පූජා වට්ටිය ලොකුවට තිබ්බට දෙවියෝ බලන්නේ නැහැ | දිනමිණ

පූජා වට්ටිය ලොකුවට තිබ්බට දෙවියෝ බලන්නේ නැහැ

කපුගම සරණතිස්ස නා හිමි

මිසදිටු වෙසින් එන සියලු දේ වැලඳ ගනිමින්,එය ජීවිතයේ සැපත යැයි සිතීමට වත්මන් සමාජය පෙලඹී ඇත.උප්පැන්නයට පමණක් බෞද්ධ වී,බුදු දහම හරිහැටි තේරුම් නොගෙන ජීවත් වීම නිසා මෙවන් මිථ්‍යා විශ්වාස පසුපස යාමට අපට සිදුව ඇත.මේ නිසා,අද වනවිට අපට අත්ව ඇති ඉරණම පිළිබඳ,රුහුණු මාගම් පත්තුවේ අධිකරණ සංඝ නායක,කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති,කපුගම සරණතිස්ස නා හිමි සමඟ කළ කතාබහකි මේ.

මිනිසුන්,තමන් අදහන ආගම නිසියාකාරව අවබෝධ කර නොගැනීම නිසා විවිධ ගැටලුවලට මුහුණ පා තිබෙනවා.ඔබ වහන්සේ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මිනිසකු නම්,ඔහුට ගුණය,ප්‍රඥාව කියන දෙක ම තියෙන්න ඕනෑ. ගිහියෙක් විදිහට ගුණය පමණක් නෙමෙයි,ආර්ථික අතින් ශක්තිමත් වෙන්නත් ඕනෑ. උදාහරණයක් විදිහට ගත්තහම,බුද්ධියෙන් තොර පුද්ගලයා අනුන්ගේ දේපොළ උදුරා ගන්න,ආත්මාර්ථකමෙන් කටයුතු කරන්න හදනවා.බුදු හාමුදුරුවෝ ධම්මචක්කපවත්වන සූත්‍රයේදී දේශනා කරන්නේ,අන්තවාදී නොවී,අටලෝ දහම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳයි.එහෙත්,අද ලෝකය පුරාම දකින්න තියෙන්නේ,ආගමික,දේශපාලන,ජාතිවාදී ආදී විවිධාකාරයේ අන්තවාදී ලක්ෂණ.අනෙක දේශපාලන අන්තවාදය.

සමහරු කියනවා අපි කැපුවත් නිල්.අපි කැපුවත් කොළ කියලා.බුදු හාමුදුරුවෝ මේ අන්තවාදයත් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරනවා.මහා කාලාම සූත්‍රයේදී බුදු හාමුදුරුවො දේශනා කරනවා,“භික්ෂුණි, මම කිව්වා කියූවත්,පොතේ තිබුණා කිව්වටවත්,හාමුදුරු කෙනෙක් කිව්වයි කිව්වටවත් පිළිගන්න එපා. විතර්ක බුද්ධියෙන් හිතලා පිළිගන්න “කියලා. ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් ,නැතිනම් වෙනත් මතිමතාන්තරවලින් ඔළුව අවුල් කර ගන්නේ නැතිව, තර්කානුකූලව හිතලා මේ ලෝකයේ සියල්ලක්ම ඔබ පිළිගන්න.එතැන තමයි සත්‍ය තිබෙන්නේ.බුදු හාමුදුරුවෝ මෙත්තානිසංශ සූත්‍ර යේදී පෙන්වා දී තියෙන්නෙත්,ආත්මාර්ථකාමීත්වයෙන් තොරව,පරාර්ථකාමී මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙන්න කියලයි.එවිට ආනිසංශ රාශියක් ඔබට ලබන්න පුළුවන්.

අද බොහෝ විද්‍යුත් නාළිකා,උදෑසනින් ම තම වැඩසටහන් ආරම්භ කරන්නේ සියලු සත්ත්වයන්ට මෙත් වඩලයි.ඒත්,දිවා කාලය වනවිට අපට ඒ නාළිකාවලින් ම අසන්න ලැබෙන්නේ,හොර මැරකම්,දූෂණ,වංචා,ඝාතන වගේ සිදුවීම්.මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

'සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා'කියන මේ වචන හරි ම මිහිරියි.එහි ආත්මාර්ථකාමීත්වයක් දකින්න නැහැ.මම වාගේ ම ඔබත් නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා කියන මේ වාක්‍යයේ ආනිසංශ බුදු හාමුදුරුවෝ දේශනා කර තිබෙනවා.මෛත්‍රී කරන කෙනාට ලැබෙන මහා සත්‍ය විදිහට උන් වහන්සේ දක්වන්නේ,හොඳින් නින්ද යාම,වෙලාවට නින්දෙන් ඇහැරීම,මනුෂ්‍යයන්ට ප්‍රිය වීම,අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම වැනි ප්‍රතිලාභ ලැබෙනවා කියන එකයි.පරාර්ථකාමී පුද්ගලයා,මගේ කියා තබා ගන්නේ නැතිව, ගන්නවා වගේ ම අනුන්ටත් දෙන්නෙක්.බොරු කියමින්,මිනිසුන් අමාරුවේ දාන්නේ නෑ.තමන්ගේ වාසිය ගැන පමණක් හිතන්නේ නෑ.රට,ජාතිය පිළිබඳ හිතන්නේ සුබවාදීවයි.එහෙත්,එසේ නොවන මිනිසුන් නිසා,විවිධ ප්‍රශ්න ඇති වෙනවා.රට සමාජය කැළඹෙන සිදුවීම් වෙනවා.උදේ පාන්දරින් ඇහෙන මේ සිතිවිලි හැමෝම සිතට නොගැනීම නිසයි,ගැටලුසහගත තත්ත්ව ඇති වෙන්නේ.

අද වනවිට මිනිසුන්,ජීවිතයේ ඇතිවන විවිධ ප්‍රශ්න හමුවේ ඉන් මිදීම සඳහා විවිධ ඇඳුරන් වෙත යනවා.යන්ත්‍ර මන්ත්‍ර කර ගන්නවා.මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

මේ විශ්වයේ අදෘශ්‍යමාන විදිහට යක්කු,ප්‍රේතයෝ හැම කෙනෙක්ම ඉන්නවා.එහෙම ඉන්නවා කියලා මිනිස්සු අමුතුවෙන් සුර බඳින්න ඕනෙ නෑ. අමුතුවෙන් නූල් දාන්න ඕනෙ නෑ.බුදු හාමුදුරුවෝ දේශනා කළේ,මේ හැම දේටම ‍හොඳ ම මන්ත්‍රය මෛත්‍රිය කියලයි.මෛත්‍රිය කරන තැනැත්තාගෙන් යක්කු, ප්‍රේතයො ආදී අදෘශ්‍යමාන බලවේග ඈත් වෙනවා.කරදර කරන්නේ නැහැ.අද වෙනකොට මිනිසුන් බෙල්ලේ කොපමණ සුර එල්ලගෙන ඉන්නවද?සුරයක් නෙමෙයි,සුර වැලක් දකින්න පුළුවන්.ඇයි මේ?මෛත්‍රිය නැති නිසයි. මෛත්‍රිය තිබේ නම් මේ විශ්වයම අපට ආශිර්වාද කරනවා.ඒ නිසා තමයි,'ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි'(ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි)කියන පාඨය,පොලිසියේ ආදර්ශ පාඨය වෙලා තියෙන්නේ .‍යහපත් ආකාරයට ජීවත් වන තැනැත්තා,ඒ ආනිසංශයෙන් ම ආරක්ෂා වෙනවා.අනුන්ට මෛත්‍රිය කරනවා නම්,මං වගේ ම අනුන් ද ජීවත් වේවා කියන හැඟීමෙන් කටයුතු කරනවා නම,ඒ ශක්තියම තමයි ඔබ ආරක්ෂා කරන්නේ.

දේවාලවලට ගොස් පූජා වට්ටි තබමින්,තමන්ගේ දුක්ගැනවිලි කීම,යම් යම් දේ ලබා දෙන ලෙස අයැදීමට අපේ ජනතාව පුරුදුවෙලා තියෙනවා.මෙය නිවැරැදිද?

බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංශ සූත්‍රයේදී දේශනා කළේ,දෙවිවරු අප ආරක්ෂා කරනවා කියලයි.දෙවිවරු කියන්නේ අප වාගේම බල සම්පන්න වුණ අය.දෙවියෝ කියන්නේ අපගේ සේවකයෝ,වැඩකාරයෝ නෙමෙයි කියන දෙය බුදු හිමියන් දේශනා කරනවා.ඒ අය මහා පින් කරලා උසස් තත්ත්වයට පත්වුණු පිරිසක්.ඒ අය හැම විටෙකම බලාපොරොත්තු වෙන්නේ,යහපත් සිතිවිලි ඇති මිනිසුන්.එවැනි මිනිසුන් දෙවියෝ හැම විටෙකම ආරක්ෂා කරනවා.ලොකුවට පූජා වට්ටියක් දීලා ,දෙවියෝ පූජා වට්ටිය නිසා අප දිහා බලයි කියලා කවුරු හරි හිතනවා නම්,ඒක මහා මංමුලා වීමක්.දේවාලයකට ගිහින් පූජා වට්ටියක් තියන්න කලින් අඩුම ගණනේ පන්සිල්වත් සමාදන් වෙලා සිල්වතෙක්,ගුණවතෙක් වෙන්න ඕනෑ.තාවකාලික ගුණවතෙක් බවට නෙමෙයි,මගේ මේ ජීවිතය අන් ජනතාවට හිතසුව පිණිසම ය කියන මානුෂික හැඟීම අප තුළ ඇති වුණොත් තමයි දෙවියෝ අපි දිහා බලන්නේ.මේ විශ්වයේ සැබෑ දෙවියෝ ඉන්නවා.එය සැබෑවක්.සත්‍යයක්.බුදු හැමුදුරුවෝ මැදියම් කිස (රෑ දොළහෙන් පසුව) වෙන් කළේ දෙවියන්ට බණ කියන්න.මිනිසුන් පමණක් නෙමෙයි, දෙවියනුත් බණ අහන්න කැමැතියි.අපි සුචරිතවත්ව වැඩ කළොත්,දෙවියො විතරක් නෙමෙයි,සොබාදහම පවා අප ආරක්ෂා කරනවා.පරාර්ථචර්යාවේ යෙදෙ‍් නම්,ඒ පුද්ගලයා අවි ආයුධවලින්,ගින්දරෙන්,සොබාදහමේ විපත්වලින් ආරක්ෂා වෙනවා.

මිනිසුන් පැහැපත් වෙන්න,ලස්සන වෙන්න විවිධ කෘත්‍රිම ආලේපන කෙරෙහි ආශක්ත බවක් දක්වනවා.බුදු දහම තුළ මීට පිළිතුරු නැද්ද?

අපි යහපත් චිත්ත තරංග මෙහෙයවනකොට,අපේ සිතිවිලි හරි ම කාරුණිකයි.හරි ම දයාබරයි.එහෙම වුණහම අපේ ශරීරයේ ලේ පිරිසුදු වෙනවා.මෛත්‍රී සහගත සිතිවිලිවලින් යුක්ත කෙනෙක් නම්,මුහුණ හරිම ප්‍රියජනකයි.ලෙඩ රෝග අඩු වෙනවා.ආයුෂ වැඩි වෙනවා.සමාජයේ පිළිගත් මනුෂ්‍යයෙක් බවට පත් වෙනවා. අද අපි මුහුණ ලස්සන කරන්න මොන තරම් දේ භාවිත කරනවද?වියපත් බව සඟවන්න මොන තරම් දේ භාවිත කරනවද?මේ නිසා බුදු හිමියන් මෙත්තානිසංශ සූත්‍රයේදී දක්වා සිටින්නේ,ඔබ මෛත්‍රී සිතින් කටයුතු කරන්නේ නම්,ඔබගේ වර්ණය පැහැපත් වෙනවා.ලෙඩ රෝග අඩු වෙනවා.ආයුෂ වැඩි වෙනවා කියලයි. මෙය අද වනවිට වෛද්‍ය විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙන දෙයක්.

වර්තමානයේ වෙසෙන බොහෝ දෙනා අධි රුධිර පීඩනය,දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි ලෙඩ බොහොමයකින් පෙළෙනවා.එහෙම වෙන්න හේතුව මොකක්ද?

එදා බුදු හිමියන් ක්‍රි.පූ.හයවැනි සියවසේදී දේශනා කළ සියලු ධර්ම දේශනා නවීන විද්‍යාව මඟින් තහවුරු වෙලා තියෙනවා.අධි රුධිර පීඩනය නම්.මාළු ටැංකියක් දිහා බලන් ඉන්න,අඬන්න,වැළපෙන්න එපා වැනි වෛද්‍ය උපදෙස් ලැබෙනවා. එසේ සුවය ලැබෙන්නේ,අපේ චිත්ත තරංගවල තියෙන ශක්තිය නිසයි.මේ මිනිස් ලෝකයේ කරුණාභරිත මිනිසුන් දුක් විඳින්නේ නෑ.මැරුණු ගමන් බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනවා.ඒ නිසා,සිත පිරිසුදුව තියා ගත්තොත්,කරුණාව,දයාව,මෛත්‍රී සිතිවිලිවලින් යුක්ත අයෙක් වුණොත්,නිරෝගී පුද්ගලයෙක් විදිහට ඔබට ජීවත් වෙන්න පුළුවන් වේවි.

අද වනවිට බොහෝ අය,සෞභාග්‍ය උදෙසා වාලම්පුරි තබා ගැනීමට ක්‍රියා කරනවා.සමහර මාධ්‍ය මඟින් වාලම්පුරි ලබා දෙනවා.මෙවැන්නක් ළඟ තබා ගැනීම මඟින්,මිනිසුන්ගේ ජීවිතවලට සෞභාග්‍ය ළංකර ගන්න පුළුවන්ද?

මේ තත්ත්වය වර්තමානයේ දකින්න පුළුවන් තවත් හොඳ මිථ්‍යාවක්.කිසි ම වටිනාකමක් නැති සතෙකුගේ ඇටසැකිල්ලකට දුම් අල්ලලා,පුද පූජා කිරීමෙන් පිහිටක් ඇති වෙන්නේ කොහොමද?අතීතයේ රජවරු,සංඥා ලබා දුන්නේ ඝණ්ඨාරය,හේවිසිය,හක් ගෙඩිය වගේ ඒවා භාවිත කරලයි.යුද්ධයක් ජය ගත්තහම,හක් පිඹිනවා.අපි ඒකට කියන්නේ,ජය ශංඛය කියලයි.ඒ වචනය අරගෙන,කිසි ම සීලයක්,ගුණයක් නැති සතකුගේ ඇට සැකිල්ලට වන්දනා කරන්න තරම් මිථ්‍යාවක් පතුරවලා තියෙනවා.බුදු හාමුදුරුවෝ මහා පරිනිබ්බාන සූත්‍රයේදී, බුදු,පසේ බුදු,මහ රහත් උතුමන්ගේ ධාතුන් වහන්සේලාට පමණයි නිවෙසක තබාගෙන වඳින්න කියලා තියෙන්නේ.අපේ අම්මා,තාත්තා,පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා අපි කවදාකවත් භෂ්මාවශේෂ ගෙදර ගෙනත් තියා ගන්නේ නැහැ.

කරදරයක්,විපතක් වුණහම ආරූඪයෙන් ශාස්ත්‍ර කියන තැනකට යාම අද වනවිට උගත්, නූගත් හැම‍දෙනොගේම ක්‍රියාවක් බවට පත් වෙලා තියෙනවා.මේ තත්ත්වය ඔබ වහන්සේ විග්‍රහ කරන්නේ කොහොමද?

ඒ තැන්වල ඉන්න කපු මහත්වරු,තමන්ගේ ඇඟට දෙවියන් වැඩිය බවක් පෙන්වමින් ආරූඪ වු බව කියමින් මේ කාර්යයේ නිරත වෙනවා.මිනිසුන්ගේ ඇඟට දෙවියන් ඇතුළු වෙන්නේ නැහැ.මේ විදිහට ඇඟට එන්නේ මළ ප්‍රේතයෝ. සියයට පණහක් මළ ප්‍රේතයෝ.සියයට පණහක් මානසික රෝග.කතරගම ඇවිදින් බොහෝ දෙනා මේ විදිහට හැසිරෙද්දී,කතරගම දෙවියෝ වැහුණා කියා හිතනවා. එහෙම එනවා නම් මුලින්ම එන්න ඕනෙ කපු මහත්වරුන්ගේ ඇඟටයි.දෙවියකු ඇඟට එනවා නම්,පුටුවක වාඩි වෙලා ඉතා ම ගරුසරු ඇතිව ශාස්ත්‍ර කිව යුතුයි.

අද සිදු වන්නේ බිම ‍පස් කකා,බෙරයට අනුව උඩ පැනීමයි,ඔළුව කරකැවීමයි. මේ එක එක ආත්මවල ප්‍රේතයෝ එන්නේ.සමහර අම්මලා,තාත්තලා ආශාවෙන් මිය ගිහින්,දුබල මානසිකත්වයට දරුවන්ගේ ඇඟට එනවා.ඒ අය වැඩිය දොඩවන්නේ බොරු.මේ බොරු ශාස්ත්‍ර අහගෙන ඇවිත්,අල්ලපු ගෙදර මිනිහා කොඩිවින කළා කියලා ඒ අය එක්ක රණ්ඩු වෙනවා.මරා ගන්නවා.අද වනවිට බුදු දහමට මුවා වෙලා මිථ්‍යා මත වපුරනවා.මේ මිථ්‍යාවලින් අපි ඈත් ‍විය යුතුයි.

නැකත නිසා අපට විවිධ අකටයුතුකම් වන බවට මේ වනවිට චෝදනා නැගෙනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ දරන ආකල්පය මොකක්ද?

මේ කාලෙ වෙසෙන මිනිසුන් නැකතට තැන දෙන්න ගිහින් තමයි මුලාවේ වැටෙන්නේ.අද වනවිට කොළඹ පැතිවල සමහර නිවෙස්වල මිනිය ගෙට ගන්නෙත් නැකතටයි.ජීවත් වෙන අය මිනියෙනුත් ජීවත් වෙන්න හදනවා.මේ බුදු බණද? නැකැත් නිසා අපේ මිනිසුන් අමාරුවේ වැටිලා ඉන්නවා.බටහිර රටවල මිනිසුන්ට කිසි ම වැඩකට නැකතක් නෑනේ.

අපේ රටේ අය උදේට ගෙදරින් පිට වෙන්නේ නැකැතට.රාහු කාලය,නැකත නිසා අපේ රටේ මිනිසුන්ට වැඩ කරන්න තියෙන කාලේ අපතේ යනවා.බුදු හාමුදුරුවෝ මේවා ප්‍රතික්ෂේප කළා.ඒත් අපේ ගෙවල්වලට නැකැත්කාරයෝ ගෙන්නගෙන,තියෙන ක්‍රමය හොඳ නෑ කිව්වහම ගෙවල් දොරවල් කඩාගෙන විනාශ කර ගන්නවා.නැකත නාමෙන් මිනිසුන් නොමඟ යවලා,මුදල් කඩා ගන්න එක තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ.මං නැකැත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ.එත්,අද නැකැත් සියයට අනූ නවයක් ම තියෙන්නේ,කාලය අපතේ යවන්නයි.මෙයින් වෙන්නේ මුලා වීමයි.මෙහෙම වෙන්න හේතුව අපි බුදු දහමෙන් ඈත් වීමයි.උප්පැන්නයට පමණක් බෞද්ධයන් වීමයි.

 

සාකච්ඡා කළේ
ඉරෝෂිණී දීපිකා
ඡායාරූපය- උපාලි ජයරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...