කුම්බ්ලි තනතුර හැර යයි | දිනමිණ

කුම්බ්ලි තනතුර හැර යයි

 අයි.සී.සී චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් පසුව තම තනතුරින් ඉල්ලා අස්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බ්ලි තීරණය කර තිබේ.

මේ බව කුම්බ්ලේ විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් මගින් දන්වා ඇති අතර ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඔහු සහ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි අතර ඇතිවූ මත ගැටුම් බව සඳහන් වෙයි.

ධුරයෙන් ඉල්ලා අස්වීමට මෙය හොඳම අවස්ථාව බව පවසා ඇති කුම්බ්ලි, තමා හා කෝලි අතර සබඳතාව මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයට පත්ව ඇතැයිද පවසා ඇත.

චැම්පියන්ස් කුසලාන තරග පරාජයෙන් අනතුරුව කුම්බ්ලේට කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් විවිධ චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ දැඩි නීති හා විවිධ තීරණ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් රැසක් අසතුටට පත්වීමෙන් මේ අර්බුදය ඇතිව තිබේ.

තමන් පිළිබඳ ක්‍රීඩකයන් තුළ ඇති වැරදි මතය පිළිබඳ කනගාටු වන බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එය නිවැරදි කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවද ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

වසරක කාලයකට පුහුණුකුරු තනතුරට පත්වූ කුම්බ්ලිගේ ධුර කාලය චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අනතුරුව අවසන් වීමට නියමිතය තිබුණද හෙට (23) ඇරැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ද එම ධුරයේ කටයුතු කිරීමට ඔහු සුදානම්ව සිටියේය. කුම්බ්ලි පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව ඉන්දියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්වූයේ සහභාගිවූ ටෙස්ට් තරග 17න් 12ක් ජය ගනිමිනි. ඔවුන් එක් තරගයක් පමණක් පරාජයට පත්ව තිබිණි. කොදෙව්, නවසීලන්තය, එංගලන්තය, බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව ටෙස්ට් තරගාවලි ජය ගෙන තිබිණි.

එහෙත් විරාට් කෝලි පවසන්නේ කණ්ඩායමේ සාර්ථකත්වයට හේතුව එක පුද්ගලයකු පමණක් නොව සමස්ත කණ්ඩායමේ ම කැපවීම බවයි.

නව අදහස දක්වන්න