සංඥා මාර්ගයෙන් මිනිස්සු භේද කළත් බරපතළ වරදක් | දිනමිණ

සංඥා මාර්ගයෙන් මිනිස්සු භේද කළත් බරපතළ වරදක්

යූ.ආර්.ද සිල්වා නීතීඥ සංගමයේ සභාපති

ජාතිවාදීව ආගම්වාදීව කටයුතු කරන්නන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ ය. ඒ මත පදනම්ව ජාතිවාදය, ආගම්වාදය යනුවෙන් අර්ථ නිරූපණය වන්නේ කුමක්ද? එකී වරද වෙනුවෙන් නියම කළ හැකි දඬුවම් කවරේද? ඊට එරෙහිව පවතින නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතා මොනවාද? එසේ නීතිය ක්‍රියාත්මක නොවීමේ දුර්වලතා මොනවාද? එසේ නීතිය ක්‍රියාත්මක ‍නොවීමේ ප්‍රතිඵලය කුමක්ද ආදී වශයෙන් අද ‘එහා ඉවුර’ සාකච්ඡාව දිග හැරේ.

 * ජාතිවාදීව හා අගම්වාදීව ජනතාව අතර සංහිඳියාවට බාධාවන අන්දම්න් හැසිරෙන පුද්ගයන් සම්බන්ධයෙන් රජය හා පොලීසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවයි ඔබ සංගමයේ අදහස වී ඇත්තේ. ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේ මෑතදී ඇති වූ සිදු වීමද?

මෑතදී සිදු වූ සිදු වීමට කලින් අවස්ථා ගණනාවකදී මේ දේවල් ඇති වෙනව, යට යනවා, ආයේ මතුවෙනව අපි දැක්කා. එය රටේ යහපැවැත්මට, ප්‍රගමනයට හා මානවීය ක්‍රියාකාරිත්වයට බාධාවක්.ඒ නිසා පසුගිය දවසක නීතීඥ සංගමය රැස්වෙලා තීරණයක් ගත්තා‍. අපේ රටේ නීතීඥ සංගම් ගණනාවක් තිබෙනව, ඒ නීතිඥ සංගම්වල නියේජිතයො සෑම මාසයකම රැස්වෙනවා. එහිදී අපි දැක්කා නීතී වෘත්තිකයන් හැටියට මේ තත්ත්වය වැළැක්වීම සඳහා ඔවුන් අතර විශාල උනන්දුවක් පවතින බව.

ඒ අනුව අපි සකච්ඡා කරල එකඟතාවයකට ආවා‍‘ මේ වෙනුවෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියල. එහිදී ඔවුන් කියා සිටියේ අපි කිසියම් දේශපාලනයකට හෝ වෙනත් කල්ලි කණ්ඩායම්වලට පක්ෂපාතී නොවී, නීතීඥයන් ලෙස කටයුතු කළ යුතු බවයි. ප්‍රබල සංවිධානයක් ලෙස අපේ යුතුකම තමයි නීතියට අදාළව මේ වෙනුවෙන් කටයුතු කිරීම. ඒ නිසා මේ නීතිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අපේ යුතු කමක්. මේ පිළිබඳව දැන දැනම ඉදිරියේදී මෙවැනි ක්‍රියාවල මහජනතාව නිරත වුවහොත් රජයට හා පොලීසියට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හැකියාවක් තිබෙනවා. නීතිය නොදැනීම සමාවට හේතුවක් නෙමෙයි.

ඒ නිසා හැමෝගෙම වගකීම වන්නේ මෙවැනි ක්‍රියා­ෙවන් ඈත්ව සිටීමයි. ඒ වගේම අපි නීතිය මේ ආකාරයට සමාජගත කළාට පස්සෙ එහෙම නැත්නම්, මේ අදහස් ජනතාව අතරට ගියාට පස්සෙ, ඒ නීතිය ගණන් නොගෙන පැත්තකට විසිකරල දාල ඒ පිළිබඳව නොසැලකිලිමත්ව ක්‍රියා කරනව නම් සමාව දෙන්න බැහැ. ඒ සඳහා අපි මේ අය දැනුවත් කරන්නේ කොහොමද කියල සලකා බැලීමේදී අපට ඒත්තු ගියා ජනමාධ්‍ය මේ පිළිබඳව ඉතාම වගකීමකින් කටයුතු කරන්න ඕනය කියලා. ජනමාධ්‍යත් තමන්ගේ වගකීම නිවැරදිව අවබෝධ කරගත යුතුයි. හුදෙක් සිදු වන මරණ සහ වෙනත් අපරාධ හුවා දක්වමින් පුවත් වාර්තා කරනව වෙනුවට ජනතාවට දැනුමක් ලබාදිය හැක්කේ කෙසේද යන්න ඔවුන් ගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.

ජන සමාජයේ පවතින අසමගිකම් නැති කර සමගිය වර්ධනය වන ආකරයට මාධ්‍ය ක්‍රියා කළ යුතු වෙනවා. එනිසා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළ යුතුයි කියන නිගමනයට අපි ආවා.

ඒ අනුව තමයි සභාපතිවරයා ලෙස මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳව දැනුවත් කළේ. ඒ අනුව මින් ඉදිරියට අදාළ නීතියට පටහැනිව ක්‍රියා කරන්නේ නම් ඔවුගේ තරාතිරම නොබලා අපක්ෂපාතීව කටයුතු කරන ලෙස රජයටත් පොලීසියටත් අප දැනුම් දීමක් කළා. මෙහි මූලික අරමුණ වුණේ වඩා යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීමට තිබෙන බාධා අවම කර ගැනීමයි. මෙවැනි ජාත්‍යන්තර නෛතික රාමුවකට අනුව කටයුතු කළොත් ඉදිරියේදී එය අපේ රටට වාසි සහගත තත්ත්වයක් උදාවේවි.

* මේ නීති ප්‍රතිපාදන අලුතින් ඇති කරපුවා නෙවෙයි. තිබුණු නීති රෙගුලාසිමයි. ඒවා ඇති වුණේ කොහොමද ?

මේ නීති මුලින්ම ක්‍රියාත්මක වුණේ ත්‍රස්ත ක්‍රියා සමයේ යම් යම් පිරිස් වර්ගවාදී ලෙස හැසීමට ක්‍රියා කිරීම නිසයි. මේ දේවල් වැළැක්වීම සඳහා ප්‍රතිපාදන දණ්ඩ නීති සංග්‍රහයේ පෙර සිටම පැවතුණා. දණ්ඩ නීති සංග්‍රහය අපේ රටේ පවතින ඉපැරණිම නීතියක්. ඒ කාලෙදි පවා වර්ගවාදී ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව දැනී තිබුණා.

එනිසා ව්‍යවස්ථාදායකය විසින් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග සකස් කර දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කළා. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) සහ (ආ) වශයෙන් ප්‍රතිපාදන දෙකක් දක්වා තිබෙනවා. කිසියම් පුද්ගලයින් පිරිසක් වෙනත් ජාතියකට,වෙනත් ආගමක් අදහන පිරිසකට ඔවුන්ගේ නිදහස අහිමිවන අන්දමින් ක්‍රියා කරනව නම් ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාම‍ාර්ග මෙමඟින් දක්වා තිබෙනවා. නීතිය තුළ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිපාදන පැවතියත් ඒවා භාවිතයට ගෙන තිබුණේ නැහැ.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙරට ‍පොලීසිය විසින් ඒ ඒ පුද්ගලයින් විවිධ හේතු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 71-89 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ රාජ්‍ය විරෝධී ක්‍රියා සහ පසුව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථා රෙගුලාසි ගොනුකරනු ලැබුවා. ඒ හැරෙන්න වෙනත් හැසිරීම් හා ප්‍රකෝප ගැන්වීම් හමුවේ මෙම නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. නමුත් මින් ඉදිරියට සංඥා මාර්ගයකින් හෝ ජාතිවාදීව ආගම්වාදීව මිනිසුන් භේදබින්න වන ආකාරයට හැසිරීම, ක්‍රියා කිරීම අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක්.

* මේ වන විට හදිසි නීතිය අහෝසි වෙලා නේද ?

ඔව්, නමුත් සාමාන්‍ය නීතිය යටතේ වුවත් මේ සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. ඒ තමයි මං මීට ප්‍රථම සඳහන් කළ 291(අ) සහ (ආ) කියන වගන්ති දෙක. නමුත් ජනතාවට මේ පිළිබඳ අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. සමහර උදවිය හැඟීම්වලට වහල් වෙලා තමන් අදහන ආගම හා ජාතිය විශාල කොට සලකලා අන්‍ය ජාතීන් සමග ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙන්නේ ඒ නිසා.

මේ තත්ත්වය විටින් විට මතුවෙමින් යටපත් වෙනවා අපි දැක්කා. ඒ වගේම මෙවැනි අවස්ථා උත්සන්න වන විට ඇතැම් පාලකයනුත් තමන්ගේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත ඒ පිළිබඳව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන නොදැක්කා සේ සිටින ආකාරයත් අපි පහුගිය කාලය පුරාම දැක්කා. මේ නිසා ජාතිවාදීව ආගම්වාදීව ජනතාව පොළඹවා ගනිමින් ඉතාම බලවත්ව කටයුතු කිරීමට මේ අයට ඉඩ ප්‍රස්ථාව ලැබුණා. නමුත් මෙය රටේ අනාගතයට එතරම් සුභවාදී ප්‍රවණතාවයක් නොවන බව අපි දැන්වත් තේරුම් ගත යුතුයි.

* මීට වසර දහයකට පමණ පෙර මේ පිළිබඳව කිසියම් ජාත්‍යන්තර වශයෙන් සම්මුතියක් ඇති කර ගත්තා නේද?

ඔව්, 2007 දී පමණ මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සම්මුතියක් ඇති කර ගන්න සාකච්ඡා ඇති වුණා. ‘සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජත්‍යන්තර සම්මුතිය’ 2007 අංක 56 දරන පනත ස්ථාපිත වන්නේ එහි ප්‍රතිඵලයක් විදියටයි. කෙටියෙන් මෙය හඳුන් වන්නේ අයි.සී.සී.පී.ආර් පනත ලෙසයි. ඉදිරියේදී ජාතීන් අතර කුපිත කිරීම්, අසමගිකම්, ලේ වැගිරීම් ඇති වෙන්න පුළුවන් කියන ස්ථාවරය මත පදනම්ව මේ පනතේ තුන්වැනි වගන්තිය තුළ විශේෂිතව ඒ පිළිබඳව කරුණු දැක්වීමක් සිදු කළා. එනම්,

කිසිම තැනැත්තකු යුද්ධය පැතිරවීම, වෙනස් ලෙසට සැලකීමට, එදිරිවාදිකම්වලට හා ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කිරීම සඳහා ජාතික වාර්ගික සහ ආගමික වෛර සඳහා පෙළඹවීම නොකළ යුතුයි, යනුවෙන් විශේෂිතව සඳහන් කර තිබෙනවා. එසේ ම යම් කෙනකු එසේ කරන්නේ නම්, එහිම අතුරු වගන්තියක ඒ සම්බන්ධයෙන් නෛතිකව කටයුතු කරන ආකාරය දක්වා තිබෙනවා.

ඒ අනුව ඒ වැරැද්ද සිදු කරන ඊට අධාර අනුබල දෙන සහ එහෙම කරනව කියල තර්ජනය කරන සියලු දෙනාම වරදකරුවන් හැටියට මහාධිකරණය විසින් තීන්දු කළ හැකි බව මෙහි දක්වා තිබෙනවා. මීට අමතරව අවුරුදු දහයක් දක්වා සිරගත කර තැබීමට හැකි වන ලෙස දැඩි දඬුවම් පැමිණ වීමට අවශ්‍ය නෛතික රාමුව මේ තුළින් සකස් කර දී තිබෙනවා. මේ ගැන කිසිදු අවධානයක් යොමු නොකර ඇතැම් අයගේ කියුම් බහට රැවටී වර්ගවාදීව ක්‍රියා කිරීමට ජනතාව පෙළඹෙන අකාරය අපි දෙදහස් හතෙන් පස්සෙ දැක්කා.

ඔබ ඉහත සඳහන් කළා ජාතිවාදී හෝ ආගම්වාදී ක්‍රියාවලට අනුබල දීම දඬුවම් ලැබිය හැකි වරදක් බව. නමුත් ඇතැම් මාධ්‍ය ආයතන ඍජුව හා වක්‍ර අකාරයෙන් ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් ඇතිවන ආකාරයට ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියා හුවා දක්වනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයත් ඊට අනුබල දෙන ආකාරයකුයි පෙනෙන්නේ? එවැනි ක්‍රියාවන් මේ නීතිය අනුව වරදක් බවට පත්වනවාද?

ඔබ පැවසුවා ඉතාම නිවැරදියි. එය තමයි හැම දෙනාම අවබෝධ කරගත යුතුම කාරණාව. ජනමාධ්‍යයේ කාර්යය විය යුත්තේ එවැනි දේවල්වලට පෙළඹීම වළක්වල ඔවුන් මානසික වශයෙන් කැළඹීමක ඉන්නව නම් ඔවුන් දැනුවතකර සුවපත් කිරීමයි. නමුත් සමහර ජනමාධ්‍ය හුදෙක් තමන්ගේ ජනප්‍රියත්වය අරමුණු කරගෙන මිනිසුන් තුළ තිබෙන පහත් රුචිකත්වය අවධි කිරීමට පෙළඹී සිටිනවා.

මං සරලව මෙහෙම කියන්නම්, අපි සෑම දෙනෙක් තුළම තිරිසන්ගත යක්ෂයෙක් ඉන්නවා. අපි කුඩා කාලයේ පටන් අපේ සංස්කෘතිය, ආචාර ධර්ම, හා ආගම අපව හුරු කරල තියෙන්නේ මේ යක්ෂයා එළියට එන්න නොදී වළක්වා ගැනීමටයි. නමුත් කවර හෝ ජනමාධ්‍යයක් සිතනව නම්, “නැහැ අප කළ යුත්තේ මේ යක්ෂයා ඇවිස්සීමට උදව් උපකාර කිරීමයි” කියල ඒක වරදක්.

සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජත්‍යන්තර සම්මුති පනත යටතේ කලින් සඳහන් කළ ආකාරයට දෙවන උපවගන්තිය යටතේ එම වරද සිදු කිරීමට ආධාර අනුබල ලබාදෙනව කියන කාරණාව පැහැදිලිව පේනවා. ඔවුන් යොදන ශීර්ෂ පාඨවලින්, රූප රාමු තුළින් සහා ඔවුන් සමග සාකච්ඡා කර මතු කිරීමට උත්සාහ කරන අදහස්වලින් ඒ බව ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා එලෙස කටයුතු කිරීම මේ පනත යටතේ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක්.

* නමුත් ඔබ ඔහොම කිව්වට ඔවුන් පෙරලා චෝදනාවක් එල්ල කාළොත්; ඔන්න යහපාලන ආණ්ඩුවක් ඇවිත් තොරතුරු ලබා ගැනීමේ නිදහස තියෙනව කිව්වට, ඒවට පනත් සම්මත කළාට, ජන මාධ්‍ය මර්දනය කරන්න, වාරණය කරන්න අලුත් උපක්‍රමයක් මේ අනුගමනය කරන්න හදන්නේ කියලා, ඔබ ඒ ගැන කියන්නේ මොකක්ද?

කරුණාකරලා මේක විකෘති නොකර හරියට තේරුම් ගන්න කියල අපි අවධාරණයෙන් කියනවා. නීතිය ඉදිරියේ සියල්ලන් සමානයි. ඒ නීතිමය රාමුව තුළ අපට නිදහසේ කටයුතු කරන්න කවුරු හරි ඉඩ නොදුන්න නම් ඒක තමයි වරද. හොඳින් කල්පනා කරල බලන්න පහුගිය කාලයේ අපට ඒ නීතිමය වපසරිය ඇතුළේ නිදහසේ කටයුතු කරන්න ලැබුණද කියල.

නීතිමය රාමුව ඇතුළේ ක්‍රියා කිරීමට ඉඩ ලබා නොදීම එකක්, ඒ නීති කඩ කරමින් ඔහේ හැසිරෙන්න ඉඩදීලා බලාගෙන ඉන්න එක තව එකක්. ඒ නිසා නීතියට පිටින් ඕනම දෙයක් කරන්න ඉඩ දීලා බලන් ඉන්න පුළුවන්කමක් නැහැ. ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් කඩ කරමින් ඔවුන්ගේ නිදහසට බාධාවන අන්දමින් කටයුතු කරනව නම් හැසිරෙනව නම් ඒ ගැන නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගත යුතුයි. මොකද ඒක රටේ ඉදිරි ගමනට තර්ජනයක්.

ඇතැම් ජනමාධ්‍ය හිතනවා මාධ්‍ය නිදහස දුන්නා කිව්වම ඕන දෙයක් කියන්න කරන්න නිදහසක් තියෙනවයි කියලා, ඒක වැරදි මතයක්. අපිට භාෂණය පිළිබඳ නිදහස, කැමති දේශපාලන මතයක් දැරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස...ආදී වශයෙන් නිදහස ලබාදීල තිබුණට ඒවායේ සීමා කිරීම් දක්වා තිබෙනවා. උදාහරණයකට තොරතුරු දැන ගැනීමේ නිදහස තිබුණට ජාතික ආරක්ෂාවට, කෙනකුගේ පෞද්ගලිකත්වයට හානිවන දේවල්, නෛතික කෘතියක් වුවත් ඒ අයට හිතූමනාපයට උපුටමින් තොරතුරු දක්වන්න බැහැ. ඒවා පුළුල් වශයෙන් අර්ථ නිරූපණය කර තිබෙනවා. ඒ සඳහා වාරණ වෙනම තිබෙනවා.

තවත් එහාට ගියොත් සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂාකර ගැනීමේ පනතක් ඇවිත් තිබෙනව. ඒ අනුව ඔවුන්ගේ චරිතය හුවා දක්වමින් නම් ගම් සහිතව පුවත් පළ කිරීම සම්පූර්ණයෙන් තහනම්. ඒ නඩුවක් පවා වාර්තා කරනව නම් කිසියම් ප්‍රමිතියකට යටත්වයි එය කළ හැකිවන්නේ. සාමාන්‍ය පුද්ගලයින් ඉවත් කරලා අහන සමහර නඩු තියෙනවා.

විශේෂයෙන් ලිංගික අතවරවලට ලක්වුණු දරුවන් හෝ ස්ත්‍රීන් පිළිබඳව නෛතික වශයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට කැළලක් නොවන අන්දමින් ක්‍රියා කළ යුතු වනවා. නැත්නම් දෙසැරයක් ඒ අය දූෂණය වෙනව. ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට නීතිමය ප්‍රතිපාදන ඇති කර තිබෙනවා. ඒ නිසා මෙය මාධ්‍ය වාරණයක්ය මාධ්‍ය නිදහස නැති කිරීමක් ය කියලා කාටවත් කියන්න බැහැ.

* අපි දකිනවා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය වරප්‍රසාදවලට මුවාවෙලා ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ කරනවා. ඒ අයටත් මේ නීතිය වලංගුද? නැත්තම් මේ නීතිය අදාළ වන්නේ සිළිඳුලට විතරයිද ?

මෙතනදි නීතිය සැමට එක හා සමානයි. ඔහු කුමන සමජ තත්ත්වයක් නියෝජනය කළත්, කුමන තරාතිරමක වුවත්, වරප්‍රසාද ලැබූවකු වුවත්, පූජ්‍ය පූජක උතුමකු වුවත් එය නීතියට බලපාන්නේ නැහැ. එනිසා ඉදිරියේදී මේ ආකාරයට හැසිරෙන ක්‍රියා කරන ඕනෑම අයෙක් තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවන්න කටයුතු කරන්න අවශ්‍ය සියලු බලතල පොලීසිය සතුව පවතිනවා.

* නමුත් අපි දකිනවා සමහරු කියනවා මේ තියෙන්නේ සුද්ද හදපු නීති,අපි ඒවට යටත් නැහැ. පුළුවන්නම් අල්ලන්න කියල සමාජය නොමග අරිමින් කටයුතු කරනවා? මේ සම්බන්ධයෙන් ඔබ ජනතාවට කියන්නේ කුමක්ද?

විවිධ පුද්ගලයින් සමාජ වෙබ් අඩවි හරහා හෝ පුද්ගලික දේශපාලන වුවමනා එපාකම් මත හෝ විවිධාකාරයේ දේවල් කියන්න කරන්න පුළුවන්. නමුත් නීතිය කාටවත් සුළුකොට තකන්න බැහැ. කවරකු හෝ නීතිය පිළිබඳව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව තුළ වැරදි මතයක් ඇති කරමින් අපහාසයක් සිදු කරයි නම්, නීතිය කඩා වැටීමට ඉඩ නොදී එය ආරක්ෂා කර ගැනීමට නීතීඥ සංගමය හැටියට අපි මැදිහත් විය යුතුයි.

ඒ නිසා තමයි මේ සමාජය දිනෙන් දින කඩාවැටීමට ඉඩ නොදී ආරක්ෂා කර ගන්න මෙවැනි නීති බලාත්මක කිරීම කළ යුතු බව අප ප්‍රකාශ කළේ. ඒ නිසා පෙර සඳහන් කළ ආකාරයටම ඔහු කවර අයකු වුවත් එවැනි ක්‍රියාවලට පෙළඹෙන්නේ නම් ඉදිරියේ දී නොපැකිලී ඒ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වේවි.

 

සටහන සහ ඡායාරූප
රසික කොටුදුරගේ

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...