හිස්තැනේ ලස්සන | දිනමිණ

හිස්තැනේ ලස්සන

කාලය සහ අවකාශය බොහෝ විද්‍යා ශාස්ත්‍රයන්ට පදනම සපයන්නකි. නිවෙසක අභ්‍යන්තර පරිසරය නිර්මාණය කිරීමේදීත් අවකාශය කෙරෙහි උපරිම අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඉඩ ප්‍රමාණය කුමක් වූවත් එක්තරා අනුපාතිකයක් අනුව අවකාශය සඳහා කොටසක් වෙන් කළ යුතුය. මේ නියමය අල්මාරි කෑම මේස පොත් රාක්ක යනාදී සියලු ගෘහ භාණ්ඩ සඳහාත් අදාළ වේ. කිසියම් තැනෙක නියමිත අවකාශය හෙවත් නිදහස් හිස් තීරුවක් නොතිබීම සෑහෙන තරම් වාස්තු දෝෂයක් බව බොහෝ දෙනා නො දනී.

සාලය - ඉස්තෝප්පුව ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන නිවෙසේ ආලින්දයට අයත් භූමි ප්‍රමාණයෙන් අඩුම තරමින් 25 % ක් වත් අවකාශය සඳහා වෙන් කළ යුතු ය . එය 35 % දක්වා උපරිම මට්ටමක තබා ගැනීමට හැකි නම් ප්‍රශස්ත ය. මෙහි අදහස වන්නේ සාලය පුරා විවිධාකාර ගෘහභාණ්ඩ සහ විසිතුරු දේ පමණට වඩා තැන්පත් නො කළ යුතු බවයි. ගෘහභාණ්ඩ යනාදියෙන් තදබද වූ සහ සෑම තැනක් ම ආවරණය වූ ආලින්දය මගින් එම නිවැසියන්ගේ මානසිකත්වය මැනවින් නිරූපණය කෙරේ. මෙවැනි නිවෙසක සාමාජිකයන් අතර සුහදත්වය අවම වන්නා සේම ඔවුන් බාහිර සමාජය සමඟ ද යහපත් සබඳතා පවත්වන්නේ නැත. එකී ආලින්දය වැඩි වේලා රැඳී සිටීමට සිත් නො දෙන පීඩාකාරී පරිසරයකට සමාන වේ. මෙසේ වන්නේ හේතු දෙකක් නිසා ය. සීමිත භූමි ප්‍රදේශයක එකිනෙකට තදබදවන ලෙස ගෘහභාණ්ඩ තැබීමෙන් එකී නිවෙස් කොටසට නියමිත ආලෝකය සහ වාතාශ්‍රය නො ලැබී යයි. දෙවනුව අඳුර සහ දූෂිත ජීව ශක්තිය කාලයක් පුරා රැඳෙන අතර එය ලෙඩ ගොඩකට මුලකි.

ආලින්දය මෙන් ම ගෘහ අභ්‍යන්තරයේ ඇති නිදන කාමර - කෑම කාමර සහ නාන කාමර යන සියලුම ස්ථානවල අඩුම තරමින් 35 % ක වත් නිදහස් අවකාශයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මේ ස්ථාන ගෘහභාණ්ඩ යනාදියෙන් තදබදව පැවතීම ඉතා ම අහිතකර වේ.

අල්මාරි පොත් රාක්ක යනාදියේ භාණ්ඩ තැන්පත් කිරීමේදීත් අඩුම තරමින් 25 % ක නිදහස් අවකාශයක් ඉතිරි කළ යුතු අතර කෑම මේසය මත නිදහස් අවකාශය අඩුම තරමින් 60 % ක් වත් තිබීම අවශ්‍ය වේ.

නාන කාමරය තුළ එහි ඇති ජලනළ උපාංග හැරෙන්නට අන් කිසිදු දෙයක් නො තිබීම ද අත්‍යවශ්‍ය වේ.

මුළුතැන්ගෙය තුළ ඊට අත්‍යවශ්‍ය භාණ්ඩ හැරෙන්නට අන් කිසිවක් ම නො තිබීම ද වැදගත් ය.

නිවෙස වටා බාහිර බිත්ති සහ ඉඩම අතර අඩුම තරමින් අඩි තුනක වත් නිදහස් අවකාශයක් තිබිය යුතු අතර බිත්තිවලට හේත්තු වන පරිදි හෝ අවකාශය අවහිරවන පරිදි හෝ කිසිදු දෙයක් නොතිබීම ඉතා වැදගත් වේ.

ප්‍රධාන දොර සහ අනෙකුත් කාමර ආදියේ දොර පසුපස කොසු ඉදල් ආයුධ ආදී කිසිවක් ම නොතිබීම ද අනිවාර්ය වේ.

නිවෙසේ ඇඳවල් යට සහ අල්මාරි ආදියේ බාහිර මුදුන් පියන මත කඩදාසි කැබැල්ලක් වත් නොතිබිය යුතු අතර මේ ස්ථාන දෙක ම 100 % ක් නිදහස් අවකාශයට වෙන් කිරීම අත්‍යවශ්‍ය වේ.

පොත් රාක්කයේ 25 % ක පමණ නිදහස් අවකාශයක් පැවතිය යුතු අතර පොත් කිටි කිටියේ තදබද වන ලෙස හෝ අපිළිවෙළට ඇසිරිය යුතු නොවේ. එක පෙළට පොත් ඇසිරීම ඉතා ප්‍රශස්ත වන අතර සෑම පොත් පේළියක් සහ රාක්කයේ ඉහළ තට්ටුව අතර අඩුම තරමින් අගල් 5ක පමණ හිස් තීරුවක් තිබීම අවශ්‍ය වේ.

හැකි සෑම විටෙම සෑම තැනෙක ම ඊශාන කොටස නිදහස්ව තිබෙන්නට ඉඩ හැරීම ද ඉතා වැදගත් වේ.

ඉහත කී ආකාරයෙන් නිදහස් අවකාශය පැවතිය යුතු අතර ඒ සඳහා බලපාන හේතුව ද ඔබ දැන සිටීම සුදුසු ය. පරිසරයේ සෑම විටෙම එකිනෙකට ප්‍රතිවිරුද්ධ චක්‍ර දෙකක් ඒකාබද්ධව ක්‍රියාත්මක වේ. එනම් ජනක චක්‍රය සහ නාශක චක්‍රය යි. සියලු ජීවීන් මෙන් ම සියලු වස්තූන් ද ඊට යටත් වේ. සත්ත්ව ශරීරයේ සෛල මොහොතක් පාසා විනාශ වන්නේ නාශක චක්‍රය ක්‍රියාත්මක වීමෙනි. මැරෙන සෛලවල අනුපාතයට සහ වේගයට සරිලන ලෙස අලුත් සෛල උපදවන්නේ ජනක චක්‍රයෙනි. මේ දෙකේ සමතුලනය බිඳී ගියහොත් එක්කෝ පිළිකාවකි. නැතහොත් මළ සිරුරකි. නිවෙසක අභ්‍යන්තරය ද එසේම ය. සෑම විටෙම එය පවිත්‍රකරණයට ලක්විය යුතු ය.පරිසරයේ මහා පවිත්‍රකාරකයා වන්නේ සූර්‍ය ශක්තිය යි . නිවෙසේ සෑම තැනෙකට ම ඉතා හොඳින් හිරු එළිය වැටෙන්නට සැලැස්විය යුතු අතර ගෘහභාණ්ඩ ආදියෙන් තදබද වූ ගෘහ අභ්‍යන්තරයට නිසි ලෙස හිරු කිරණ පතිත නොවේ.

එමෙන් ම වාතාශ්‍රය ඉතා හොඳින් ම නිවෙස අභ්‍යන්තරය පුරා සංසරණය වීම ද අත්‍යවශ්‍ය වේ.

මේ ක්‍රියාවලී දෙක බිඳවැටීමෙන් සිදුවන්නේ එකී නිවෙස තුළ ජීව ශක්ති සංසරණය අවහිර වීමය. එවිට එක්කෝ ඒ නිවෙස පිළිකාවකි. නැතහොත් මළ සිරුරකි. නිවෙසක් තුළ අනවශ්‍ය ලෙස බඩු භාණ්ඩ ගොඩගැසීම මතුපිටින් පෙනෙනවාට වඩා නපුරු වන්නේ මේ හෙයිනි.

නිවෙසක් පසන් නිවෙසක් බවට පත්වන්නේ එහි චාම් සරල බව - පිරිසුදු බව - සහ පිළිවෙළ රැකුණොත් පමණි.

K.C.J-R

නව අදහස දක්වන්න