මහා අර්බුදයක පෙර නිමිති පෙන්වන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ වැඩ කටයුතු නිමාවක් දකිනවා වෙනුවට දිනෙන් දිනම අර්බුදකාරී තත්ත්වයක් කරා ගමන් කරන සැටියකුයි මේ වනවිට දැකිය හැකි වන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට යහපාලන ආණ්ඩුව අතගසා මේ වනවිට අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණද එයට සම්බන්ධ පාර්ශ්ව ආණ්ඩ­ු ක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම ගැන කථා කරනවා සහ ඒ තුළ අනතර්ගත කළයුතු කරුණු ගැන රණ්ඩු කර ගන්නවාට අමතරව මේ දක්වා ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කර ඇති කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් නම් දැකිය හැකි නොවේ.

මෙම අර්බුදය ඇතිවීමට බලපා තිබෙන හේතු මොනවාද? කරුණු විමසීමේදී පෙනී යන්නේ එක් හේතුවක් නොව හේතු රාශියක්ම ඒ කෙරෙහි බලපා තිබෙන බවය. මෙයින් එකක් වන්නේ 1978 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මතු වී ඇති අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් සංශෝධනය කරනවාද නැතිනම් පවතින ව්‍යවස්ථාව මුළුමණින්ම අහෝසි කරමින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්පාදනය කොට ස්ථාපිත කරනවාද යන කරුණ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදනයට සහභාගී වී සිටින පාර්ශ්ව අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීමය.

දෙවැන්න වන්නේ අළුතින් ආණ්ඩු ක්‍රමයක් හදන්න යනවා නම් එය කුමන ආණ්ඩු ක්‍රම ආකෘතියක් පදනම් කරගෙන හදනවාද යන කරුණ සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදනයට සහභාගී වී ඇති පාර්ශ්ව අතර එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීමය. තුන්වැන්න වනුයේ රාජ්‍යයේ ආකෘතිමය ස්වරූපය සම්බන්ධයෙන් එනම් ඒකීය ආණ්ඩුවක් සහිත රාජ්‍යයක්ද නැතිනම් පෙඩරල් ආණ්ඩුවක් සහිත රාජ්‍යයක්ද යන්න සම්බන්ධයෙන් එකඟතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වීමය.

සිව්වැන්න වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ප්‍රමාණය ඉක්මවා මැදිහත් වීමට සිවිල් සමාජයට ඉඩදීම හේතුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් මෙලෝ හසරක දැනුමක් නැති සමහර පුද්ගලයින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව අති පණ්ඩිත අදහස් උදහස් ඉදිරිපත් කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවුල් වියවුල් කිරීමය.

ඉහත දැක්වූ කරුණු අතුරින් වඩාත් වැදගත් වන්නේ පළමු කරුණය. මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී සලකා බැලිය යුතු මූලික දෙය වන්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගුනේ ඇයිද යන්නය. මේ සම්බන්ධයෙන් බලපෑ ප්‍රධානම සහ වැදගත්ම කරුණ වූයේ 1978 ව්‍යවස්ථාව මඟින් ගොඩනගා තිබෙන ආඥාදායක පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදවාගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරමින් ජනතාවගේ නිදහස ඇතුළු අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමය.

මෙයට අමතරව රටේ ආර්ථික ක්‍රමය හා දේශපාලන ක්‍රමය ස්ථාවර පදනමක් මත ඉදිරියට මෙහෙයවීම සඳහා ජාතික මතවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා මග පෙන්වන ව්‍යවස්ථානුකූල දර්ශනයක් ගොඩනගා ගැනීම, ජාතික ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට අවශ්‍ය ජාතික සංහිඳියාව වර්ධනය කර ගනිමින් එක් රටක් - එක් ජාතියක් යන සිද්ධාන්තය යටතේ රාජ්‍ය ගොඩනගා ගැනීමට හැකිවන අයුරින් පවතින රාජ්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සහ පවතින මැතිවරණ ක්‍රමය කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම යනාදිය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය පැන නැගීම සම්බන්ධයෙන් බලපෑ අනෙක් හේතු සාධක විය.

මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ ඉහත දැක්වූ අවශ්‍යතා පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් කළ හැකිද නැතිනම් ඒ සඳහා අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුද යන්නය. මේ සම්බන්ධයෙන් මේ දක්වාම එක් පොදු මතයක් ගොඩනැගී තිබෙන බවත් දැකිය නොහැක. දැකිය හැක්කේ එකිනෙකට වෙනස් පරස්පර අදහස් ය. ව්‍යවස්ථා සම්පාදනයට සම්බන්ධ එක් පාර්ශ්වයක් එනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ පාර්ශ්වය දරන අදහස වන්නේ අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අනවශ්‍ය බවත් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මඟින් ඉහත දැක්වූ අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියා කළ යුතු බවත්ය. වෙනකක් තබා කරනු ලබන සංශෝධන පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කළ යුතු සීමාව ඉක්මවා නොයායුතු බව මෙම කණ්ඩායමේ අදහස වේ. වෙනත් ආකාරයකට කියනවා නම් ජනමත විචාරණයකට යා යුතු අකාරයේ සංශෝධනයකට පවා ඔවුන් එකඟ නොවන බවයි එයින් ප්‍රකාශ වන්නේ. මෙහිදී ප්‍රශ්න දෙකක් මතු වේ. මෙයින් එකක් වන්නේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ මූලික අවශ්‍යතාවය මෙම පාර්ශ්වය තේරුම් ගෙන නොමැත්තේ ඇයිද යන්නය.

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ අවශ්‍යතාවය පැන නැඟුනේ පවතින ව්‍යවස්ථාව යටතේ ගොඩනැගී තිබෙන පීඩාකාරී ආඥාදායක පාලනයෙන් රට සහ ජනතාව මුදා ගැනීමට නම් පවතින ජනාධිපති විධායක පාලන ක්‍රමය සංශෝධනය කිරීමෙන් එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය එම කණ්ඩායම අමතක කර තිබෙන බවයි පෙනී යන්නේ.

එසේනම් අනියම් වශයෙන් වූවද මෙම කණ්ඩායම ඉල්ලා සිටින්නේ පවතින ආඥාදායක ජනාධිපති විධායක ක්‍රමය එයාකාරයෙන්ම තව දුරටත් පවත්ව ගෙන යාමටය. මෙම ඉල්ලීම සැබැවින්ම ජනතාවට මෙන්ම රටටද එරෙහිව කරන සාහසික අපරාධයක් මෙන්ම බරපතළ ද්‍රෝහි කමක් බව අනිවාර්යයෙන්ම කිව යුතු වේ. දෙවන ප්‍රශ්නය වන්නේ 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට දුන් ජනවරම ඔවුන් අමතක කිරීමට වෙර දරන්නේ ඇයිද යන්නය.

එම ජනවරමෙන් ජනතාව එක හෙළාම ඉල්ලා සිටියේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගොඩනැගී තිබෙන පීඩාකාරී ඒකාධිපති ආඥාදායක පාලන ක්‍රමයෙන් රට සහ ජනතාව මුදා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් පදනම් කරගත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස ය. අද නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට එරෙහිව නැගී සිටින අය එයට විරුද්ධ වී පයින් ගසන්නේ එම ජන මතයටය.

වෙනත් ආකාරයකට කියනවා නම් රටේ බහුතර ජන මතයට ය. මෙයින් යළිත් වරක් පිළිබිඹු වන්නේ වෙනත් දෙයක් නොව ප්‍රජාතන්ද්‍රවාදී පාලන ක්‍රමයක් ගොඩනගා ජනතාව පීඩාකාරී ආඥාදායක රාජාණ්ඩු පාලන ක්‍රමයකින් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයින් තුළ තිබෙන අකමැත්ත ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් පවතින ප්‍රධානම බාධකය වන්නේ මෙයයි. එනම් ඒකාධිපතිවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂව හා විපක්‍ෂව ක්‍රියාත්මක වෙමින් පවතින අරගලයයි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන අර්බුදයට බලපා තිබෙන දෙවන හේතු සාධකය වන්නේ නව ව්‍යවස්ථාව යටතේ ගොඩ නැගීමට අදහස් කරන නව ආණ්ඩු ක්‍රම යාන්ත්‍රණයේ ආකෘතිමය ස්වරූපය කෙබඳු එකක් විය යුතුද යන්න සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදකයින් අතර පැනනැඟී තිබෙන මතවාදී අර්බුදයයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම සඳහා වර්තමාන ලෝකය තුළ භාවිතයට ගැණෙන ආණ්ඩු ක්‍රම වර්ග තුනක් තිබේ. මෙයින් එකක් වන්නේ කැබිනට් නැතිනම් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයයි. මෙම ආණ්ඩු ක්‍රමය උත්පත්තිය ලබන්නේ බ්‍රිතාන්‍ය තුළ ය. මෙම ආණ්ඩු ක්‍රමයේ විශේෂ ලක්‍ෂණ වන්නේ ව්‍යවස්ථාදායකය සෘජුවම ජනතාව විසින් තෝරා පත්කර ගැනීම, විධායකය වන අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකය තුළින් තෝරා පත්කර ගැනීම, විධායකය ව්‍යවස්ථාදායකයට සාමූහිකව වගකීමට බැඳී සිටීම, වගකීම කඩකරන විට විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම මඟින් විධායකය තනතුරුවලින් පහ කිරීමට ව්‍යවස්ථාදායකයට බලය තිබීම සහ රාජ්‍යයේ නායකයා හා ආණ්ඩුවේ නායකයා යන තනතුරු දෙක එකිනෙකින් වෙන් කිරීම සහ විධායක හා ව්‍යවස්ථාදායක කාර්යයන් බලතල බෙදීමේ සංකල්පය මත බෙදා නොදැක්වීම යනාදියයි.

දෙවන ආණ්ඩු ක්‍රමය වන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයයි. මෙම ආණ්ඩුකමය ලෝකයට හඳුන්වා දුන්නේ ඇමරිකාව විසින් 1787 වර්ෂයේදී ක්‍රියාවට නැංවූ පෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. මෙම ආණ්ඩු ක්‍රමයේ විශේෂ ලක්‍ෂණ වනුයේ විධායකය වූ ජනාධිපතිවරයා සෘජුවම ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, ව්‍යවස්ථාදයකය ජනතා ඡන්දයෙන් වෙනම මැතිවරණයකදී තෝරා පත්කර ගැනීම, විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින දුරස්ථ සම්බන්ධතාවය, ආණ්ඩුවේ බලතල විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර පැහැදිලිව බෙදා දැක්වීම සහ විධායකය තම බලතල ක්‍රියාවට නැංවීම සම්න්ධයෙන් ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී නොසිටීම යනාදියයි.

තුන්වන ආණ්ඩු ක්‍රමය වන්නේ 1958 වර්ෂයේදී ප්‍රංශයේ ඩිගෝල් සෙනෙවියා විසින් පස්වන සමූහාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් මිශ්‍ර විධායක ක්‍රමයයි. මෙම ආණ්ඩු ක්‍රමය ගොඩ නගා තිබෙන්නේ ඉහත දැක්වූ කැබිනට් සහ ජනාධිපති ආණ්ඩු ක්‍රම වර්ග දෙක එකට සම්මිශ්‍රණය කරමින්ය. මේ අනුව මෙම ආණ්ඩු ක්‍රමය තුළ එම ආණ්ඩුක්‍රම දෙකේම මූලික ලක්‍ෂණ අන්තර් ගතවන ආකාරය දැකිය හැක. එසේ වූවද විධායක බලතල ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් බලවත් වන්නේ ජනාධිපතිවරයා මිස අගමැතිවරයා නොවේ. එමනිසයි මෙම ආණ්ඩුක්‍රමය සාමාන්‍ය ව්‍යවහාරයේදී ජනාධිපති ආණ්ඩු ක්‍රමය යන නාමයෙන්ම හඳුන්වන්නේ.

දැන් පවතින ප්‍රශ්නය වන්නේ නව ව්‍යවස්ථාව යටතේ නව ආණ්ඩුක්‍රමයක් ගොඩ නගනවා නම් ව්‍යවස්ථා සම්පාදකයින් ඉදිරියේ ඇති විකල්පය කුමක්ද යන්නය. මේ සම්බන්ධයෙන් ඇති එකම විකල්පය වන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමයයි. හේතුව දැන් පවතින්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් වීමත් වෙනස් කළ යුත්තේ එම ආණ්ඩු ක්‍රමය වීමත් ය.

නමුත් මෙම කටුක සත්‍යය රටට සහ ජනතාවට කෙළින්ම ප්‍රකාශ කිරීමට නව ව්‍යවස්ථාව සම්පාදනයට පක්‍ෂව අදහස් දක්වන අය උනන්දුවක් නොදක්වන්නේ යන්න මෙහිදී මතුවන තවත් බරපතළ ප්‍රශ්නයක් වේ. ව්‍යවස්ථා සම්පාදනය අර්බුදයක් කරා ගමන් කිරීම කෙරෙහි බලපා තිබෙන්නේ අනෙක් සෑම කරුණකටම වඩා මෙම කරුණ ය. කෙසේ වුවද ලැබෙන අනියම් තොරතුරුවලින් හැඟී යන්නේ අගමැති ප්‍රධාන විධායකයක් සහිත ආණ්ඩු ක්‍රම යාන්ත්‍රණයක් පිහිටුවීම කෙරෙහි ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අවධානය යොමු වී ඇති බවය.

නමුත් එම ආණ්ඩුක්‍රමය තුළ අගමැතිවරයා පත්කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද අර්බුදයක් මතු වී තිබන ආකාරයකුයි ප්‍රකාශිත තොරතුරුවලින් පෙනී යන්නේ. හේතුව අගමැතිවරයා පත්කළ යුතු අකාරය පිළිබඳව පාර්ශ්වකරුවන් අතර එකඟතාවක් දැකිය නොහැකි වීමය. කැබිනට් ආණ්ඩු ක්‍රමයක අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය මඟින් සපයා දී ඇති මූලධර්ම පිළිපදින්නේ නැතිව වෙනත් විකාර ක්‍රම සොයා යාමෙන් සිදුවිය හැක්කේ 1972 ව්‍යවස්ථාව යටතේ රාජ්‍යයේ නායකයා ඔහුට පහළ නිලයක් වන ආණ්ඩුවේ නායකයා වන අගමැති විසින් පත් කිරීම වැනි විහිළුවක් රටට යළි සැපයීම ය. මෙවැනි විහිළුවලින් සිදු වන්නේ ආණ්ඩුක්‍රමයද විහිළුවට භාජනය වීම මෙන්ම අර්බුදයට ලක්වීම බව ව්‍යවස්ථා සම්පාදන ප්‍රාඥයින් තේරුම් ගත යුතුය.

අවසාන වශයෙන් කිව යුත්තේ ව්‍යවස්ථා සම්පාදකයින් ආගම සහ එ්කීය පදය සමඟ පටලැවී තිබෙන ආකාරයයි. මෙයට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළාක් මෙන් මෙහිදී ද කිව යුත්තේ මේ දෙකෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ය. නමුත් ඒ දෙක මත අනවශ්‍ය වාද විවාද පවත්වමින්, රණ්ඩු කරමින් ඒ සඳහා කාලය නාස්ති කරමින් පවතින ආඥාදායක පාලන ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යාමට ආධාර උපකාර කිරීම සඳහා දේශපාලනඥයින්ට මෙන්ම සිවිල් සමාජ බක පණ්ඩිතයින්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...