන්ගේ සා පිපාසා නිවන උල්පත් දියට අප ණය ගැති ය. සොබාදහමට අකාරුණික වූ සෑම මොහොතකම ඈ අපට දඩුවම් කළා ය. උල්පත් දිය ඔබ රකින්නා සේ පිපාසා නිවන්නා සේ රෝග බිය දුරු කරන්නා සේ සෑම දිය බිඳුවක්ම සුරැකීම ඔබේත් මගේත් යුතුකම ය.

නව අදහස දක්වන්න