දැනුම සමාජයක් සඳහා පාසල් පුස්තකාලය

කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලාධිපති උදිත අලහකෝන්

වර්තමානයේ අප ජීවත් වන්නේ දැනුම සමාජයක.රටක සමාජ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික මෙන් ම පුද්ගල සංවර්ධනය සඳහා දැනුම තීරණාත්මක සාධකයක් වී ඇත.දැනුමක් නොනිපදවන සමාජ එකතැන පල්වන සමාජ බවට පත්වේ.ශ්‍රී ලාංකීය සමාජය මේ මොහොතේ දී මුහුණ දී ඇති ප්‍රධානතම අර්බුදය වන්නේ දැනුම සමාජයකට සරිලන පරිදි දැනුම නිෂ්පාදනය නොවීම සහ යාවත්කාලීන නොවීමය.

දැනුම සමාජයක් ගොඩනැංවිය හැකි මිනිසුන් රටකට දායාද කරනුයේ එම රටේ අධ්‍යාපන පද්ධතිය මගිනි.රටක දියුණුවේ මුල්ගල නැතහොත් පදනම අධ්‍යාපන ක්‍රමයයි.එහෙයින් අධ්‍යාපන ක්‍රමය එක තැන පල්වීම යනුවෙන් අදහස් වන්නේ සමාජය ද එක තැන පල්වීමයි.අධ්‍යාපනික මධ්‍යස්ථාන යනු හුදෙක් විෂය කරුණු උගන්වන ස්ථානයක් පමණක් නොව චින්තනය හැඩ ගස්වන ස්ථානයක් ද වේ. මෙම කාර්යයේ දී පාසල් අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් හිමිවන බව රහසක් නොවේ.

පාසල් අධ්‍යාපනයේ දී නිශ්චිත විෂය මාලාවක් පදනම් කර ගනිමින් ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලියක් දියත් වේ.එසේ නම් ඉගෙනුම යනු කුමක් ද ?බෙන්ජමින් බැලූම් නම් අධ්‍යාපන විද්‍යාඥයා ඉගෙනුම යනු කුමක්දැයි පැහැදිලිව රූපසටහනකින් දක්වා ඇත.

මේ අනුව ගුරුවරයාගේ කාර්යභාරය වන්නේ ශිෂ්‍යයන් මෙම පියගැට පෙළෙහි ඉහළම ස්ථානයට ගෙන යාමට මඟ පෙන්වීමය.ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයෙහි මූලික ගැටලුව වන්නේ එය බොහෝවිට පළමු පියවර තුනෙන් ඉහළට ගමන් නොකිරීමය.එනම් එය ගුරු කේන්ද්‍රීය මතුපිට ඉගෙනුමක සිරව පවතී.

පාසල් පුස්තකාලයේ වැදගත්කම හා අවශ්‍යතාව මතුවනුයේ මෙහිදීය.මන්ද පුස්තකාලය ඵලදායීව භාවිත කිරීමෙන් තොරව ඉහළ පියවර තුන නැ‍ඟීම අපහසු බැවිනි.වෙනත් ආකාරයකට පවසන්නේ නම් ඉගෙනුම යනු තොරතුරු දැනුම බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.පාසලක තොරතුරු ගබඩා කර ඇති ප්‍රධාන ස්ථාන තුනක් තිබේ.එනම් පුස්තකාල ශ්‍රව්‍යදෘෂ්‍ය ඒකකය සහ පරිගණක මධ්‍යස්ථානයයි. වර්තමානයේ මෙම ස්ථාන තුනම එක් කර එය පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ලෙස හඳුන්වනු ලැබේ.මෙම නාමකරණයට හේතුව වන්නේ එය හුදු නිශ්ශබ්ද කියවීම් ස්ථානයක් නොව ඉගෙනීම සඳහා අවකාශයක් ද නිසාය.මේ අනුව පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ කාර්යභාරය පහත සඳහන් පරිදි වේ.

1. තොරතුරු කුසලතා ඉගැන්වීම

2. ඉගෙනුමේ දිගුවට (පැවරුම් ව්‍යාපෘති)සහාය වීම

3. සහයෝගීත්ව ඉගැන්වීම

4. කියවීම් ඉගැන්වීම

5. සාහිත්‍ය කලා රසාස්වාදය

තොරතුරු කුසලතාවලින් තොරව හුදෙක් විෂය කරුණු පමණක් ඉගැන්වීම හෝ ඉගෙනීම වර්තමානයේ සාර්ථක අධ්‍යාපනයක් ලෙස නොසැලකේ.විෂය කරුණු ඉගෙන ගැනීමට සැබවින් ම පාසලට යාම අවශ්‍ය නොවේ.උපකාරක පංතිවලින් ඊට වඩා හොඳින් විෂය කරුණු ලබා දෙයි.එමෙන්ම අන්තර්ජාලය හොඳින් පරිහරණය කළ හැකි සිසුවෙකුට පාසල් නොයා විෂය කරුණු සාර්ථකව ඉගෙන ගත හැකිය.මුද්‍රිත සහ විද්‍යුත් මූලාශ්‍ර යනාදි සියල්ලෙහි ඇත්තේ තොරතුරුය.සාර්ථක ඉගෙනුම යනු මෙම තොරතුරු දැනුම බවට පත් කිරීමය.

තොරතුරු කුසලතාවලින් තොරව එම කාර්ය ඉටු කිරීම කිසිසේත් ම කළ නොහැකිය.එහෙයින් වත්මන් පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛ කාර්යයක් විය යුත්තේ තොරතුරු කුසලතා ඉගැන්වීමය.විෂය කරුණු සමඟ තොරතුරු කුසලතා සංකලනය වූ විට බිදුමාගේ වර්ගීකරණයේ ඉහළම පියවර දක්වා යන සිසු පරපුරක් බිහි කිරීමට අපහසු නොවනු ඇත.සහජයෙන් මෙම කුසලතා සතු සිසුන් ඇත්නම් ඒ ඉතාම අල්ප ප්‍රමාණයකි.සාතිශය බහුතරයක් සිසුන්ට මෙම කුසලතා නොමැත.එහෙයින් ඒවා ඉගැන්විය යුතුය.එම තොරතුරු උගන්වන ස්ථානය වන්නේ පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයයි.

ඉගෙනුමේ දිගුව අවශ්‍ය වන්නේ සිසුවා පංති කාමරයේ දී ඉගෙන ගත් කරුණු තහවුරු කර ගැනීමටය.පැවරුම් සහ ව්‍යාපෘති මේ සඳහා බොහෝ විට භාවිත කෙරේ.එහෙත් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ පැවරුම් සහ ව්‍යාපෘති යනු මුළුමනින්ම ව්‍යාජයක් බව අධ්‍යාපන පද්ධතියේ සියල්ලෝම හොඳින් දනිති.මේ අතරින් අ.පො.ස.(උ.පෙළ)ව්‍යාපෘතිය සුවිශේෂය.එය තනිකර ම බොරුවකි. එයින් සිසුන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතාවල පරිහානියක් මිස දියුණුවක් සිදු නොවේ.

මේ අනුව බොරුවෙන් ජය ගැනීම පාසලේ දීම පුහුණු කෙරේ.එහෙත් පැවරුම් සහ ව්‍යාපෘති යනු තොරතුරු සමඟ කරනු ලබන ක්‍රියාවලියකි.මාතෘකාව සකස් කර ගැනීම, එය අනුමාතෘකාවලට බෙදා ගැනීම, ඊට අදාළ තොරතුරු මූලාශ්‍ර සොයා ගැනීම, එම මූලාශ්‍රවලින් අවශ්‍යම තොරතුරු සොයා ගැනීම, එසේ සොයා ගන්නා තොරතුරු සංවිධානය කිරීම හා ඇගයීම එම තොරතුරුවලින් දැනුමක් නිපදවීම එකී ක්‍රියාවලියයි.මෙම ක්‍රියාවලිය සාර්ථකව ඉටු කිරීමට සිසුන්ට තොරතුරු කුසලතා ඉගැන්විය යුතුය.එහෙයින් පැවරුම් සහ ව්‍යාපෘති සාර්ථක ඉගෙනුම් අත්දැකීමක් වීමට නම් පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ දායකත්වය ඊට අත්‍යවශ්‍ය වේ.

වත්මන් ශ්‍රී ලංකාව තුළ අපට දැකිය හැක්කේ සමතුලිතතාවයෙන් තොර පුද්ගල සමූහයකි.විශේෂයෙන් පාසල් සිසුන් තුළ මෙම ලක්ෂණය හොඳින් දක්නට පුළුවන.මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විෂය කරුණු වෙතට පමණක් අවධානය යොමු කිරීමය.මේ අනුව සිසුන්ගේ මොළයේ වර්ධනය වන්නේ එක් පාර්ශවයක් පමණි.එහි ප්‍රතිඵල දිනපතා ජනමාධ්‍ය මගින් විසුරුවා හරින ප්‍රවෘත්තිවලින් මැනවින් පැහැදිලි වේ.එහෙයින් සිසුන්ගේ සෞන්දර්යාත්මක වින්දනාත්මක අවශ්‍යතා ඉටු කරන වැඩ පිළිවෙළක් පාසලෙන් පැවතිය යුතුය.සෞන්දර්ය අවශ්‍ය වන්නේ සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්නා සිසුන්ට පමණක් නොවේ.

එය සෑම කෙනෙකුටම අවශ්‍යය.ඇතැම් විට සිසුන්මෙන්ම ගුරවරුන් වෙතින් සත්ත්ව චර්යාවන් මතු වන්නේ මෙකී වින්දනාත්මක අවශ්‍යතා ඉටු නොවීම නිසාය.මෙය පංතිකාමරයේ විෂයභාර ගුරුවරයාට ඉටු කළ හැකි කාර්යයක් නොවේ.එහෙයින් සිසුන්ගේ වින්දනාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික වගකීම ගත යුත්තේ පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයයි.සමබර පෞරුෂයක් සහිත සිසු පිරිසක් නිර්මාණය කිරීමට හැකි වන්නේ එවිටය.

පසුගිය වසර ගණනාව පුරා අධ්‍යාපන අමාත්‍යාංශය රටේ පාසල් පුස්තකාල සඳහා විශාල වශයෙන් පොත පත ලබා දී තිබේ.එහෙත් අවසානයේ පවසනුයේ සිසුන්ගේ කියවීම පහළ බැස ඇති බවය.පොත් ලබා දුන් පමණින් කියවීම දියුණු නොවේ. කියවීම දියුණු කර ගැනීම සඳහා ශාරීරික මෙන්ම මානසික අභ්‍යාස ද ශිල්පක්‍රම ද රැසක් තිබේ.එමෙන්ම වර්තමානයේ කියවීම යනු හුදෙක් මුද්‍රිත පෙළ කියවීම ම නොවේ.කියවීමේ මාධ්‍ය බහුල වී ඇත.ඒ අනුව රූප, සිතියම්, සංකේත, චලන රූප, අන්තර්ජාලය යනාදිය ද කියවිය යුතුය.මේවා සිසුනට ඉගැන්විය යුතුය. විෂය භාර ගුරුවරයාට මෙම කාර්ය ඉටු කිරීම අපහසුය.එහෙයින් මෙහි වගකීම පැවරෙනුයේ පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයටය.අද අප ජීවත් වන්නේ හුදු සාක්ෂරතාව පමණක් ප්‍රමාණවත් ලෝකයක නොවේ.

මේ අනුව පැහැදිලි වන්නේ පුස්තකාලය පාසලේ ඉගෙනුම් -ඉගැන්වීම් ක්‍රියාවලියේ අවියෝජනීය අංගයක් වී ඇති බවත් එයින් තොරව සිදු කරනු ලබන ඉගැන්විම හෝ ඉගෙනුම කිසිදා ඵලදායිතාවකින් යුක්ත නොවන බවත්ය.එහෙයින් මෙම කාර්ය ඉටු කිරීම සඳහා පාසල් පුස්තකාලවල ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු විය යුතුය.2000 දශකයේ මුල්භාගයේ දී මේ සඳහා මූලික අඩිතාලමක් දැමූව ද එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ප්‍රථම වරට ගුරු පුස්තකාලාධිපති නමින් තනතුරක් නිර්මාණය කෙරිණි.ඔවුන්ගේ කාර්යභාරය සාම්ප්‍රදායික පාසල් පුස්තකාලාධිපතිගේ කාර්යයන්ට වඩා වෙනස්ය.මේ සඳහා ගුරු සේවයේ අයකු පත් කරන ලද්දේ ඔහු හෝ ඇය ඉගැන්වීම සිදු කළ යුතු හෙයිනි.ඔවුන් ඉගැන්විය යුතුව තිබුණේ පාසලේ සාම්ප්‍රදායික විෂයයන් නොව තොරතුරු කුසලතාය.මේ අනුව ගුරු පුස්තකාලාධිපතින් මෙම තොරතුරු කුසලතා ඉගැන්වීමට අදාළ පාඩම් සටහන් සකස් කළ යුතුව ඇත. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි.මොවුන් ගුරුවරුන් නිසා නිශ්චිත පැය ගණනක් විෂයමාලාවේ විෂයය ඉගැන්වීමට මොවුන් යොදා ගැණිනි.

එමෙන්ම මොවුන් සඳහා විධිමත් උසස්වීම් පටිපාටියක් සකස් නොවීය.සාමාන්‍ය ගුරුවරයකුට අවශ්‍ය වන අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා හෝ අධ්‍යාපන උපාධිය මොවුන් සඳහා නොසැලසේ.ඒ අනුව මොවුනට ගුරු පුස්තකාලාධිපති පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති පාඨමාලා කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ කෙරිණි.එහෙත් මෙම සුදුසුකම් ඔවුන්ගේ උසස්වීම් සඳහා පිළිගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට (අමාත්‍යාංශ අනුමැතිය තිබිය දී පවා)තවමත් හැකි වී නැත.මේ නිසා මෙම ගුරු පුස්තකාලාධිපතීන් බහුතරයක් එම කාර්ය ඉටු නොකර පාසලේ විෂයමාලාවේ විෂයයන් ඉගැන්වීමේ නිරතව සිටිති.

ඉහත කී කාර්යයන් ඉටු කිරීමට නම් පාසල් පුස්තකාලයේ සුදුසුකම්ලත් කාර්යමණ්ඩලය සිටිය යුතුව ඇත.එය ගුරුපුස්තකාලාධිපති පාසල් පුස්තකාලාධිපති මෙන් ම සහාය කාර්යමණ්ඩලයකින් සමන්විත විය යුතුය.පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව කාර්යමණ්ඩලය අනුපාතිකව අඩු වැඩි විය හැකිය.

මෙම ක්‍රමවේදය මෙරට පාසල් පද්ධතියට හඳුන්වා දීම සඳහා 2007 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාතකට එක බැගින් ආදර්ශ පුස්තකාල ගොඩනැගිලි පවා ඉදි කරන ලදි.දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි ඉහළ මාලයේ පුස්තකාලය ද පහළ මාලයේ පරිගණක ඒකකය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය ද ස්ථාපනය කෙරිණි. එහෙත් අද වන විට මෙම පාසල් නවයෙන් සාර්ථකව ක්‍රියාත්මක වනුයේ රංගිරි දඹුලූ ජාතික පාසලේ පුස්තකාලය පමණි.එය එම පාසලේ වඩාත් කාර්ය බහුල ස්ථානය බවට පත්ව ඇත.

එම පුස්තකාලය කේන්ද්‍ර කර ගනිමින් ඇතැම් විට විෂයභාර ගුරුවරු ඉගැන්වීමේ යෙදෙති.සිසුහු විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙති. එය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට මාහැඟි නිදසුනකි.මෙම ආදර්ශ පුස්තකාල බහුතරයකට නියමිත කාර්යමණ්ඩලය පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැත.එහෙයින් ඇතැම් විදුහල්පතිවරු තමන්ගේ කාර්යාලය සඳහා මෙම ගොඩනැගිල්ල යොදා ගෙන සිටිති.

මේ අනුව පැහැදිලි වන්නේ පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සම්පත් භාවිතයෙන් සහ තොරතුරු කුසලතා ඉගෙනීමෙන් තොරව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යථාර්ථයක් බවට පත් කර ගත නොහැකි බවයි.සිසුන් ස්වාධීන ඉගෙනුම්කරුවන් බවට පත් වීමට නම් ඔවුන් තොරතුරු කුසලතාවලින් පිරිපුන් පිරිසක් වීම අත්‍යවශ්‍යය.මෙම කාර්ය සාර්ථක කර ගැනීමට පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමි.

1. ගුරු පුස්තකාලාධිපතින්ගේ උසස්වීම් පටිපාටියට අදාළ සුදුසුකම් පිළිගැනීම

2. සහායක කාර්යමණ්ඩලය සඳහා විධිමත් උසස්වීම් පටිපාටියක් සකස් කිරීම

3. ආදර්ශ පුස්තකාල සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය පත් කිරීම

4. පාසල් පුස්තකාල භාරව සිටින ගුරු/පාසල් පුස්තකාලයාධිපතීන් නොවන ගුරුවරුන්ට කෙටිකාලීන පුහුණුවක් ලබා දීම.

5. පාසල් පුස්තකාල ක්ෂේත්‍රයේ මෙම නව ප්‍රවණතා පිළිබඳ පළාත් කලාප පුස්තකාල සම්බන්ධීකාරකවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම.

21 වන සියවසේ අධ්‍යාපන රාමුව ප්‍රධාන අංග හතරක් වෙත අවධානය යොමු කර ඇත.එනම් විචාරාත්මක චින්තනය නිර්මාණශීලිත්වය, සන්නිවේදනය සහ සහයෝගිතාවයි.ඵලදායි පුස්තකාල භාවිතයකින් හා තොරතුරු කුසලතාවලින් තොරව මෙම රාමුව යථාර්ථයක් බවට පත් කර ගත නොහැකිය.එහෙයින් මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක පරිවර්තනයක් සඳහා පාසල් පුස්තකාලයේ විභවය වඩාත් සාර්ථකව භාවිත කිරීමට කාලය එළඹ තිබේ.

 

සටහන - කුෂලා සජීවනී
සහකාර අධ්‍යක්ෂ ජාතික පුස්තකාලය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...