ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි | දිනමිණ

ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි

මාර්තු මස අග හබරණදී පැවැත්වූ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ගේ තිස්තුන් වන සමුළුවේදී පළාත් සභා මුහුණදී සිටින ප්‍රශ්න ගැන කළ සාකච්ඡාවෙන් එළඹි තීරණයක් අනුව මහ ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවැත්වුණා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුද පළාත් ප්‍රධාන අමාත්‍යවරුද අමාත්‍යාංශ ලේකම්වරු හා පළාත් ලේකම්වරුද මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.

පළාත් ප්‍රධාන අමාත්‍ය සමුළුවේදී මතුව තිබූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ පළාත්වලට වෙන්කරන මුදල් නිසිකලට නොලැබීම හා සම්පූර්ණ මුදල නොලැබීමයි. සමුළුවෙන් පසුව ජනාධිපතිතුමා මැදිහත්වී එම ගැටලුවට විසඳුම් ලබාදී තිබුණා. මෙහිදී දැනගන්නට ලැබුණේ එම මුදල් සියල්ල පළාත් සභාවලට ලබාදීමට කටයුතුකොට ඇති බවයි. උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුති කළා.

පළාත් සභාවලට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස මහ ඇමැතිවරුන් පෙන්වාදී තිබුණේ පළාත් පාසල්වල පවතින ගුරු හිඟයයි. බොහෝ පළාත්වල මෙම ගුරු හිඟය පවතින්නේ පළාතේ ජාතික පාසල්වල ගුරු අතිරික්තයක් පවතිද්දි බව මහ ඇමැතිවරුන් පෙන්වාදුන්නා. එයට එක් හේතුවක් නම් ගුරු මාරු ප්‍රතිපත්තියයි. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ස්වාධීන ගුරු මාරු ක්‍රමයක් සකසා ක්‍රියාවට නඟන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා.

වසරක් පාසා අයදුම්පත් කැඳවා උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගන්නත්, නියමිත විභාග පවත්වා පරිපාලන සේවයට බඳවා ගන්නත් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා. මධ්‍යම රජය හා පළාත් සභා අතර මනා සබඳතාවයක් පවත්වාගෙන යාම ගැනද ජනාධිපතිතුමා අවධාරණයෙන් සඳහන් කළා.

ජනපති තීරණයෙන් පසුගිය සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව ඇමැතිවරුන් කළ චෝදනා නිසායි. එම ආයතනය කබීර් හෂීම් ඇමැතිවරයා යටතේ තිබුණත් අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාත් ඇමැතිවරයාට නොදන්වා හිතුවක්කාර තීන්දු තීරණ ගන්නා බවට චෝදනා එල්ල වුණා. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ පාඩු ලබන මෙම ආයතනයට අලුත් සේවක සේවිකාවන් 1250ක් බඳවාගෙන ඇති බවයි. ඒ කිසිවක් කබීර් හෂීම් ඇමැතිවරයාට දැනුම් දී නැහැ. ආයතනයේ පරිපාලනය ගැන බොහෝ ප්‍රශ්න මැති ඇමැතිවරුන් මතු කළා. ජනාධිපතිතුමා තීරණය කළේ මේ සතියේ කැබිනට් රැස්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීමටයි. ඒ අනුව එම සාකච්ඡාව අඟහරුවාදා පැවැත්වුණා.

ශ්‍රී ලන්කන් සභාපති අජිත් ඩයස්, ප්‍රධාන විධායක සුරේන් රත්වත්තේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත්, ජනාධිපතිතුමා අගමැතිතුමා හා මැති ඇමැතිවරුනුත් සාකච්ඡාවට සහභාගි වුණා. රාජිත සේනාරත්න, රවී කරුණානායක, සරත් ෆොන්සේකා, කබීර් හෂීම් ඇමැතිවරුන් එහිදී ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලයට චෝදනා කළා. ශ්‍රී ලන්කන් සභාපතිතුමාත් ප්‍රධාන විධායක නිලධාරිතුමාත් එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තම නිවැරැදිතාවය කියන්නට ගියත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හතරදෙනෙක් ඔවුන්ට විරුද්ධව කරුණු දැක්වීම විශේෂත්වයක් වුණා. එහිදි හෙළිවුණේ සභාපතිතුමාත්, ප්‍රධාන විධායක නිලධාරියාත් හිතුවක්කාර තීරණ ගනිමින් ක්‍රියාකරන බවයි. ඔවුන් මාධ්‍යයට කළ ප්‍රකාශද බොරු බව එහිදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කීවා.

යහපාලන ආණ්ඩුව පැමිණි දිනවල පත්කළ ජේ. සී. වැලිඅමුණ කමිටුව ශ්‍රී ලන්කන්හි පසුගිය පාලනය යටතේ සිදුව තිබූ වැරදි ගැන කළ හෙළිදරව්ව ගැනත් මෙහිදි සාකච්ඡා වුණා. එහි සිදුව තිබූ වංචා ගැන වැලිඅමුණ කමිටුව කළ හෙළිදරව් කිරීම් ගැන ක්‍රියා නොකිරීම පිළිබඳව වත්මන් පාලනයට චෝදනා එල්ල වුණා. රටටත් ආයතනයටත් කෝටි දහස් ගණනක් අහිමි කළ පසුගිය පාලනයේ ක්‍රියා ගැන වත්මන් පාලනය කිසිදු පියවරක් ගෙන නෑ. එමෙන්ම මෙම ආයතනය ලිංගික පාරාදීසයක් වී තිබූ බවත්, ප්‍රධාන නිලධාරින් ගුවන් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ගත් බවත්, එයට සහයදුන් උදවිය ගැනත් වැලිඅමුණ කමිටුව කරුණු හෙළිදරව්කොට තිබුණා. ඒ සියල්ල නොතකා හරිමින් වත්මන් පාලනය කටයුතුකොට තිබුණේ දූෂිතයන් රකින්නටයි. අවසානයේ ජනාධිපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලයට කීවේ වැලිඅමුණ කමිටු වාර්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ගැන තමන් ඉක්මනින්ම දැඩි තීන්දුවක් ගන්නා බවත් ජනාධිපතිතුමා දැනුම් දුන්නා.

කොළඹ දිස්ත්‍රික් පරිසර සමුළුව පසුගියදා පැවැත්වූයේ මහරගම තරුණ මධ්‍යස්ථානයේදීයි. එයට සහභාගී වූ ජනාධිපතිතුමා පෙන්වාදුන්නේ රටේ වඩාත්ම සංවර්ධිත අග නගරය වන කොළඹ වැඩියෙන්ම කුණු ගොඩගැසෙන ඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් සිටින නගරය වී ඇති බවයි. ලස්සන පාරවල් ගොඩනැගිලි තිබුණට වැඩක් නැති බවත්, මිනිසාගේ සිත් ලස්සනවීම වඩා වැදගත් බවත් ජනාධිපතිතුමා කීවා. කැළි කසළ ගැටලුවට මෙන්ම ඩෙංගු උවදුරටත් විසඳුම් සෙවීමට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් ජනතාව සමඟ අත්වැල් බැඳගත යුතු බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වාදුන්නා.

පසු ගියදා ඇති වූ ගංවතුර සහ නායයෑමෙන් විපතට පත් ජනතාව පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේදී ප්‍රදේශ ගණනාවක සංචාරය කළා. 16 වැනි සිකුරාදා පිටබැද්දර සිට ගොරකාවෙල දක්වා ගංවතුරෙන් හානියට පත් වූ ස්ථාන නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර මොරවක නගරයේදි නගරවාසීන් හමු වී ඔවුනගේ සුව දුක් විමසුවා. මොරවක, මොරවක්කන්ද නාය ගිය ස්ථානද පරීක්ෂා කර බලා අවදානම් තත්ත්වය ගැන සොයා බැලුවා. අනතුරුව ගංවතුරෙන් හානියට පත් වූ පෝරුපිටිය පාලම නිරීක්ෂණය කළ අතර හානියට පත් පිටබැද්දර නිවාස පිළිබඳවද සොයා බැලුවා. දෙහිගස්ප ඩඩ්ලි සේනානායක විදුහලට ගිය අගමැති වික්‍රමසිංහ මහතා ගංවතුර නිසා විනාශයට පත් විදුහලේ පරිගණක සියලු පාසල් උපකරණ හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බවත් ගංවතුරින් හානියට පත් වූ සියලු පාසල් තිබුණාටත් වඩා හොඳ තත්ත්වයකින් නගා සිටුවීමට පියවර ගන්නා බවත් සහතික වුණා. හවස් වරුවේ මොරවක කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවතින ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ජා කළා. එහිදි ගංවතුර තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට රජය ගත් ක්‍රියා මාර්ග පැහැදිලි කළ අගමැතිවරයා එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි වුයේ රජයේ නිලධාරින්ගේ සහයෝගිත්වය නිසා බව ප්‍රකාශ කර ඔවුනට ප්‍රශංසාව පුද කළා. ගංවතුර නිසා ආපදාවට පත් වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉඳි කර ග්‍රාමීය ආර්ථිකය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට ව්‍යාපාරිකයින් ඉදිරිපත් වී සිටින බව අගමැතිවරයා හෙළි කළා. එම ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා ආධාර ලබා දීමට විශේෂ ණය ක්‍රමයක් ආරම්භ කිරීමටත් රජය පියවර ගෙන ඇති බව අගමැතිවරයා අවධාරණය කළා.

පසුදින අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වූයේත් ගංවතුර ආධාර බෙදා දීමේ අවස්ථාවකටයි. ඒ කොළඹ රාජකීය විදුහලේ සිසුන්, ගුරුවරුන් සහ මවුපියන් විසින් ලබා දුන් පාසල් උපකරණ බෙදා දීමට එම විදුහලේ ශිෂ්‍ය නායකයින් එදින දෙනියාය පල්ලේගම මහා විදුහලට පැමිණියා. කේ.එච්. ලසන්ත ගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් ඇතුළු සිසුන් විසින් මෙම අධ්‍යාපන උපකරණ දෙනියාය ප්‍රදේශයට රැගෙන විත් විපතට පත්වූ දරුවන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණා. එම අවස්ථාවට සහභාගි වන ලෙස ලැබුණු ආරාධනයක් මත අගමැති වික්‍රමසිංහ මහතාද දෙනියාය පල්ලේගම මහා විදුහලට පැමිණියා. ගමේ කුඩා සිසු දරු දැරියන් අගමැතිවරයාගේ අතින් පාසල් උපකරණ පාර්සලය ලබා ගත්තේ හරිම සතුටින්. එම අවස්ථාවට සම්බන්ධ වූ අමාත්‍ය සාගල රත්නායක මහතාද ආදී රාජකීයකු වශයෙන් කොළඹ, රාජකීය විද්‍යාලයේ සිසුන්ගේ මෙම සත්ක්‍රියාව ඇගයීමට ලක් කළා.

සිසු දරුවන් සමග විහිළු තහළු කරමින් ඔවුන් අතරේ ගැවසුණු අගමැති වික්‍රමසිංහ මහතා පල්ලේගම විදුහලේ සිසුන් සහ රාජකීය විදුහලේ ශිෂ්‍ය නායකයින් සමග සමුහ ජායාරූපයකටද පෙනී සිටියා.

කැලි කසල සහ අපද්‍රව්‍ය අනවසරයෙන් ගොඩගැසීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුව ගැන සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (18) උදෑසන කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූණා. බෝධිරාජ මාවතේ සහ ශ්‍රී ලංගම බස් නැවතුම්පල අසල ගොඩගසා ඇති කැලි කසල අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

එහිදී එම ස්ථානයට පැමිණ සිටි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා වෙත අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදෙමින් කියා සිටියේ ගොඩගැසී ඇති කැලි කසල අදාළ ස්ථානවලින් ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම කැලි කසල එකතුකරනු ලබන ස්ථානද ක්‍රමවත්ව සහ අවට පරිසරයේ පැවැත්මට හානියක් නොවන ලෙස පවත්වාගෙන යන ලෙසද උපදෙස් ලබාදුන්නා.

පසුගියදා ගංවතුරෙන් විපතට පත් වළස්මුල්ල ප්‍රදේශයේ පවුල් 435 ට බෙදාදීම සඳහා සිය අමාත්‍යංශයේ සහ පෞද්ගලික දානපති පරිත්‍යාගවලින් එක් රැස් කළ වියළි ආහාර තොගයක් රැගෙන වළස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැකගත හැකි වූයේ තමන් අතින් 10 දෙනෙකුට පමණක් එම ආධාර බෙදීමට සූදානම් කර ඇති බවයි. ඉන්පසුව කරන්නට තිබුණේ පැමිණ සිටි පිරිසට ‘පොඩි කතාවක් දී’ආපසු යාමයි. සජිත් එකවරම ඇසුවේ “කවුද මගෙ අතින් දහ දෙනෙකුට විතරක් බෙදන්න මේක ලෑස්ති කළේ?” කියායි. “අපි හිතුවෙ සර්ට හාල් කිලෝ 30 කුත් එක්ක මේක බර වැඩි වෙයි කියලා” නිලධාරියකු පැමිණ කීවා. “හොඳට මතක තියාගන්න.” මෙතන ඉන්න 411 දෙනාටම දෙන්නේ මගේ අතින්. ඒක තමයි මගේ තාත්තා අනුගමනය කළ විදිය. ඒ විදියටයි මාත් කරන්නේ. කිලෝ 30 ක් නෙවෙයි කිලෝ 100ක් වුණත් උස්සන්න හයිය මට දෙයියො දීලා තියෙනවා.” සජිත් කීවේ සිය කෝපය සඟවාගනිමිනි. ඒ අනුව පැමිණ සිටි 411 ‍දෙනාටම සහල් කිලෝ දහයේ ඇසුරුම් තුනකින් සහ අනෙක් ආහාර ද්‍රව්‍යවලින් සමන්විත ආධාර තොග භාරදුන්නේ සජිත් ඇමැතිවරයා අතින්.

හම්බන්තොට අරවනමුල්ලේ “සිතුලියගම” විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටි සජිත් හමුවට පැමිණි කාන්තාවන් තිදෙනෙකු කීවේ හද සසල වන කතාවකි. “සර් අපිත් කැමතියි ගෙයක් දොරක් හදාගෙන දරු මල්ලොත් එක්ක සැනසිල්ලෙ ඉන්න. ඒත් ණයක් අරං ඒක කරන්න බෑ. ණය ගෙවන්න විදියක් නෑ දරුවන්ගෙ තාත්ත නැතිවෙලා. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ” සජිත් ඒ මො‍හොතේම සිය නිලධාරීන්ගෙන් විමසා සිටියේ “වැන්දඹු කාන්තාවන්ට ගෙවල් හදාගන්න උදව් කරන්න අපට ක්‍රමවේදයක් නැද්ද?” කියායි. එයට සතුටුදායක පිළිතුරක් ලැබුණේ නෑ. සජිත් ඒ මොහොතේම තීරණය කළේ කාන්තා මූලික පවුල්වලට නිවාස තනා ගැනීම සඳහා නැවත අයකරගනු නොලබන පදනමින් ආධාර කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටයි. මේ පිළිබඳ අවධානය යොමුකිරීම ගැන කාන්තාවන් තිදෙනාට ස්තූතිය පළ කළ සජිත් සිය නිලධාරීන්ගෙන් ඇසුවේ “ඇයි මේ කාරණාව ගැන මෙච්චර කලක් සොයා බැලුවේ නැත්තේ?” කියා. “අද ඉඳන්ම වැන්දඹු කාන්තාවන්ට නිවාස ආධාර ලබාදීමෙ ක්‍රමවේදයක් සකස් කරන්න” සජිත් සිය නිලධාරීන්ට ඒ මොහොතේ ම උපදෙස් දුන්නා. ගංවතුරින් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම හා එම කටයුතුවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඉකුත් 20 වන දින ඇමැති වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැතියේ සිය අමාත්‍යංශයේදීයි. එම සාකච්ඡාවට විශේෂ ආරාධිතයකු ලෙස අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා සහභාගීවීම විශේෂත්වයක් වුණා. මෙම අවස්ථාව සඳහා දිසාපතිවරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියා.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුර දිසානායක මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කිරීමට ලක්වුණු මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තා.

වාර්තාවේ අඩුවක් තියෙනවානම් විගණන මතයක් ඉදිරිපත් කරන්න බැහැ. වාර්තාව හදලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ශේෂ පත්‍රය කියලා. නමුත් ඒකට පළාත් සභාවල ගිණුම් ඇතුළත් වෙලා නැහැ. එතන තියෙන්නේ ඒකාබද්ධ අරමුදලේ ගනුදෙනු පමණයි. එතන අඩුවක් තියෙනවා. අනෙක් කාරණය තමයි ලංකාව අරගෙන තියෙන ණය බිලියන 8000ක් වත්කම් ලෙස සඳහන් කරලා තියෙනවා. මේක වැරදි සටහන් තැබීමක්. ඒක තමයි විගණකාධිපතිතුමා මතයක් කියලා නැත්තේ” නිලධාරිය පැහැදිලි කළා.

පසුගියදා දිස්ත්‍රික්ක තිහිපයක ඇති වූ ගංවතුර තත්ත්වයෙන් නිවාස අහිමි වූ දේපළ අහිමිවූවන්ගේ ගැටලූ පිළිබඳව ආණ්ඩුවේ අවධානය අඩුවෙමින් ඇති බව එම ප්‍රදේශවල ජනතාව චෝදනා කරමින් සිටිනවා. මේ තත්ත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්වූයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමටයි.”

එම සාකච්ඡාවට අනුව ගංවතුර ආපදා සහන දිනාගැනීමේ ජනතා එකමුතුවක් ගොඩ නැ‍ඟීමට රතු තරුව සහන කණ්ඩායම තීරණය කළා.

පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය පිළිබඳව විශාල සාකච්ඡාවක් මතුවුණා. යන්ත්‍රය සවි නොකිරීම පිළිබඳව විශාල චෝදනාවක් එල්ල වූ අතර එහි දී විශාල මුදල් වංචාවක් සිදුවී ඇති බවටද හිටපු ඇමතිවරුන්ට චෝදනා එල්ල වුණා. එම යන්ත්‍රය සවි නොකිරීමෙන් අනාවැකි කීමට නොහැකි වීම නිසා රටට ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ අතර විශාල මුදලක්ද අහිමිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාවේ සාමාජිකයකු ලෙස බිමල් රත්නායක මන්ත්‍රීවරයා යෝජනා කර සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳවන ලෙසයි. එම යෝජනාවට අනුව විසිදෙවැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ දී එම ආයතන පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා.

නැවතත් රට තුළ ජාතිවාදී ක්‍රියාකාරකම් ඉස්මතුවෙන පරිසරයක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳව සියලූ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර සමාජජාල යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාරද පතුරමින් තිබෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කිරීමක් සඳහා තොරතුරු එක්රැස්කරමින් සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ඇමතුම් ලබාදීමට කටයුතු කළා. ”ආගමික ස්ථාන කඩලා බිඳලා දැම්මා කියලා, බුදුපිළිම කැඩුවා, ගිනිතිබ්බා කියලා විශාල ප්‍රචාරයක් යනවා. ෆේස්බුක්වල විවිධ ප්‍රචාර යනවා. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාලට වාර්තාවෙලා තියෙන තොරතුරු මොනවද කියලා.” මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයෙන් විමසා සිටියා. ”ආගමික ස්ථානවලට පහර දුන්නා කියලා ප්‍රචාර යනවා. නමුත් මේ අතර කතෝලික පල්ලි, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව සඳහනක් නැහැ. කටකතා යනවා. නමුත් මුස්ලිම් පල්ලි කිහිපයකට පහර දුන් බවට පැමිණිලි තියෙනවා. බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම චෝදනා කරනවා කූරගලට මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා කියලා.” පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබුණා. ”බොදුබල සේනා සංවිධානය මගින් පැමිණිලි 139ක් දාලා තිබුණා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ජාතිවාදී ප්‍රකාශ පතුරුවනවා කියලා. නමුත් අපි ඒ ගැන කරුණු විමසලා එම 139 දෙනාට ලිඛිතව දැනුම් දුන්නා ඉදිරිපත් වෙලා තිබෙන කරුණු ප්‍රමාණවත් නැති නිසා තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න කියලා. නමුත් තවම ප්‍රතිචාරයක් නැහැ.” මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

හොරොව්පතාන ප්‍රදේශයේ සොහොන් පිටියකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා තවත් පිරිසකට හූනියම් කළ ප්‍රවෘත්තියක් පසුගිය සතියේ වාර්තා වුණා. ඒ ගැන බොහෝ දෙනාගේ මතය වූයේ හිටපු ඇමැතිවරයකු එයට සම්බන්ධ බවටයි. ඒ කතාබහ යන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද උතුරු මැද පළාතේ සංචාරයක යෙදුණා. එහිදී ඒ මහතා රුවන්මැලි සෑය වෙත ගොස් ආගමික වැඩසටහන් ගණනාවකට සහභාගී වුණා.

අනුරාධපුර රුවන්මැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ හැට හතරවන ජන්ම දිනය පසුගිය 15 දාට යෙදී තිබුණා. ඒ නිමිතිකරගෙන එදින උදේ පැවැති පින්කමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූයේ එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රී හා හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා ඇතුළු පිරිසක් සමගිනි. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා පාකිස්ථානය බලා ගියේ විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් සමඟයි. එරට ආරක්ෂක අංශ සම්බන්ධවන සම්මන්ත්‍රණයකට සහභාගීවීම මෙම සංචාරයේ අරමුණ වුණා.

මේ අතර වාර්තා වුණේ පසුගියදා ජපානයේ කළ සංචාරයෙන් පසුව තමන්ගේ පරිවාර කණ්ඩායම මගින් මහින්ද රාජපක්ෂ මහතා ටොන් එකක් බර භාණ්ඩ මෙරටට රැගෙන ආ බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ප්‍රධාන රැස්වීම ත්‍රිකුණාමලයේදී අගෝස්තු තුන්වැනිදා පැවැත්වීමට තීරණයකොට තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකොට ඇත්තේ පක්ෂය කැඩීමට කුමන්ත්‍රණය කිරීම හා පක්ෂයේ විනය කැඩීම ගැන මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දහහතර දෙනෙකුට එරෙහිව පියවර ගැනීමටයි. එම කටයුතු ඉදිරි දෙසතිය තුළ ආරම්භ කරන බව ශ්‍රී ලනිප ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා හා පක්ෂයේ නායකත්වය අතර ගැටුම ඊයේ පෙරේදා එළියට ආවේ පළාත් සභාවේ අභ්‍යන්තර ගැටුමක් වශයෙන්. පළාත් ඇමැති මණ්ඩලය දූෂිත බව කියමින් පරීක්ෂණයක් කිරීමට විග්නේශ්වරන් මහතා ක්‍රියා කළා. ඉන් පසුව ඇමැති මණ්ඩලය ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග පළාත් සභාවේ බහුතර මන්ත්‍රීන් කළේ මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. පක්ෂ නායක සම්බන්දන් මහතාගේ මැදිහත්වීම නිසා ගැටුම තරමක් සංසිඳී තිබෙනවා. එසේ වුවත් එය නිම වන බවක් පෙනෙන්නට නැහැ. දෙපැත්ත එකිනෙකාට චෝදනා එල්ල කිරීම දිගටම සිදුවනවා.

තම පක්ෂයේ මහ සමුළුවක් නොවැම්බරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කටයුතු කරමින් සිටිනවා. පක්ෂය සභාග ආණ්ඩු තුළ කටයුතු කළ 1994 – 2014 කාලය ගැන ස්වයං විවේචනයක් කිරීමට ඔවුන් තීරණයකොට තිබෙනවා. කෙසේ වෙතත් පක්ෂය තුළ මහින්දවාදීන් හා මහින්ද විරෝධීන් ලෙස පවතින බෙදිම දරණුයි. රාජා කොල්ලුරේගේ ප්‍රධානත්වයෙන් සිටින මහින්දවාදින්ගේ අදහස පක්ෂයේ බලය රැකගැනීමට ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කළ යුතු බවයි. බහුතරය වී සිටින අනෙක් පාර්ශ්වය කියන්නේ පක්ෂය ජාතිවාදයට යටවීමෙන් දැන්වත් ඉවත්විය යුතු බවයි.

මහින්ද රාජපක්ෂට අසීමිත බලතල ලබාදුන් දහඅටවන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම ගැනත්, 2015 ජනාධිපතිවරණයේදී ඔහුට පක්ෂව සිටීම ගැනත් පක්ෂය ස්වයං විවේචනය කොට වරද පිළිගත යුතුබව පක්ෂයේ බහුතර කණ්ඩායම කියනවා. පක්ෂ සම්මේලනයට එම යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. ඒ පිළිබඳ කොමියුනිස්ට් පක්ෂය අභ්‍යන්තරයේ පවතින්නේ දැඩි විවාදයක්. මෙය නැවතත් බෙදීමක් කරා ගමන් කිරීමට ද ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග කියනවා. 

නව අදහස දක්වන්න