‍චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය සෑහෙන කාලයකට අමතක වෙන්නෙ නෑ | දිනමිණ

‍චැම්පියන්ස් කුසලාන ජයග්‍රහණය සෑහෙන කාලයකට අමතක වෙන්නෙ නෑ

 කණ්ඩායම් අටක් සහභාගි වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියට එන විට අට වැනි ස්ථානයේ සිටි පාකිස්තානය අවසානයේ ශූරයන් වූ බවත් අද හෙට පමණක් නොව දීර්ඝ කාලයක් යන තුරු මේ ජයග්‍රහණයේ මතකය ජගත් ක්‍රිකට් ලෝකයේ රැඳී තිබෙනු ඇති බවත් 2017 චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමෙන් පසුව පාකිස්තාන නායක සාෆ්රාස් අහමඩ් කියයි.

මේ ජයග්‍රහණයෙන් පාකිස්තාන ක්‍රිකට් ක්ෂේත්‍රයට නව පන්නරයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඉදිරියේදී ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තම රටට පැමිණෙනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව ලත් ජයග්‍රහණයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී සාෆ්රාස් අහමඩ් පවසා සිටියේය.

“මේ ජයග්‍රහණයේ ගෞරවය කණ්ඩායමේ කළමනාකාරිත්වයට යා යුතුයි. පළමු පරාජයෙන් පස්සේ ඔවුන් ඉතාමත් වෙහෙස මහන්සි වී වැඩ කළා” යැයි අහමඩ් කියා සිටියේය.

දකුණු අප්‍රිකානු පිල සමග අවසන් පූර්ව තරග 5කට ගියත් පාකිස්තානු පිලත් සමග එක් අවසන් තරගයකින් මට පදක්කමක් හිමිවුණා - පාකිස්තාන පුහුණුකරු මිකී ආතර්

 

එම මාධ්‍ය හමුවේදී පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ගෙන් අසන ලද ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මෙසේය.

මිකී, ඔබ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකම පුහුණුකරු ලෙස ක්‍රියා කර තිබෙනවා. පුහුණුකරුවෙකු ලෙසින් ඔබ ඉටුකර ගත් ලොකුම ජයග්‍රහණය මෙයද?

“පැහැදිලිවම ඔව්. ඒ වගේම, පැහැදිලිවම මෙය මා ගැන හා පුහුණුකරුවෙකු වශයෙන් මගේ දිවිය ගැනවත් නෙවෙයි. මේ ජයග්‍රහණය ‘ඩ්‍රෙසිං රූම්’ එකේ ඉන්න, පසුගිය වසර පුරා විශිෂ්ට ක්‍රීඩාවක් කළ ඇදහිය නොහැකි ක්‍රීඩකයන් පහළොස් දෙනා ගැනයි. දකුණු අප්‍රිකාව සමග මට අවසන් පූර්ව තරග පහක් තිබුනත් එකම අවසන් තරගයකට හෝ යන්න බැරිවුනා කියලා මම පසුගිය දිනෙක කෙනෙකුට කීවා. මම පාකිස්තානයත් එක්ක එක අවසන් තරගයකට ගියා. මට පදක්කමකුත් ලැබුනා. නමුත් ගෞරවය හිමි විය යුත්තේ ක්‍රීඩකයන්ටයි. ඔවුන් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවක් කළා. ඒ වගේම මගේ සහායකයනුත්, කළමනාකරණ කණ්ඩායමත් ඉතාමත් දක්ෂ අයුරෙන් කටයුතු කළා.”

මිකී, පැහැදිලිවම ඔබේ කණ්ඩායමේ තරග ජයග්‍රාහකයන් හා වීරයන් කිහිප දෙනෙකුම ඉන්නවා. නමුත් මොහමඩ් අමිර් ගැන වචන කිහිපයක් අපට දෙන්න පුළුවන්ද? අවසන් පූර්ව තරගයට සහභාගි නොවූ අමිර් අවසාන තරගය නමැති ලොකුම වේදිකාවේදී, ඔහුගේ ආරම්භක පන්දු යැවීමේ වාරයේදීම කඩුලු ලබා ගත්තා.

“ඇත්තටම අපි අපේ කණ්ඩායම් රැස්වීමේදී අමිර් ගැන කතා කළා. ඉන්දියා මුල් පිතිකරු පෙල ඉක්මනින්ම බිඳ දමන්න පුළුවන් වුනොත්, වැඩි ප්‍රමාණයක් ‘බැට්’ කරලා නැති ඔවුන්ගේ මැද පිතිකරු පෙල විවෘත කර ගන්න පුළුවන් වේවි කියලා අපි කතා කළා. අපට ඒක කරලා දෙන්න පුළුවන් හොඳම කෙනා තමයි අමිර්. පළමු තරග දෙකේදී එයා කඩුලු ලබා ගත්තේ නැහැ. නමුත් ඔහු හොඳින් පන්දු යවා තිබුණා. අමිර්ගෙන් හරියට එක පන්දු වාරයක් විතරයි ඕන කියලා අපි හිතා ගෙන සිටියා. වාසනාවකට එය අවසාන තරග‍ය ආරම්භයේදීම ආවා. අපි ඉන්දියාව පස්සට ඇද්දා. තරගයේ ඉස්සරහට ආවා.”

ඔබ මේ තරගාවලියට ආවේ අංක 8ට ශ්‍රේණිගතව සිටිමිනුයි. පළමු තරගයෙන්ම බැට කෑවා. ඊට පසුව කණ්ඩායමේ මේ ගමන ගැන ඔබේ අදහස් මොනවාද?

“අවංකවම කියනවා නම් මට ඒ ගැන තියෙන්නේ විස්මය දනවන හැඟීමක්. ඒ පරාජය අපි මුළා වීමක්, අපි නොමග යාමක් කියලා අපි දැන සිටියා. ඒ පරාජය සාමාන්‍ය දෙයක් නොවුනේ අපි මේ තරගාවලියට හොඳින් සූදානම් වෙලා හිටිය නිසයි. අපට සිටින ක්‍රීඩකයන්ගේ තරම ගැන අපි දැන සිටියා. ඔවුන්ගේ දක්ෂතාවන් මොනවාද කියලා අපි දැන සිටියා. එය අපි පුහුණු වූ ක්‍රීඩාව නෙවෙයි. අපි ඒ ළඟටවත් ඇවිත් සිටි‍යේ නැහැ. ඒ නිසා අපි ගැන විශ්වාසයෙන් සිටින්න අපට සිදුවුනා. තම තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසයෙන් සිටින්න අපට සිද්ධ වුනා. මම අර ‘ඩ්‍රෙසිං රූම්’ එක ගැන ආඩම්බර වෙනවා කියලා කළින් කිවුවේ ඒ නිසායි. ඔවුන් එහිදී ඇති කර ගත්තේ ඒ විශ්වාසයයි. අපි හදපු තරග සැලැස්ම ගැන ඔවුන් විශ්වාසයෙන් සිටියා. වඩාත්ම වැදගත් කාරණය එයයි.”

පසුගිය වසර අට තිස්සේ තමන්ගේ මව්බිමේ ක්‍රීඩා කිරීමට නොලැබීමෙන් පාකිස්තානය පීඩා විඳින ආකාරය ගැනත්, ළමයින්ට ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔවුන්ගේ ක්‍රීඩකයන් දැක ගැනීමට නොහැකි වීම ගැනත් ඔබ දන්නවා. ඒ නිසා, මේ ජයග්‍රහණය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට කිනම් අයුරකින් බලපාවිද?

“එය ඉතාමත් දැවැන්ත බලපෑමක් කරාවි. මේ ජයග්‍රහණය ලබා ගැනීමට පාකිස්තානය ඉතාම සුදුසුයි. ඔබ කියන ප්‍රශ්නය පාකිස්තානයට බරපතළ එකකි. මේ ජයග්‍රහණයෙන් ඒ කටයුතු වෙනස් වේවි කියා අපි ප්‍රාර්ථනා කරමු.”

කණ්ඩායම් පාකිස්තානයට ඇවිත් ක්‍රීඩා කිරීමට මේ ජයග්‍රහණය ඉවහල් වේවි කියා බලාපොරොත්තු වන බව සා‍ෆ්රාස් කියා සිටියා. එය අනාගතයේදී සිදුවේවි කියා ඔබ සිතනවාද?

“ඔව්. විස්සයි20 තරග තුනක් සඳහා ලෝක ක්‍රිකට් කණ්ඩායමක් සැප්තැම්බරයේ පාකිස්තානයට ඒමට නියමිතයි. එයින් අනාගත සංචාරවලට දොර ඇරේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපට කරන්න පුළුවන් බලාපොරොත්තුවෙන් සිටීම පමණයි!”

වර්නන් ගුණසේකර
එංගලන්තයේ සිට... 

නව අදහස දක්වන්න