අඹමල්ලෙන් කඩාහැලෙන පූනහැල ඇල්ල

පෙරදා ඇදහැළුණු වර්ෂාව නිසා, සීතලෙන් සීත වුණු පරිසරයට ආයෙමත් වැසි අඳුර ගලමින් ඇත. අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල වරාවලින් හැරී, රිටිගහ ඔය පාලම පසුකර බුලත්කොහුපිටිය මාර්ගයේ කිලෝ මීටර් හය හතක් පමණ ගිය අප පිරිස, පූනාහැල ප්‍රදේශය වෙත ගමන් ගත්තේ සොඳුරු ඉසව්වක රැඳී විවේක සුව විඳිනු පිණිස ය. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ දියඇලි කිහිපයක් ම ඇති බව දැනගත් අපි, පූනහැල කඩපොළ අසලින් ඒ දියඇලි පිළිබඳ විමසා සිටියේ, සමීපම දියඇල්ල වෙත ළඟාවීමේ අරමුණෙනි.

“පූනහැලත් දියඇල්ලක් තියෙනවා. රිටිගහ ඔය හරහා තියෙන එල්ලෙන පාලමෙන් එගොඩවෙලා, මීටර් 150ක් ක් 200ක් පමණ ගියහම පූනහැල ඇල්ල බලන්න පුළුවන්. දැඩි අව්ව තිබුණු පහුගිය මාස කීපයේ නම් ඇල්ලක් තිබුණද කියලවත් හොයාගන්න බැරි තරමට තිබුණේ.ඇල්ල ගලාහැලෙන ස්ථානයේ පිහිටි කළු ගල විතරයි පෙනුනේ. ඒත්, ඊයෙ වැස්ස නිසා ඇල්ල අද හරි ම ලස්සනයි. ගල් ලිස්සන නිසා, ගල් දිගේ යන්නේ නැතිව ගිහින් ඇල්ල බලන්න.”

ඔහු කියූ පරිදි ඔහුගේ අණ පිළිගත් අපි, තමාගේ ආරක්ෂාව තමා ම සලසාගත යුතු බව හිතමින් ඇල්ල වෙත යාමට අදිටන් කර ගත්තෙමු. වැල් පාලමෙන් නොගිහින්, අඹමල්ල ගමට යන පාර දිගේ ගොස් ඒ වෙත ළඟාවීම සඳහා අපි පියවර නැගුවෙමු. මදින් මද ඉදිරියට යනවි‍ට හිස් අහස් කුස නීල පැහැය හංගමින්, කොළ පැහැති තුරු වියන් නැගී සිටින්නට විය. මද දුරක් ඉදිරියට යනවිට, රබර් තුරු අතරින් සිනිදු සේලයක් මෙන් පහළට ඇදහැලෙන සොඳුරු දියඇල්ලක් නෙත ගැටිනි.

මේ ගම් පියසේ සැඟවී සිටිනා මේ අසිරිමත් ලලනාව දැකගන්නට ලැබීම කොතරම් භාග්‍යයක්ද? මගේ සිත මටම කොඳුරා පැවසීය.

පුනහැල, අඹමල්ල ග්‍රාමයේ සිට කඩා හැලෙන පුනහැල ඇල්ල,මුළු ප්‍රදේශයටම ගෙන එන්නේ සිරියාවකි.උසින් මීටර් 15ක් වන මේ හැඩකාරිය, පළලින් මීටර් හයකි. කලකට පෙර, පූනාගැල ඇල්ල, පූනාගල ඇල්ල සහ සොලමල ඇල්ල ලෙස ප්‍රදේශයේ ප්‍රකට වූ මේ දියඇල්ල, පූනහැල ගමේ පිහිටි නිසා, පූනහැල ඇල්ල ලෙස මේ වනවිට නම් ලබා ඇත.

පූනහැල ඇල්ල නිර්මාණය වන්නේ, ඇඳුරාපොළ වත්ත ප්‍රදේශයේ සිට ගලාඑන සුලමුල ඇළිනි. එම ඇළ මේ ස්ථානයේදී සිය දිය දහරා උස් ගල් තලා මතින් පහළට පතිත කරන්නේ දුහුල් සේලයක් පහළට එලන්නාක් ලෙසිනි.අප එහි යනවිට ගම්වාසීන් කිහිප දෙනකු එහි පැමිණ, ඇල්ල නිර්මාණය වන ස්ථානයට මෙහායින් සිට, සුලමුල ඇළේ සීතල දිය අතර වැතිරී දිය නාමින් සිටිනු දක්නට ලැබිණි. දියඇල්ල පිහිටි ප්‍රදේශයේ අඹ, නා, කිතුල්, කොස්, කැන්ද, තේක්ක, වල් දෙල්, බට ගස් මෙන් ම, බෙහෙත් ඖෂධ වර්ග රැසක් ද දැකගත හැකි ය. ඇටිකුකුළා, ගිරවා, මයිනා, දෙමලිච්චා, කහ කුරුල්ලා,කොණ්ඩ කුරුල්ලා, කෑරලා, සුදුරෙදිහොරා, සිවුරුහොරා පිළිහුඩුවා වැනි බොහෝ කුරුලු වර්ග ද, සමනල වර්ග රාශියක් ද මේ ප්‍ර ‍ෙද්ශයේ ඇත.

පෙර විසූ ගම්වැසියන් පවසන පරිදි, රාජසිංහ රජ සමය වැනි අතීතයේදී,මේ ඇල්ල පාමුල ගල් තලාවේ ගල් දොරක් තිබී ඇත. සමහර දිනවල මේ ගල් දොර විවෘත වන බව ද, ඒ අනුව ‍ඒ තුළ, රාජසිංහ රජු ආරක්ෂාව පිණිස තැන්පත් කළ රත්‍රං පිඟන් රාශියක් තිබෙන බවට ද කතාවක් පැවතී ඇත. මේ කතා පිළිබඳ අසා සිටි එක්තරා සොරකු, එක් දිනකදී එම ස්ථානය කරා ගොස් ඇත්තේ එම පිඟන් සොරකම් කිරීමේ අභිලාෂයෙනි. එහෙත්, ඔහුගේ වෑයම ව්‍යර්ථව ගොස් ඇත්තේ, ගල් දොර ඇරුණු සැණින් එහි ඇතුළට ගිය ඔහුට ආපසු ඒමට එම දොර විවෘත නොවූ නිසා බව පැවසේ. මේ නිසා , එම ගල් දොර පිළිබඳ පරීක්ෂා කිරීමට කිසිවකු එවකට එහි නොගිය බව පැවසේ. බොහෝ දියඇලි ආශ්‍රිතව මෙවැනි කතා ඇති අතර, මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බැලිය යුතු ය.

තාමත් හරිහමන් නමක් නැති, එසේ ම සංචාරක අවධානයක් ලැබී නැති මේ සිරියාවන්තිය, සංචාරක ආකර්ෂණයට හසු නොවූ නිසා ම ආරක්ෂා වී ඇත. වෙනත් දියඇලි අසල මෙන් මෙහි ප්ලාස්ටික් බෝතල, බියර් කෑන්, ලන්ච් ෂීට්, ආහාර දමන පෙට්ටි වැනි පරිසරයට අහිතකර, නොදිරන ද්‍රව්‍ය දැකිය නොහැකි ය.

පූනහැල ඇල්ල, සුදු පැහැ සීත හිම ගුලි මෙන් කඩා හැලී, රිටිගහ ඔයත් සමඟ අත්වැල් බැඳගෙන, කැලණි ගං කොමලිය හා පෙමින් වෙලී, දළ රළ නැගෙන ඉන්දු සයුර කරා ගලා බසී .

 

ඉරෝෂිණී දීපිකා
ඡායාරූප සරත් චන්ද්‍රසිරි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...