ඩෙංගු බී.ටී.අයි සහ අපි

ඩෙංගු යනු අද වන විට මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ඇති වචනයකි‍‍. අත දරුවා පවා මේ වචනය දන්නා බවට සැකයක් නැත. එහෙත් ඒ තරමටම ප්‍රචලිත මේ වචනයේ බරපතළකම රටේ ජනතාවටවත්, සෞඛ්‍ය බලධාරීන්ටවත්, වෙනත් අදාළ නිලධාරින්ටවත් වැටහෙන්නේද යන්න සැක සහිතය. එහෙම වැටහී තිබෙන්නේ නම් පුංචි මදුරුවකුට මේ පුංචි රට තුළ මෙතරම් ව්‍යසනයක් කළ හැකි ද?

ගත වූ මාස පහ තුළ ජීවිත 150 ක් පමණ බිල්ලට ගත් ඩෙංගු මදුරුවා 60500 කට වැඩි පිරිසකගේ ශරීරය තුළට ඩෙංගු උණ වෛරසය ඇතුළත් කර ඇත. කාලයෙන් කාලයට ඩෙංගු ව්‍යවසනයට එක එක උත්තර සොයන්නට අපගේ බලධාරීන් කටයුතු නොකරනවාම නොවේ. මේ ව්‍යසනය මර්දනය කරන්නට ඔවුන් නොයෙක් පිළියම් යොදයි.

එවැනි පිළියමක් යෙදූ එක් අවස්ථාවක් කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව මෙරටට ගෙන්වා අත්හදා බැලීමට ගත් තීරණයයි. වසර 2013 දී රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් ඩෙංගු කීටයන් මර්දනය කිරීම සඳහා බී.ටී.අයි. බැක්ටීරියාව ලීටර් 10,000 ක් කියුබාවෙන් මෙරටට ගෙන්වනු ලැබුණි. නියමු ව්‍යපෘතියක් ලෙස මෙරට අත්හදා බැලීමට පසුගිය කාලයේදි එම බැක්ටීරියාව යොදා ගෙන තිබේ. බී.ටී.අයි. බැක්ටීරියාවේ සාර්ථක අසාර්ථකභාවය සම්බන්ධයෙන් කිසිදු හැලහොල්මනක් නොමැති වීම නිසාම එහි තත්ත්වය කුමක්ද යන්න සොයා බැලීමට ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සමඟ කතාබහ කරන්නට අපි උත්සුක වීමු. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද මේ ලිපිය ලියැවී ඇත.

කියුබාවේ ආදර්ශය

මදුරු මර්දනය කිරීමේදි ලෝකයේ රටවල් අතරින් කියුබාව ඉදිරියෙන් සිටියි. කියුබාවට මදුරු වසංගතය වසර 1980 කාලයේදි බරපතල තර්ජනයක් බවට පත්ව තිබිණි. කියුබානු රට පුරා දරුණු ලෙස පැතිර පැවැති මේ ව්‍යසනය මර්දනය කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස 1982 වසරේදි කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව නිෂ්පාදනය කෙරිණි.

බැක්ටීරියාව නිසි ලෙස භාවිතා කරමින් එරට මදුරු වසංගතයට තිත තැබීමට කියුබානුවන්ට හැකි විය. කියුබානු කාලගුණික හා දේශගුණික තත්ත්වය මෙරටට සමාන තත්ත්වයක පවතියි. එවැනි රටක පරිසරයට යෙදීමට නිෂ්පාදනය කළ බී.ටී.අයි. බැක්ටීරියාව අපේ රටේ පරිසරයට අහිතකර නොවේ. ඒ නිසාම බලධාරිහු පසුගිය කාලයේ බැක්ටීරියාව මෙරටට ගෙන්වීමට කටයුතු කළහ. මේ බැක්ටීරියාවෙන් ලීටර් 6000 ක් ව්‍යාපෘතිය සඳහා භාවිතා කර තිබේ. ඉතිරිය ඩෙංගු වැඩිපුර වාර්තා වූ ප්‍රදේශවල මදුරු කීට මර්දනය සඳහා යෙදීමට ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන පියවර ගෙන තිබේ.

නියමු ව්‍යාපෘතියෙහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ ප්‍රතිචාරයක් නොපැවතිය ද මේ බැක්ටීරියාව භාවිතා කිරීමෙන් මදුරු ඝනත්වය අඩු කර ගැනීමට හැකි වූ බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ප්‍රකාශ කරයි. නමුත් බැක්ටීරියාව ගෙන්වීම, අදාළ ස්ථානවලට යන්ත්‍ර භාවිතයෙන් බැක්ටීරියාව බිඳිති වශයෙන් යෙදීම අධික මිලක් වියදම් වන කාර්යක් බව සෞඛ්‍ය බලධාරින්ගේ අදහස වේ. මෙවැනි කෘත්‍රීම ක්‍රම භාවිතා කරනවාට වඩා තමා අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ස්ථාන ලෙස පවත්වා ගෙන යාමට ප්‍රජාව උත්සුක විය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

එම අදහසෙහි වරදක් නොමැත. පන්සල්, පල්ලි, කෝවිල්, පාසල් සහ වෙනත් පොදු ස්ථානයන් මුල් කර ගනිමින් මදුරු මර්දනය කර ගත යුත්තේ මෙවැනි දේ කරමින් කියා කොතරම් දැනුවත් කළ ද මේ රටේ වැසියන් එයට කන් දෙන බවක් පෙනෙන්නට නොමැත. මාධ්‍ය මඟින් කරන දැනුවත් කිරීම් ද මෙතෙකැයි කිව නොහැක. මේ රටේ මිනිසුන් ඒවාට කන් දෙන්නේ නම් මේ වන විට ඩෙංගු මදුරුවා මෙරටින් තුරන් කළ හැකි වන්නට තිබුණි.

රටේ ජනතාව මදුරු මර්දනයට සහාය නොදෙනවා යැයි පවසමින් අදාළ බලධාරීන්ට වගකීම පැහැර හැරීමට නොහැක. මේ ව්‍යසනයට විසඳුමක් සොයා ගත යුතුය. ඒ සඳහා හමු වූ එක් විසඳුමක් වනුයේ බී.ටී.අයි. බැක්ටීරියාව ය. ඒ අනුව මේ බැක්ටීරියාව මෙරටට ගෙන්වීමට අදාළ බලධාරීහු කටයුතු කළහ.

කියුබානු බැක්ටීරියාව මෙරටට ගෙන්වීමේදි අධික මුදලක් වැය වන බැවින් ඒ නිසා අඩු මුදලකට රටට අවශ්‍ය බැක්ටීරියාව නිෂ්පාදනය කරන්නට පසුගිය කාලයේ දේශීය සමාගමක් ඉදිරිපත් විය. බී.ටී.අයි. බැක්ටීරියාව ලීටර් 10,000 ක් හෝ 15,000 ක් වාර්ෂිකව නිෂ්පාදනය කළ හැකි බව එම සමාගම ඒ දිනවල ප්‍රකාශ කළේය. රජයට අයත් කාර්මික තාක්ෂණ ආයතනයේ අනුමැතිය ද සහිතව මේ බැක්ටීරියාව නිපදවන්නට සමාගම ඉදිරිපත් වුවද ඒ යෝජනාව උපන් ගෙයිම මරණයට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ මෙරට නිෂ්පාදනය කරන්නට උත්සාහ කළ බී.ටී.අයි. බැක්ටීරියාව අපට අහිමි වීමය.

පිටරටින් ගෙන් වූ කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව යොදා ගනිමින් පසුගිය කාලයේ කොළඹ මුල් කර ගෙන නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. ප්‍රශ්නය වන්නේ එක් වතාවක් මේ බැක්ටීරියාව යෙදුවාට ප්‍රතිඵල ලබා ගත නොහැකි වීමයි. ප්‍රතිඵල ලබා ගැනීමට නම් අඛණ්ඩව මාස තුනක් මාසයෙන් මාසයට බැක්ටීරියාව යෙදිය යුතුය. එසේ මාසයෙන් මාසයට තුන්වතාවක් යෙදුවාට පසුව කොළඹ නගර සභා බල ප්‍රදේශයේ මදුරු ඝනත්වය අඩු වීමක් සිදුව තිබේ. එහෙත් අනෙක් ප්‍රදේශවල මදුරු ඝනත්වයෙහි අඩුවක් නොමැත. නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය යන ප්‍රදේශ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා යොදා ගනු ලැබිණ. එහිදී කොළඹ මහ නගර සභාව, මහරගම, හෝමාගම යන ප්‍රදේශ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුනක් වන කොළඹ මහ නගර සභාව, මහරගම, හෝමාගම යන ප්‍රදේශ කොටස් කිහිපයකට බෙදා ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් සහ පාලක කොට්ඨාස දෙක බැඟින් ගෙන මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. මිස්ට් ප්ලෝවර් යන්ත්‍රය භාවිතයෙන් බිඳිති ලෙස බැක්ටීරියාව පරිසරයට එක් කිරීම සිදුකෙරිණි. ඒ අතර අදාළ ප්‍රදේශවල කීට විද්‍යා සමීක්ෂණ සති දෙකකට වරක් සිදු කළ අතර බැක්ටීරියාව ඉසීම ද සිදු කෙරිණි. පළමුව මදුරු කීටයින් සම්බන්ධයෙන් සමීක්ෂණ කෙරිණි.

එම සමීක්ෂණ සිදු කර සති දෙකකින් පසුව බැක්ටීරියාව බිඳිති වශයෙන් අදාළ ස්ථානවලට යෙදීම සිදු විය. බිඳිති ලෙස යොදා සති දෙකකින් පසුව එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලදී. අඛණ්ඩව මාස තුනක් මෙම ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේදි මේ බැක්ටීරියාව භාවිතය නිසා මදුරු ඝනත්වය අඩු වීමක් කොළඹ මහ නගර සභාවෙන් පෙන්නුම් කර ඇතත් මහරගම හා හෝමාගම ප්‍රදේශවලින් එතරම් සාර්ථක ප්‍රතිඵල ලැබී නැත. එම ප්‍රදේශ අර්ධ නාගරික සහ ග්‍රාමීය වීම එයට හේතු වී ඇත. බී.ටී.අයි. බැක්ටීරියාව නාගරික ප්‍රදේශවලට යෙදීම වඩාත් සාර්ථක වී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන්ට ළඟා විය නොහැකි ස්ථානවලට බැක්ටීරියාව වැටීම නිසාය.

අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන පවතිනුයේ සාමාන්‍යයෙන් ඈතිනි. ඩෙංගු මදුරුවන් පිරිසිදු වතුර ඇති බහාලුම්වල ජීවත් වේ. එම බහාලුම් බොහෝ විට අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පවතිනුයේ වතු ආශ්‍රිතවය. මේ බැක්ටීරියාව වතුවලට යෙදීම ප්‍රායෝගික නොවීම එම ප්‍රදේශයන්හි මදුරු ඝනත්වය අඩු නොවීමට හේතුවක් වන්නට ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය නිගමනය කරයි.

මදුරු ඝනත්වය

බී.ටී.අයි. බැක්ටීරියාව යෙදීමෙන් පසුව කීට විද්‍යා සමීක්ෂණ අදාළ ප්‍රදේශ නවය තුළම සිදු කළ අතර මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගනු ලැබුවේ බැරල්, බූලි, යෝගට් කෝප්ප, ටැංකි, පොලිතීන් වැනි බහාලුම් තුළය. නිවාස තුළ පූසන්ට බල්ලන්ට වතුර දමන භාජන, ශීතකරණයේ ජලය එකතු වන ස්ථාන ද මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ. කීට විද්‍යා සමීක්ෂණවලට අනුව සියයට 53 ක්ම මදුරු ගහණය බෝ වනුයේ මෙම බහාලුම් තුළය. නමුත් බී.ටී.අයි. බැක්ටීරියාව ගෙතුළ තිබෙන ශීතකරණය වැනි ස්ථානවලට යෙදීමක් සිදු වන්නේ නැත. එනිසා මදුරුවන් මර්දනය කිරීමේ ප්‍රායෝගික හා සාර්ථකම වැඩපිළිවෙළ වනුයේ මදුරුවන් බෝ වන ස්ථාන ප්‍රජාව විසින් ඉවත් කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

බී.ටී.අයි. බැක්ටීරියාවෙන් මදුරුවාට බලපෑමක් කෙරේ. එසේ බලපෑමක් කිරීමට නම් මදුරු කීටයින් සිටින ස්ථානවලට බැක්ටීරියාව යෙදූ විට එම බැක්ටීරියාව කීටයා විසින් ආහාරයට ගත යුතුය. ආහාරයට ගැනීමෙන් පසුව කීටයා විනාශ වේ. නියමු ව්‍යාපෘතියෙන් පසුව පසුගිය දිනවල කින්නියා, ත්‍රිකුණාමලය, මඩකළපුව ප්‍රදේශවල ව්‍යාප්ත වූ ඩෙංගු මදුරු මර්දනයේදි එම ප්‍රදේශයන්හි ළිං තුළට බැක්ටීරියාව යෙදූ බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන පවසයි. තවත් ලීටර් 100 ක් පමණ ඉතිරිව තිබෙන බව ද ප්‍රකාශ කරයි.

මේ බැක්ටීරියාව අපතේ යාමක් සිදු නොවූ බව ඉන් පැහැදිලි ය. නිසි කසළ කළමනාකරණයක් නොමැතිව බී.ටී.අයි. බැක්ටීරියාව යෙදීම ප්‍රායෝගික නොමැති බවත් බී.ටී.අයි. බැක්ටීරියාව කීටයා ආහාරයට නොගතහොත් ඉන් ප්‍රතිඵල නොලැබෙන බවත් එම වැඩසටහනේ අදහස වේ. මදුරුවන් බෝ වීම මර්දනය කිරීමට ඒකාබද්ධ මදුරු මර්දන වාහක ක්‍රම කිහිපයක් භාවිතා කෙරෙන්නේ එහෙයිනි. ඒ යටතේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කිරීම, රසායනික භාවිතය, ධූමායනය, ජෛවීය පාලන ක්‍රම භාවිතා කෙරේ.

බී.ටී.අයි. බැක්ටීරියාව යොදා මාසයකින් එහි ප්‍රතිඵල පරීක්ෂා කිරීමේදී අපේක්ෂිත ප්‍රතිඵල ලැබී තිබුණ ද, බැක්ටීරියාව නැවත නොයෙදීම නිසා පෙර තිබූ පරිදිම මදුරුවන් බෝ වීම ඉහළ ගොස් තිබූ බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන පවසයි.

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයකුට රෝගය වැළඳීමේ අවදානම ඇත. කිසියම් පුද්ගලයකුට දින දෙකක් උණ රෝගය පවතින්නේ නම් ළඟම තිබෙන රෝහලකට ගොස් රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම වැදගත් ය. දින දෙකකින් පසුව පළමු වරට සිදු කරන රුධිර පරීක්ෂාව සාමාන්‍ය තත්ත්වයෙන් පැවැතිය ද, තෙවැනි දිනයේදීත් රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම වැදගත්ය. එමඟින් රෝගය ශරීරගත වී ඇත් ද යන්න හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගත හැක.

මේ වන විට ඩෙංගු වෛරසයේ වෙනසක් සිදුව තිබේ. ඩෙංගු ටයිප් 1 සහ 4 කියන වෛරස් කාණ්ඩ මෙතෙක් කලක් මිනිසාට බලපෑමක් කළත් දැන් එය ටයිප් 2 තත්ත්වයෙන් බලපෑම් කරන්නට පටන් ගෙන ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත. එක් පුද්ගලයකුට සාමාන්‍යයෙන් සිව් වතාවක් ඩෙංගු රෝගය වැළඳීමට ඉඩකඩ තිබේ. උණ, හිසරදය, ඇස පිටුපස වේදනාව, ඔක්කාරය සහ වමනය, හන්දිවල හා මාංශ පේශිවල වේදනාව, ශරීරයේ රතු පැහැති ලප මතු වීම, ඇතැම් අවස්ථාවන්වලදී විදුරුමසෙන් හා නාසයෙන් ලේ ගැලීම යන රෝග ලක්ෂණ මඟින් තමාට ඩෙංගු වෛරසය ශරීර ගත වී ඇත්ද යන්න හඳුනා ගත හැකිය. එවැනි රෝග ලක්ෂණයක් වේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය.

අභියෝග ජයගැනීම

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ වැඩි ප්‍රමාණයකින් ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් මේ වන විට මතුව තිබේ. රට පුරා ව්‍යාප්තව ඇති ඩෙංගු වසංගතය අධි වසංගතයකිනුත් එහා යන වසංගතයක් බවට පත් විය හැකිය. ගංවතුර හානියට ලක් වූ නිවෙස්වලින් ඉවතලන කැළිකසළ මහා මාර්ගයට ගෙනැවිත් දැමීමේ අවදානමත් සමඟ මේ තත්ත්වය මතු වේ. මදුරුවන් බෝ වන ස්ථාන සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සුපරීක්ෂාවෙන් සිටීම මඟින් මේ වසංගතයට මුහුණදීමේ හැකියාවක් අප සතුව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බලකාය සක්‍රීය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැටලුව ජය ගැනීමට සහාය ලබාදී තිබේ. එහෙත් ඩෙංගු මදුරු ව්‍යාප්තිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලුවක් පමණක් යැයි කීම නිවැරදි නැත. මේ ගැටලුවට සමස්ත පුරවැසියන්ම වගකිව යුතු වේ. මේ වන විට කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ. ඩෙංගු වසංගතය ජය ගැනීම සඳහා පිටරටින් ගෙනෙන බැක්ටීරියාවන් දෙස බලා නොසිට අප හැකි ආකාරයට මදුරු මර්දනයට සහාය විය යුතුය. නොඑසේ නම් හෙට දිනයේ ඔබේ හෝ මගේ මල් කැකුළක් ද ඩෙංගු මදුරුවා විසින් බිලි ගන්නට මාන බලනු ඇත.

 

සටහන
සන්ධ්‍යා කරුණාරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...