වරක් රින් වුණොත් පරිස්සම් වෙන්න | දිනමිණ

වරක් රින් වුණොත් පරිස්සම් වෙන්න

මංජුලා විජයරත්න

ඔබේ ඒ දුරකතන ඇමතුම් හරහා වංචාකාරයන් විශාල මුදලක් උපයා ගන්නා බව ඔබ දන්නවාද?. මෙහිදී සිදුවන්නේ ඔබට එකී ඇමතුම ලබාගන්නට අවශ්‍ය දුරකතන පහසුකම් ලබාදෙන සමාගම් හරහා වංචාකරු කොමිස් මුදලක් ලබාගැනීමයි. කූට උපායෙහි ගොදුරක් වන පාර්ශ්වයට වැය වන විශාල මුදල ආපසු කොතැනකින්වත් අයකර ගත නොහැකිය. එය නීත්‍යානුකුල නොවන ගෙවීමකැයි තර්ක කරන්නටත් ඉඩක් නොලැබේ. එහිලා නැඟෙන එකම තර්කය වන්නේ තම ජංගම දුරකතයෙන් එවැනි ඇමතුමක් ලබා ගත්තේ මන්ද? යන්නයි. සමහර අවස්ථාවලදී ඔබ නොදන්නා අංකවලින් කෙටි පණිවුඩ ලැබෙන්නට වුව ඉඩ තිබේ. එවැනි කෙටි පණිවුඩවල බොහෝවිට සඳහන්ව තිබිය හැකි වන්නේ “ කරුණාකර, ඉක්මනින් නැවත අමතන්න.” (Please urgently call back) යන්න විය හැකිය. මෙවැනි කෙටි පණිවුඩවල සඳහන් දුරකතන අංකයට ඇමතුම ලබා ගන්නට යාමෙන් ඔබට මුහුණ දෙන්නට සිදුවන්නේද පළමුව කී විධියේම අකරතැබ්බයකටය.

විසි අට හැවිරිදි ජෙහාන් පෙරේරා මහතාගේ ජංගම දුරකතනයට පසුගිය දිනෙක ඇමතුමක් ලැබුණේය. එය විදේශ රටක සිට ලබාදුන් ඇමතුමක් විණ. පුදුමයකට මෙන් දුරකතනය වරක් පමණක් නාද වී විසන්ධි විය. එම ඇමතුමේ, ජාත්‍යන්තර ඇමතුම් කේතය හැටියට සඳහන්ව තිබුණේ +1(767) යන්නයි. කේතය අනුව දුරකතන ඇමතුම පැමිණ තිබුණේ ඩොමිනිකන් රාජ්‍යයෙනි. ඩොමිනිකන් රාජ්‍යයේ සිට තමන්ට දුරකතන ඇමතුමක් ලබාදෙන්නට කිසිවකු නැති බව ජෙහාන් පෙරේරා මහතාට එක්වරම පසක් විණ. ඒ දුරකතන ඇමතුමට ප්‍රතිචාර දක්වන්නට හෝ දුරකතනයේ සඳහන් එකී අංකයට පසුව ඇමතුමක් දෙන්නට හෝ ඔහු පෙළඹුණේ නැත. ජෙහාන් පෙරේරා මහතා මුහුණ දුන් මේ සිද්ධිය අනාවරණය වූයේ නොහඳුනන අංකයකින් පැමිණි දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඔහු කළ පැමිණිල්ලකට අනුවයි.

ජෙහාන් පෙරේරා මහතා මුහුණ දුන් විධියේ අත්දැකීම්වලට මුහුණ දුන් තවත් පිරිසක් මෙරට සිටින වග අනාවරණය විය. ඔවුන්ගෙන් ඇතැම් අය ඒ බැව් සඳහන් කරමින් පැමිණිලි ඉදිරිපත් කරන්නටත් පෙළඹී සිටියහ. ඒ විධියට පැමිණිලි ඉදිරිපත් කළ සෑම කෙනෙකුටම ලැබී තිබුණේ විදේශීය දුරකතන ඇමතුම් බව සඳහන් විණ. එමෙන්ම ඇමතුම සඳහා දුරකතනය නාද වී තිබුණේ ද වරක් පමණි. එක අතකින් බලනවිට මෙය කරදරකාරී ඇමතුමකි. ජංගම දුරකතනය වරක් පමණක් නාද වී නැවතුණෙන්, ඒ ඇමතුමෙන් කාට නම් ඵලයක් වීදැයි කියා කෙනෙකුට සිතෙන්නට පුළුවන. වරක් පමණක් දුරකතනය නාද වී කරදර කරන මෙවැනි ඇමතුම් හැඳින්වෙන්නේ “වන් රින්ග් ස්කෑම්” (One Ring Sacm) යනුවෙනි.

මේ කරදරකාරී දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් මහජනයා දැනුවත් විය යුතුව තිබේ යැයි විදුලි සංදේශ සේවාවෙහි නිරත විශේෂඥයෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදහස පළ කරන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ නිලධාරි රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ මතු දැක්වූ ආකාරයේ දුරකතන ඇමතුම් වංචා සහගත දුරකතන ඇමතුම් යැයි කියාය.

එවැනි දුරකතන ඇමතුමක් හේතුවෙන් ජංගම දුරකතන හිමියා තුළ කුතූහලයක් ඇති වේ. නමුත් දුරකතනය එක් වරක් පමණක් නාද වී නැවැතීම නිසා ඊට පිළිතුරු දෙන්නට බැරිවුණු බවත් ඇමතුම ලබන්නාට අවබෝධ වේ. නොඑසේ නම් එය තමන්ගෙන් මඟ හැරී ගිය දුරකතන ඇමතුමක් ලෙස දුරකතනය මත සටහන්ව ඇති බව ජංගම දුරකතන හිමියාට පසක් වේ. මේ නිසා ඇමතුම ලැබුණු පුද්ගලයා එකී ඇමතුම ලැබුණු අංකයට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ප්‍රතිචාර දක්වන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි.

මඟ හැරී ගිය ඇමතුමට නැවත ඇමතුමක් ලබාදෙන විට සිදුවන්නේ ජංගම දුරකතනයේ හිමිකරුට ඇමතුම වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවීමයි. මෙවැනි අවස්ථාවකදී දුරකතන ඇමතුම් සම්බන්ධ කෙරෙන්නේ ඉන්ටර්නැෂනල් ප්‍රිමියුම් රේට් නම්බර්ස් (International Premium Rate Number) හරහාය. දුරකතන මුල්කරගත් අන්තර් ජාතික ප්‍රිමියුම් සේවාවන් හරහා මේ අන්දමට දුරකතන ඇමතුමක් ලබාගන්නා විට ඔබට ඒ සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවේ. එය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර දුරකතන ඇමතුමක් ලබාගැනීමේදී ඔබ අතින් වැයවන මුදලට වඩා වැඩි මුදලකි. යම්කිසි විධියකින් ඔබ එවැනි දුරකතන ඇමතුමක් ලබාගත්තේ නම් ඔබට ඒ ඇමතුමෙන් සෑහෙන වෙලාවකට ගැලවීමක් ලැබෙන්නේ ද නැත. ඇමතුම ලබාදුන් වංචාකරු උත්සාහ ගන්නේ හැකිතරම් වෙලාවක් ඔබව ඇමතුමෙහි රඳවා ගැනීමටය. එවිට ඔබට වැයවන මුදල තත්පරයක් තත්පරයක් පාසා ඉහළ යයි. ඇමතුමට සම්බන්ධවීමේදී ගෙවිය යුතු මුදල මෙන්ම සංවාදය පවත්වාගෙන යන කාලය සඳහා වැයවන දුරකතන වියදමත් ඔබ දැරිය යුතුව තිබේ. කූට උපක්‍රමයෙහි ගොදුරක් බවට පත්වන ඔබ, ඇමතුම සඳහා කොපමණ මුදලක් ගෙවිය යුතුද යන්න පූර්වයෙන් උපකල්පනය කිරීම අසීරුය. ඇමතුම වෙනුවන් දරන්නට සිදුවන මුදල අමෙරිකා ඩොලර් 100ද ඉක්මවා යන්නට ඉඩ ඇතැයි ඇතැම් තැනෙක සඳහන් වේ.

ජාත්‍යන්තර මාධ්‍ය වරක් වාර්තා කර තිබූ ආකාරයට මෙවැනි කූට උපක්‍රමයකට හසුවුණු ජංගම දුරකතනයක හිමිකරුවකු ලබාගත් ඇමතුමක් සඳහා සම්බන්ධතා ගාස්තුව වශයෙන් පමණක් අමෙරිකා ඩොලර් 19.95ක් ගෙවා තිබිණ. ඒ හැරුණු විට සංවාදයෙහි යෙදී සිටි කාලය වෙනුවෙන් අමෙරිකා ඩොලර් 9කට ආසන්න මුදලක් ගෙවා දමන්නටත් ඔහුට සිදුව තිබී ඇත.

ඔබේ ඒ දුරකතන ඇමතුම් හරහා වංචාකාරයන් විශාල මුදලක් උපයා ගන්නා බව ඔබ දන්නවාද?. මෙහිදී සිදුවන්නේ ඔබට එකී ඇමතුම ලබාගන්නට අවශ්‍යය දුරකතන පහසුකම් ලබාදෙන සමාගම් හරහා වංචාකරු කොමිස් මුදලක් ලබාගැනීමයි.

කූට උපායෙහි ගොදුරක් වන පාර්ශ්වයට වැය වන විශාල මුදල ආපසු කොතැනකින්වත් අයකර ගත නොහැකිය. එය නීත්‍යානුකුල නොවන ගෙවීමකැයි තර්ක කරන්නටත් ඉඩක් නොලැබේ. එහිලා නැඟෙන එකම තර්කය වන්නේ තම ජංගම දුරකතයෙන් එවැනි ඇමතුමක් ලබා ගත්තේ මන්ද? යන්නයි.

සමහර අවස්ථාවලදී ඔබ නොදන්නා අංකවලින් කෙටි පණිවුඩ ලැබෙන්නට වුව ඉඩ තිබේ. එවැනි කෙටි පණිවුඩවල බොහෝවිට සඳහන්ව තිබිය හැකි වන්නේ “ කරුණාකර, ඉක්මනින් නැවත අමතන්න.” (Please urgently call back) යන්න විය හැකිය. මෙවැනි කෙටි පණිවුඩවල සඳහන් දුරකතන අංකයට ඇමතුම ලබා ගන්නට යාමෙන් ඔබට මුහුණ දෙන්නට සිදුවන්නේද පළමුව කී විධියේම අකරතැබ්බයකටය.

වංචාකාරී දුරකතන ඇමතුම් අප රටට ලැබෙන්නේ කිනම් රටවලින්ද යන්නත්, එසේ ලැබෙන ඇමතුම්වල දුරකතන කේතයන් මොනවාද යන්නත් මේ වනවිට හඳුනාගන්නට ඉඩ ලැබී ඇත. ඒ අනුව බුරුන්ඩි, මලාවි, පාකිස්තාන සහ බෙලරුසියා යන රාජ්‍යවලිනුත් බටහිර ඉන්දීය දූපත්වලිනුත් වංචා සහගත ඇමතුම් ලැබේ. 268, 809, 876, 284 සහ 473 වැනි කේතවලින් ලැබෙන ඇමතුම් යට කී අන්දමේ වංචා සහගත ඇමතුම් බව සැලවේ.මෙරට ජංගම දුරකතන හිමියන්ට ලැබුණු ඇමතුම්වල සඳහන් අංකවල කේත අතර අමෙරිකා එක්සත් ජනපදයේ කේතයනුත්, කැරිබියානු දූපත් රාජ්‍යයවලට අයත් කේතයනුත් පැවැති බවට පැමිණිලි ලැබී තිබේ.

අප රටේ ජංගම දුරකතනවලට බලපෑ මේ කරදරකාරී තත්ත්වයෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කර ඇත. වංචාකාරී යැයි කියන දුරකතන අංක අවහිර කර තබමින් සිය පාරිභෝගිකයන් ආරක්ෂා කරගන්නට ජංගම දුරකතන සේවා සපයන මෙරට පෞද්ගලික සමාගම් දෙකක් පියවර ගෙන තිබේ.

මෙවැනි වංචාකාරී උපායවලින් බේරී සිටීමට ජංගම දුරකතන භාවිතයට ගන්නා අයත් පියවර ගත යුතුව ඇත. ඔවුන් කළ යුතු වන්නේ තම ජංගම දුරකතනයට පැමිණෙන එවැනි කරදරකාරී ඇමතුම් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමයි. තමන් මෙතුවක් නොදැන සිටි ජාත්‍යන්තර දුරකතන අංකයකින් ඇමතුමක් පැමිණ එය මඟ හැරී ගියහොත් එම අංකයට ඇමතුම් ගැනීම නොකළයුතුම දෙයක් බැව් විදුලි සංදේශ කෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.

ඩේලි නිවුස් පුවත්පතේ පළ වූ Maneshka Borhanගේ ලිපියක් ඇසුරෙනි

නව අදහස දක්වන්න