අභියෝගාත්මක චරිතයක් තවම ලැබිලා නැහැ | දිනමිණ

අභියෝගාත්මක චරිතයක් තවම ලැබිලා නැහැ

උපේක්ෂා ස්වර්ණමාලි

ඇය කවදත්, රංගනයටපෙම් බඳිමින්, කලා කටයුතුවලට නොමසුරු දායකත්වය ලබා දෙන දක්ෂ නිළියකි. අද වනවිට සෙනෙහෙ පිරුණු කැදැල්ලක පුංචි දූ සිඟිත්තියකගේ සුරතල් විඳින ඇය, කලක් පුංචි තිරයේ සිහින පෙම්වතිය වී, පබා නමින් ප්‍රේක්ෂක හවදත් දිනූ උපේක්ෂා ස්වර්ණමාලි ය.

* ඔබ ප්‍රේක්ෂකයා අතර ජනාදරයට ලක් වුණේ පබා ටෙලි නාට්‍ය මඟින්. අදටත් බොහෝ දෙනෙක් ඔබට‘පබා’ කියලා නේද කතා කරන්නෙ?

පබා’ මට අවංකවම ආශිර්වාදයක්. ඒක සියලු ම කලාකරුවන්ට දිනාගන්න පුළුවන් දෙයක්වත්, හදාගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ආශිර්වාදයක්. ඒ ගැන තියෙන්නේ සතුටක්. පබා මට පුදුමාකාර භාග්‍යයක් ළඟාකර දුන් නාට්‍යයක්. කවුරු හරි සමච්චලේට මට ‘පබා‘ කියලා කතා කරනවා නම්, මං ඒකට එච්චර කැමැති නෑ. ඒ වුණත් ආදරෙන් ඒ නමින් අඬගහද්දි, පුදුමාකාර සතුටක් දැනෙනවා.

* පබාට ඒ තරම් ප්‍රතිචාර ලැබෙන්න හේතුව මොකක්ද?

මම අවංකවම හිතන්නෙ, මුල්ම හේතුව මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපත සහ චරිතවලට තෝරගත්ත අය. මම කියන්නෙ මම ගැන නෙමෙයි, අනෙකුත් සියලුම චරිතත් එහෙමයි. සුළු චරිතයට පවා සුදුසුම අය තේරුණු එක අපේ වාසනාව. ඒ වගේම ලැබීම. ඒ ඇරුණහම හැමෝම ලබා දුන්න සහයෝගය වගේ ම, අපට දීලා තිබුණු නිදහසත් එහිදී වැදගත් වුණා.

*වැඩිය කැමැති සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?

මේ කර්මාන්තය දිහා අපි ලෝකයත් සමඟ සංසන්දනය කරලා බැලුවොත්, අපි බොහොම පසුගාමී තැනක ඉන්නේ. තාම දණගානවා. මේ ක්ෂේත්‍රයෙන්,ලෝකයත් සමඟ උරෙන් උර ගැටෙන්න ශක්තිය අපට තියෙනවා. ඒත් අපි එතනට ඇවිත් නැති එක ලැජ්ජාවට කාරණයක් වගේ ම, ඛේදවාචකයක්. එහෙම බැලුවහම, චිත්‍රපටියක්ද? ටෙලි නාට්‍යයක්ද? කියන එක අපට වැදගත් වෙන්නෙ නැහැ.

පූජා උමාශංකර්ගෙ ටෙලි නාට්‍යයක් විකාශනය වුණාට පස්සෙ, මිනිස්සු වැඩිපුර බලන්නෙ ටෙලි නාට්‍ය නේද? සිනමාවට අපිට ඒ තරම් ප්‍රේක්ෂකාගාරයක් නැහැ නේද? කියලා එයා අහනවා. එයා චිත්‍රපට ගණනාවක රඟපාලා, සිනමාවෙ ජනප්‍රියම නිළියක් වෙලත්, ඇයට ප්‍රේක්ෂකයො බොහෝ දෙනෙක් ඉන්නෙ ටෙලි නාට්‍ය එක්ක.

සිනමාව කොච්චර දැවැන්ත වුණත්, සදාකාලික වුණත්, අද වෙනකොට රූපවාහිනියෙන් තමයි ශ්‍රී ලංකාවේ වැඩිපුර වැඩක් කෙරෙන්නෙ. ඒ වගේ ම, ප්‍රේක්ෂක ප්‍රතිචාර වුණත් අපට ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලින්.නිර්මාණයක් බාර ගැනීමේදී, වෙළෙඳ දැන්වීමක්ද? රූප රචනාවක්ද? මෙගා නාට්‍යයක්ද? කියන එක නෙමෙයි, නිර්මාණයේ තියෙන ගුණාත්මක බවයි මට වැදගත්. ශ්‍රී ලංකාවේ යථාර්ථයත් එක්ක එහෙම හැඟීමක් තිබුණත්, අනිවාර්යයෙන්ම ඕනම කලාකරුවෙක් සිනමාවට තමයි වැඩියෙන් ම කැමැති. ඒකට හේතුව සිනමාව සදාකාලික වීමයි. එය දැවැන්ත කාර්යයක් වීමයි.

* ඔබේ පවුලෙ විස්තර ටිකකුත් කියමු නේද?

මට නම් ඉන්නෙ අම්මා විතරයි. මහත්තයට ලොකු පවුලක් තියෙනවා. ඒ හැමෝම මගේ ම අය වගේ. මාත් එක්ක හරි එකතුයි. මට ඉන්නවා මාස හතක චූටි දූ පැටියෙක්. එයාගෙ නම ධනුජි ෂැනන් පෙරේරා. ඒ හැමෝමත් එක්ක මං සතුටින් ඉන්නවා.

* දුව පුංචි නිසා, කලා කටයුතුවලට වැඩිය සම්බන්ධ වෙන්නෙ නැද්ද?

අවුරුදු කාලෙ වගේ ම, අම්මාවරුන්ගෙ දිනයෙ තිබුණු වැඩසටහන් ගණනාවකට මං සහභාගි වුණා. ඒත් ඉස්සර වගේ ලේසියෙන් ම නෙමෙයි. බබා බලාගෙන හැමදේම කරන්න අමාරුයි.මේ කාලෙදි මට ලොකු වැඩකට ආරාධනා ලැබුණෙත් නැහැ. ලැබුණු රංගන කටයුතු බබාගෙ වැඩත් එක්ක සමබරව කරගෙන යනවා. ඒකට මම මගේ පවුලෙ අයට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙන්න ඕනැ. කලා කටයුතු හරියට කරගෙන යන්න, පවුලෙ හැමෝගෙන් ම උපරිම සහයක් ලැබෙනවා.

* ඔබට නිතර ම වගේ ලැබෙන්නෙ අහිංසක පෙම්වතියගේ චරිතය. දුෂ්ට චරිතයක් එහෙම කරන්න කැමැති නැද්ද?

මං එකක් කළා. ඒක සුළු චරිතයක්. ඒක ජනතාව අතර ප්‍රසිද්ධියක් ඇතිව විකාශනය වුණු ටෙලි නාට්‍යයක් නෙමෙයි. කොටස් 30යි විකාශනය වුණේ. පබා රූගත කරපු කාලෙමයි කළේ. මම කොහොමටත් ප්‍රධාන චරිතෙම කරන්න ඕනැ කියන මානසිකත්වයේ ඉන්න කෙනෙක් නෙමෙයි. වෙනස්ම විදිහෙ චරිතයක් කරන්න බොහොම කැමැතියි. මිනී මරණ චරිතයක් වගේ එකකට බොහොම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ඒ සඳහා හොඳ පිටපතක් තියෙන්න ඕනැ. මායා චිත්‍රපටයෙත් මම ප්‍රධාන චරිතයක් නෙමෙයි කරන්නෙ. සහය චරිතයක්.

මට යම් තරමකට ජනප්‍රිය චරිත ලැබුණු එකත් එක්ක, මම දැන් වැඩියෙන් ම කැමැති, චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්නයි. ආයෙමත්, පබා වගේ තව නාට්‍යයක් කරලා මට සතුටක් ලබන්න බැහැ. දුලීකා, දමිතා, චාන්දනී වැනි රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින නිළියන් සියලු ම දෙනා හදාගෙන තියෙන ගෞරවය, රංගන ශිල්පිනියක් විදිහට මමත් හදාගන්න කැමැතියි. ඒ ආශිර්වාදය මට තියෙනවද කියලා නම් මං දන්නෙ නෑ. ඒත් මම දැන් එතැනට එන්න කැමැතියි. මේ කාලේ මට තියෙන ලොකු ම බලාපොරොත්තුව ඒක.

* සින්ඩරෙල්ලා චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි ඒක සිනමා ශාලාවට ගිහින් බලනවට වඩා, රූපවාහිනියෙ පෙන්නපු දවසෙ තමයි මං හිතන්නෙ බොහෝ දෙනෙක් බැලුවෙ. ඒත් ඒ චරිතය, චරිතයේ ගති ලක්ෂණ, චරිතයේ මානසිකත්වය ශ්‍රී ලංකාවේ ඉන්න බහුතරයක් කාන්තාවන්ට සමීප නැහැ. මෙහි ප්‍රධාන චරිතය පිටරටක ඉඳන් ශ්‍රී ලංකාවට තනියම විනෝද ගමනක් එනවා. ආදරේ කරන්න පටන් ගන්නවා.

ඕනෑවට වඩා කිට්ටු වෙලා, එකපාරට ම ඒ ප්‍රේමය අතහැරලා අතුරුදන් වෙනවා. ඒ වගේ චරිත ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න ටිකක් අමාරුයි. ඒ වගේ චරිතයකට අනෙක් නිර්මාණවලට ලැබුණු විදිහෙ ප්‍රතිචාර මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් මට යම් යම් අයගෙන් ඒ සඳහා ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අවංකව ම මට ලැබුණු ප්‍රතිචාර එක්ක මම උපරිමයෙන් ම තෘප්තිමත්. පෞද්ගලිකව මේ චිත්‍රපටය බලද්දි, මගෙ යම් යම් අඩුපාඩු මම දකිනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තහම මගෙ ඉදිරිපත් කිරීම ගැන මමත් සතුටුයි.

* කරපු චරිතවලින් අභියෝගයක් විදිහට දකින්නෙ කොයි චරිතෙද?

රඟපෑමෙදි මට තිබුණු විශාලම අභියෝගයක් තමයි, මගෙ භාෂාව හදාගන්න එක. මගේ සිංහල උච්ඡාරණය සම්බන්ධයෙන් ගැටලු තිබුණා. මම ප්‍රධාන චරිතයක් බාර අරගෙන, රූගත කිරීම් පටන්ගත්ත මගේ පළමුවැනි ටෙලි නාට්‍ය මට අහිමි වුණා. ඒ මගේ උච්ඡාරණ ප්‍රශ්නත් එක්ක. ඒ තමයි බෙනට් රත්නායකයන්ගේ ‘සුධීරා’. පස්සෙ මම සුධීරාගේ හොඳ ම යාළුවට රඟපෑවා.

චරිතයක් විදිහට ගත්තොත් මට ලොකුවට කියන්න තරම් අභියෝගාත්මක චරිතයක් ලැබිලා නැද්ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. කරපු චරිත දිහා බැලුවහම මම හරිම කැමැති චරිතයක් තමයි, සමනලයින්ට වෙඩි තියන්න නිර්මාණයේ මට ලැබුණු චරිතය. ඒක, ප්‍රදීප් ධර්මදාස තමයි අධ්‍යක්ෂණය කළේ. ඒකෙ මගෙ රංගනය හරි පැහැදිලියි. හරි බරයි. ඒ වගේ ම ගාම්භීරයි කියලා මට හිතෙනවා. මම ඒ ගැන තෘප්තිමත්. මම ඒකට සම්මානෙකුත් ලැබුණා. ඒ, හොඳ ම නැගී එන රංගන ශිල්පිනිය විදිහට. ඒ ගැන තමයි වැඩියෙන් ම තෘප්තිමත් වෙන්නෙ. එහෙම නැතුව, හොඳ සූදානමක් ඇතිව කරන්න ලැබුණු චරිතයක් මට තාම ලැබුණෙ නැහැ.

අපේ නාට්‍ය කඩිමුඩියෙනෙ හදන්නෙ. එතකොට අපට චරිතෙ තියෙන බැරෑරුම්කම ඇඟට ගන්නවත් වෙලාවක් නෑ. ඒ කියන්නෙ පිටපත දෙනවා. ඒ ගමන් ම රූගත කිරීම් පටන් ගන්නවා. කල් තිබ්බත් ඒකට සූදානම් වෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. අපට තනියෙන් අපේ රංගනය කරන්න බෑ. අපි ඒක කරන්න ඕනෙ අධ්‍යක්ෂකත් එක්ක කතාකරලයි. ඒ වගේ ම පිටපත් රචනය කරපු කෙනත් එක්ක කතා කරන්න ඕනැ. අනෙක් රංගන ශිල්පීන් එක්ක මුහු වෙන්න ඕනැ. මෙය තනියෙන් කරන දෙයක් නෙමෙයි,කණ්ඩායම් හැඟීමෙන් කරන දෙයක්නෙ. ඒ නිසා චරිතයක බැරෑරුම්කම දැනෙනවා ටිකක් අඩුයි.

* ඉදිරියේදි මොන වගේ නිර්මාණවලින්ද ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ?

මේ දවස්වල ‘ස්නේහා’ නාට්‍යයයි ‘පබා’ නාට්‍යයයි නැවත විකාශනය වෙනවා. ‘පබා’ නම් මේ විකාශනය වෙන්නෙ හතර වැනි වතාවට. සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ දෙවැනි කොටස ඉදිරියේදී එන්න තියෙනවා. ‘රශ්මි’ කියලා ටෙලි නාට්‍යයක රූගත කිරීම් අවසන් වුණා. ඉදිරියේදී එය විකාශනය වේවි. ඒ ඇරුණහම සැප්තැම්බර් මාසෙදි චිත්‍රපටයක රූගතකිරීම් බාර අරගෙන තියෙනවා.

 

කාංචනා සිරිවර්ධන
ඡායාරූප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...