ලොව විශාලතම පිටාර සිදුර | දිනමිණ

ලොව විශාලතම පිටාර සිදුර

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, නාපා ජනපදයේ ඇති බෙරියෙස්සා නම් විලෙහි තනා ඇති මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට) තනා ඇති පිටාර සිදුර, පතුලක් නැති ආවාටය ලෙසින් හැඳින්වේ. මෙය, වකා කඳු පන්ති ආශ්‍රිතව පිහිට ඇත.මේ පිටාර සිදුර නිතරම භාවිතයට නොගැනේ. එයට හේතුව ජල මට්ටම පිටාර මට්ටමට එන්නේ කාලයෙන් කාලයට වීම නිසා ය. කෙසේ වෙතත්, පිටාර සිදුර භාවිත වන විට එය තුළට ඇද ගන්නා ජල පරිමාව ජල ඝන අඩි 48,400ක් පමණ වේ.

මෙය ලොව විශාලතම පිටාර සිදුර ලෙස සලකයි. මෙහි විශ්කම්භය අඩි 72කි. පහළට ගමන් කරන විට ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් ,අවසානයේදී එය අඩි 28ක් දක්වා කුඩා වේ. ජලය උරා ගන්නා ස්ථානයේ සිට ජලය පිට කරන ස්ථානය දක්වා ඇති දුර ප්‍රමාණය අඩි 700කි. මේ පීටාර සිදුරේ නිර්මාණ කටයුතු ආරම්භ වන්නේ 1953 වසරේදී ය. අනතුරුව වසර හතරක් පුරාවට ඉදි කෙරෙන මේ නිර්මාණය, 1957 වසරේදී වැඩ අවසන් කර ඇත. මොන්ටිචෙලෝ වේල්ල ඉදි කිරීම සිදු කර ඇත්තේ, මොන්ටිචෙලෝ නම් නගරය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවන ආකාරයෙනි. වේල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන විට, එම නගරයේ තිබූ සියලු ම ගොඩනැගිලි කඩා දැමීම සිදු කර නැත. එසේ ම, සුප්‍රසිද්ධ පූටාහ් ක්‍රීක් පාලම ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයක් කඩා බිඳ නොදමා ජලයෙන් යට වීමට ඉඩ හැර තිබේ. එම නිසා, අදටත් ජල මට්ටම අධික ලෙස පහත බසින කාලයේදී මේ නගරයේ ගොඩනැගිලිවල නටබුන් දැකගත හැකි ය. කෙසේ වෙතත් 1957 වසරේදී වේල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමෙන් පසුව, බෙරියෙස්සා විලෙහි උපත සිදු වී ඇත.

මේ විල වර්ග කිලෝ මීටර් 83.77ක ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ. එය කඳු පන්තිවලින් ගහන, අලංකාර භූමි භාගයක පැතිරී ඇති නිසා, නිරන්තර සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය. මේ විලෙහි උපරිම ගැඹුර මීටර් 84ක් පමණ වේ. විලෙහි පළල කිලෝ මීටර් 4.8ක් පමණ වන අතර, ජල ධාරිතාව ඝන කිලෝ මීටර් 1.976කි.

බෙරියෙස්සා විලෙහි පිහිටා තිබෙන මේ පිටාර සිදුර, විලෙහි පිහිනන්නන්ට හා බෝට්ටු සවාරි යන්නන්ට අනතුරුදායක ය. එසේ හෙයින්, විලෙහි ආරක්ෂාකාරී දුර ප්‍රමාණය ලකුණු කර තිබෙන්නේ, අනවශ්‍ය තරමට මේ පිටාර සිදුරට ළඟා වී, අනතුරෙහි වැටීම වැලැක්වීමට ය.මන්දයත්, මෙතුළට අද වැටී මරණයට පත් වූවන් පිළිබඳව ද වාර්තා වන නිසා ය. ලොව දක්ෂතම පිහිනුම් ශුරයකුටවත්, පිටාර සිදුර මඟින් ඇති කරන ඇද ගැනීමට එරෙහිව පිහිනිය නොහැකි බව පැවසේ. එතරම්ම ජල පහර ප්‍රබල ය. එම නිසා, මෙය දැක බලා ගත යුත්තේ නියමිත සීමාවේ සිට ය.

 

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න