එංගලන්තය පළමු විස්සයි20 ජය ගනී | දිනමිණ

එංගලන්තය පළමු විස්සයි20 ජය ගනී

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පෙරේදා සවුත්හැම්ප්ටන්හිදී පැවැති පළමු තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී රැස්කළ ලකුණු 142 හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ කඩුල්ලක් අහිමිව තිබියදී ජය හිමිකර ගත්තේ පන්දු 33ක් ඉතිරිකර ගනිමිනි.

ජොනී බෙයාස්ටෝ වේගවත් අර්ධ ශතකයක් රැස්කරමින් එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගියේ ඇලෙක්ස් හේල්ස් සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 62කින් ලකුණු 98කට නොබිඳුණු සබඳතාවක්ද ගොඩනගමිනි.

පන්දු 29කින් සිය දෙවැනි ජාත්‍යන්තර විස්සයි20 අර්ධ ශතකය රැස්කළ බෙයාස්ටෝ ඉනිම නිමාවනවිට නොදැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියේය. හතරේ පහර 6කින් හා හයේ පහර 2කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 35ක් පමණි.

හේල්ස් නොදැවී ලකුණු 47ක් රැස්කළේ පන්දු 38කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගිනි. ලකුණු පුවරුව 45ක් වෙද්දී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් පන්දු 14කින් ලකුණු 28ක් රැස්කළ ජේසන් රෝයි එංගලන්ත ඉනිමේ දැවී ගිය පිතිකරුවා විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 7ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ඩේවිඩ් විලී හා මාක් වුඩ් සමත් වූ අතර තෙවැනි කඩුල්ල ලකුණු 32දී අහිමි විය.

අනතුරුව නායක ඒ.බී ඩි විලියර්ස් සමග එක්වූ ෆර්හාන් බෙහර්ඩීන් පන්දු 95කින් ලකුණු 110ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 142ක දක්වා ඉදිරියට ගෙන ගියේය. විස්සයි20 තරග බිමේ සිය මංගල අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 64ක් වාර්තා කළ බෙහර්ඩීන් පන්දු 52කට මුහුණදී තිබිණි. ඩි විලියර්ස් පන්දු 58කින් නොදැවී ලකුණු 65ක් ඉනිමට එක් කළේය. ඔවුන් දෙදෙනාම හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් බැගින් ඉනිමට එක්කරගෙන තිබිණි. 

 

නව අදහස දක්වන්න