පාරට නොවැටෙන්න ගසක් වවන්න

අවුරුද්ද පුරාම විවිධ අවස්ථාවන්හිදි ශාක රාශියක් දිවයින පුරා සිටුවනු ලැබේ. එහෙත් සමහර ශාක සාර්ථකව වැඩෙන්නේ නැතිව අකාලයේ ඇදවැටී විනාශ වී යාමට හේතුවන කරුණු කීපයකි.

ආරම්භයේදී ක්‍රමානුකූල ශාක සිටුවා නොතිබීම සිටුවන ස්ථානයට නොගැළපෙන සහ විශාල ලෙස අතු විහිදුවා වැඩෙන ශාක සිටුවීම, ශාක අනවශ්‍ය ලෙස වැඩූ පසු බර අඩු කිරීම සඳහා ක්‍රමානුකූලව කප්පාදු නොකිරීම, අවශ්‍ය වූ විට බර වැඩි ශාක අතු සඳහා ආධාරක නොතැබීම. ශාකවලට වැල‍ඳෙන රෝග සහ කෘමී හානි සඳහා නියමිත වෙලාවට ප්‍රතිකාර නොකිරීම ආදී හේතූන් නිසා ශාක අකාලයේ ඇදවැටී විනාශ වේ. විශාලත්වය අනුව ශාක තුන් ආකාරයකට වර්ගීකරණය කිරීමට පිළිවන.

1. විශාල ශාක - උස මීටර් 20ට වැඩි කිරුළෙහි විශ්කම්භය මීටර් 08ට වැඩි ගස් විශාල ශාක ගණයට අයත් වේ.

උදා - මහෝගනි (Swiethenia mahagoni), කොහොඹ (Azadiracta indica), ටැබුබියා වර්ග (Tabebuia varieties) මුදිල්ල (Barringtonia asiatica), පාරේ මාර (Samanea saman)

2. මධ්‍යස්ථ ශාක - උස මීටර් 20ට අඩු සහ කිරුළෙහි විශ්කම්භය මීටර් 08ට අඩු ශාක මධ්‍යස්ථ ශාක ගණයට අයත්ය.

උදා - ඇහැල (Cassia fistula) පිහිඹිය, (Felicium decipiens), කොබෝනීල (Bauhinia purpurea), කරඳ (Pongamia pinnata), මැයි මාර (Delonix regia), කැසියා වර්ග (Cassia nodosa)

3. කුඩා ශාක - උස මීටර් 10ට අඩු සහ කිරුළෙහි විශ්කම්භය මීටර් 6ට අඩු ශාක කුඩා ශාක ගණයට අයත් වේ.

උදා - ටෙකෝමා ආජන්ටියා (Tecoma argentia), හැලඹ (Mitragyna tabulosa), ගන්සූරිය (Thespesia populnea), අසෝකා (Saraca asoka)

ගසෙහි විශාලත්වය අනුව භූමියෙහි සිටුවන දුර ප්‍රමාණයද ගසෙහි මනා වැඩීමට හේතු වනු ඇත. විශාලව වැඩෙන ගස් දෙකක් අතර පරතරය මීටර් 10 – 12 දක්වා ද මධ්‍යස්ථ ගස් මීටර් 8 – 10 දක්වා ද කුඩා ගස් මීටර් 5 – 6 දක්වා ද සිටුවීමට සුදුසු පඳුරු වර්ග සිටුවීමේදී මීටර් 15 – 2 දක්වා පරතරයට සිටුවීමට පිළිවන.

ශාක ශක්තිමත්ව දිගු කාලයක් වැඩීම සඳහා ආරම්භයේ සිටම ක්‍රමානුකූල පැළ සිටුවීම වැදගත් වේ. ගසක් සිටුවීම සඳහා මීටරයක් ගැඹුර හා විශ්කම්භය ඇතිව රවුම් හැඩයෙන් යුතු වළක් පිළියෙල කර ගත යුතුය. මතුපිට පස් කොටස් තුනක් ද, වියළි ගොම පොහොර හෝ කොම්පෝස්ට් කොටස් දෙකක් ද මිශ්‍රකර වළ පුරවා ගත යුතුය. සිටුවීමට තෝරාගන්නා පැළයෙහි උස මීටරයක් පමණ විය යුතුය. කුඩා පැළ සිටවූ විට ප්‍රමාණයක් අසාර්ථක වනු ඇත.

පැළය බඳුන්ගත කර ඇති පොලිතින් කවරය කපා ඉවත්කර වළෙහි මැද සිටුවා හොඳින් තද කළ යුතුය‍. පැළය සුළඟට සෙලවීම වළක්වාලීමට ආධාරක කෝටුවක් සවිකර කඳ ස්ථාන දෙකකින් ප්ලාස්ටික් නූලක් මඟින් බැඳිය යුතුය‍. පැළය වටා කොහුබත් තට්ටුවක් ඇතිරීමෙන් තෙතමනය ආරක්ෂා කර ගත හැකිය. සිටුවන්නේ අනාරක්ෂිත ප්‍රදේශයක වේ නම් පැළයෙහි ආරක්ෂාව සඳහා කොටුවක් සකස් කළ යුතුය.

මහා මාර්ගයක දෙපස සෙවණ ගෙන දෙන ගස් සිටුවන්නේ නම් ඒ සඳහා මධ්‍යස්ථ උසැති අතුපතර සමබරව විහිදෙන කිරුළක් සහිත නීරෝගී ශක්තිමත් ශාක වර්ග පමණක් තෝරාගත යුතුය. මේ සඳහා මෙම ලිපියෙහි සඳහන්ව තිබෙන මධ්‍යස්ථ ප්‍රමාණයේ ශාක වර්ග සුදුසුය. පළතුරු හා විශාල ගෙඩි සෑදෙන ශාක වර්ග හෝ කිතුල් සහ තල් වැනි තාල වර්ගයේ ශාක වර්ග ද මහා මාර්ග දෙපස සහ මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල සිටුවීම සුදුසු නැත.

මහා මාර්ගයන්හි මැද තීරුව මීටරයකට වඩා පළල අඩුවේ නම් පැළ සිටුවීම සුදුසු නොවේ. තණ පිඩැලි අල්ලා තිබීම සෑහේ. බෝගන්විලියා පැළ සිටුවන්නේ නම් ඒවායේ වර්ධනය පාලනය කිරීම සඳහා බඳුන්වල සිටුවිය යුතුය. බෝගන්විලියා පැළයෙහි සෑදෙන දිය රිකිලි නිරතුරුවම ඉවත් කළ යුතුය.

රාත්‍රියට වාහන ආලෝකයෙන් ආරක්ෂාවීම සඳහා මැද තීරුවෙහි (Median strip) පඳුරු ගොමුවක් සිටුවීම වැදගත් වේ. මේ සඳහා අධිවේඟී මාර්ගයෙහි ක්‍රිස්ටින් නමැති (Eugenia campanulata) අලංකාර පැළය සිටුවා අඩි 05ක් උසට සිටින ලෙස කප්පාදු කරනු ලැබේ. මෙ තීරුවෙහි සිටුවීම සඳහා (Acalypha siamensis) වර්ගයද සුදුසුය.

ශාක ක්‍රමානුකූලව නඩත්තු කිරීම

සමහර අවස්ථාවන්හිදී සිටුවනු ලබන ඇතැම් ශාක හරිහැටි නඩත්තු නොකිරීම නිසා අකාලයේ මැරී යන අවස්ථා තිබේ. එබැවින් අප විසින් සිටුවනු ලබන සියලුම ශාක නිසි අයුරු ජලය හා පොහොර යොදා නඩත්තු කළ යුතුය. නැතහොත් තද සුළං හා වැසි නිසා මෙම ශාක ආකාලයේ ඇද වැටෙනු ඇත. කාර්යාල, රෝහල්, නිවාස සහ පාසල් භූමිවල මධ්‍යස්ථ ශාක පමණක් සිටුවීම සුදුසුය. ගොඩනැගිල්ලෙහි බිත්තියෙහි පාමුල සිට මීටර් 07ක් දුරින් ශාක සිටුවිය යුතුය.

සිටුවන ලද ශාක පිළිබඳව නිවැරදිව පරීක්ෂාවෙන් සිටිය යුතුය. ශාකයන්හි ප්‍රධාන කඳ බෙදී තිබෙන සන්ධිස්ථාන පිපිරීයාමට ඉඩ ඇති බැවින් පරීක්ෂාකාරී විය යුතුය. මෙම සන්ධිස්ථානවල කුහර සෑදී ඇත්නම් ඒවා පිරිසිදු කර ප්‍රතිකාර කළ යුතුය. අතුවල බර වැඩි වී ඇත්නම් අනවශ්‍ය අතු කප්පාදු කර සමමිතික ලෙස කිරුළ නඩත්තු කළ යුතුය. ශාකයක අතු අනවශ්‍ය ලෙස ගොඩනැගිල්ලක් දෙසට හෝ මහා මාර්ගය දෙසට නැමී බරවී ඇත්නම් එම අතු ක්‍රමානුකූලව කපා එම කැපූ ස්ථානවල කැන්ඩසාන් වැනි දිලීර නාශකයක් ආලේප කළ යුතුය.

විශේෂයෙන් විහාරස්ථානයන්හි රෝපණය කර තිබෙන බෝධි වෘක්ෂයන්ගේ අතු එක් දිසාවකට බර වී තිබේ නම් ඒවාට ශක්තිමත් ආධාරක සවි කළ යුතුය. ශාකයෙහි ක‍ඳෙහි සහ අතුවල දිරා ගිය කුහර හා තුවාල තිබේ නම් ඒවා පිරිසිදු කර ඉහත සඳහන් ආලේපය ගැල්විය යුතුය. ශාක මුල අවට හුඹස් ඇත්නම් වේයන් සහ හුඹස ඇතුළෙහි තිබෙන වේ පස් හා වදය ඉවත් කර වේ නාශකයක් යෙදිය යුතුය.

ශාක ක‍ඳෙහි දැව කොටස් දිරායාම පරීක්ෂා කිරීම සඳහා ‍ඉලෙක්ට්‍රෝනික උපකරණයක් (Resisto graph) දැන් නිපදවා තිබේ. මේ යන්ත්‍රයෙහි සවිකර තිබෙන ශුද්‍ර විදිනය මඟින් ගසෙහි විවිධ සෛල හා පටක අතරින් සීමිත වේගයකින් ගස තුළට සිදුරු කළ හැකිය. මෙම කාර්යය කරන අතරතුර ගසෙහි පටකවලින් ඇතිවන ප්‍රතිරෝධතාව ප්‍රස්ථාරයක් මඟින් පෙන්වනු ලැබේ. මිලිමීටර් තුනක් පමණ මහත ඇති මෙම විදිනයෙන් ගසෙහි කීප තැනක් සිදුරු කර ලබාගත් ප්‍රස්ථාරයෙහි සඳහන් වන සටහන අනුව ශාක කඳ තුළ තිබෙන දිරාගිය කොටස් අධ්‍යයනය කිරීමට පිළිවන. මේ අනුව ශාකය දැඩි ලෙස දිරාපත් වී තිබේ නම් එය ඉවත් කිරීමට පිළිවන. ශාකය තරමක් දිරායමින් ඇත්නම් ඊට ප්‍රතිකාර කිරීමට හැකිවේ. මහජනයා ගැවසෙන උද්‍යානවල හා මහාමාර්ග දෙපස ඇති ශාක පරීක්ෂාකර බැලීමට මෙම යන්ත්‍රය උපයෝගි කර ගැනීමට පිළිවන. මෙම යන්ත්‍රය මැලේසියාවේ මෙන්ම සිංගප්පූරුවේ වෙළඳ සැල් මඟින් ලබාගත හැකිය.

ශාක ආරක්ෂා කර ගැනීම සඳහා පිළිපැදිය යුතු දස පනත

සෑම විටම ශාකය නීරෝගිව වැඩි ඇද්දැයි විමසිලිමත් වන්න. බර වැඩිවී පැත්තකට ඇලවී තිබෙන අතු ඉවත් කළ යුතුය. මැරී ඇති ශාක හා අතු විගස කපා ඉවත් කරන්න. ගස්වල අතු බෙදී තිබෙන ස්ථාන පිළිබඳ නිරතුරුවම පරීක්ෂාකාරී වන්න. අතු කප්පාදු කළ විට හා ගසෙහි තුවාල පිරිසිදු කර දිරීම වැඩි දියුණුව වළක්වාලීමට කැන්ඩසාන් වැනි දිලීර නාශකයක් ආලේප කරන්න. ශාක මූල මණ්ඩලයට දීලිර මඟින් හානි වී තිබේ දැයි පරීක්ෂා කරන්න.

ගසෙහි මුල සහ ක‍ඳෙහි හතු පිපී අැත්නම් ගසෙහි පොත්ත දිරා ගිය බැව් පෙනෙනු ඇත. මූල මණ්ඩලය වටා වේ හුඹස් ඇත්නම් වේයන්ගේ වදය සහිත පස් සියල්ල ඉවත් කර සුදුසු වේ නාශකයක් යෙදිය යුතුය. වාහන අංගන සහ ‍ගොඩනැගිලි ආසන්න‍ෙය් තිබෙන ගස්වල අතු බරවී තිබේ නම් ක්‍රමානුකූලව අමතර අතු සහ බර වී ඇති අතු ඉවත් කරන්න. විහාරස්ථානවල සිටුවා තිබෙන බෝ රුක්වල අතු දිගට විහිදී ඇත්නම් ඒ සඳහා ආධාරක තබා ශක්තිමත් කළ යුතුය.

ශාකය මුදුනේ සිට පත්‍ර වියළි අතු රිකිලි මැලවී යන අවස්ථා තිබේ. ගස වටා තිබෙන පස තද වූ විට ජල වහනය සහ වාතාශ්‍රය අවහිරවීමෙන් එසේ සිදු වනු ඇත. මෙය බොහෝ බෝධි වෘක්ෂවලට ඇතිවන රෝගී අවස්ථාවකි. එසේ වූ විට ශාකය වටා තද වී ඇති පස් බුරුල් කර අඟල් 6ක් පමණ ගැඹුරට එම පස් ඉවත් කර කොම්පෝස්ට් හා වැලි මිශ්‍රණයක් ශාකය වටා යෙදිය යුතුය.

ආරාම රෝපා වනරෝපා යෙජෙනා හේතු කාරකා

පපංච උදපානංච යෙ දදන්ති උපස්සයං

තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති

බෞද්ධ සාහිත්‍යයට අනුව ගස් වැල් රෝපණය කිරීම දිවා රාත්‍රි දෙකෙහිම පිං ලැබෙන ක්‍රියාවකි. බුදු දහම සහ පරිසරය අතර පවත්නේ ඉතා සමීප සබඳතාවයකි. එබැවින් ශාක රෝපණය සහ ඒවා ආරක්ෂා කර ගැනීම අප සතු මහඟු කාර්යයක් ලෙස සැලකිය යුතු වේ. එමඟින් අප වෙසෙන පරිසරයට ඉමහත් මෙහෙයක් වනු ඇත. ගස් වැල් රෝපණයට සහ ඒවා ආදරයෙන් රැක බලා ගැනීමට අපගේ දරුවන්ටද උපදෙස් දෙන්නේ නම් අප‍ගේ දේශය හරිත වර්ණයෙන් ආලෝකමත් වනු නොවනුමානය.

 

හෙන්රි රාජපක්ෂ
විශ්‍රාමික උද්භිද උද්‍යාන අධිකාරි

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...