බඹරකු සනසා මලක් හැඬුදා ඩයනා කුමරියගේ කඳුළු කතාව | දිනමිණ

බඹරකු සනසා මලක් හැඬුදා ඩයනා කුමරියගේ කඳුළු කතාව

ෆවුස් මොහොමඩ්

පොදු ජනතාවගේ ආදරයට පාත්‍රවූ කුමාරිකාවන් සිටින්නේ අතලොස්සකි. ඒ අතරින් ලොව වඩාත්ම කතාබහට ලක්වූ කාගෙත් ආදරය දිනූ එංගලන්තයේ ඩයනා කුමරියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මීට වසර 20කට පෙර සිය පෙම්වතා වන ඊජිප්තු ජාතික කෝටිපති ව්‍යාපාරික ඩොඩී අල් ෆයිඩ් සමග මෝටර් රථයකින් පැරීසියේ උමං මාර්ගයක ගමන් කරමින් සිටියදී මුහුණ පෑ අනතුරකින් ඇය ජීවිතයෙන් සමුගෙන ගියත් ලොව පුරා ජනහදවත් තුළ ඇය ඉතිරි කළේ නොමැකෙන මතක සටහන් පෙළකි.

ඩයනා කුමරිය ගැන වරින් වර ලොව පුරා ජනතාව කතාබහ කළත් ඊයේ පෙරේදා එය නැවතත් අලුත් වූයේ මීට අවුරුදු 25කට පෙර සිය සමීපතම මිතුරියකගේ සහය ඇතිව ඩයනා කුමරිය විසින්ම පටිගත කරනු ලැබූ ඇගේ ඛේදනීය ජීවිත කතාවේ හඬපටයේ තොරතුරු අනාවරණය වීමෙනි. වසර 20ක් පුරා රැකගෙන සිටි රහසක් එසේ හෙළිවූයේ ඩයනාගේ සැබෑ කතාව පොතක් ලෙස එළිදැක්වීමත් සමගිනි.

වසර 1981 ජූලි මාසයේ 29 වැනිදා චාල්ස් කුමරු හා අතිනත ගනිමින් අසූව දශකයේ මුල් භාගයේ ලොව වඩාත්ම ජනප්‍රිය විවාහ මංගල්‍යයය ලොවට තිළිණ කළ ඩයනා කුමරියගේ විවාහ ජීවිතය හැම අතින්ම සාර්ථක එකක් ලෙස ලොවට පෙනුණත් සැබැවින්ම එය දුක්ඛාන්තයක් බව ඉන් පැහැදිලි වෙයි.

ලොව පුරා මිලියන 750ක රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරැඹූ ඩයනා කුමරියගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් පසුව ඇය ජාත්‍යන්තර මාධ්‍යවලට නැතිවම බැරි චරිතයක් වූ අතර ඇගේ ඇඳුම් ආයිත්තම් මෙන්ම හිසකේ විලාසිතාව ද එකළ ලොව පුරා තරුණියන්ගේ විලාසිතාව බවට පත්වූයේ නිතැතින්මය. දිනපතා පුවත්පත්වල ඇය ගැන ලිපියක් වැරදුණේ කළාතුරකිනි. එහෙත් මේ සියල්ල මැද ඩයනා කුමරිය කඳුළ සුසුම මැද ගෙවූ ජීවිතය ලෝකයට රහසක් විය.

ලොවම කතා කළ මේ ශතවර්ෂයේ රාජකිය විවාහයෙන් සති කිහිපයකට පසුව ඇගේ ජීවිතය එහෙම පිටින්ම අඳුරට හැරුණු බව ඇය විසින් එසේ පාපොච්චාරණය කළ බව මේ ග්‍රන්ථයේ සඳහන් වෙයි. ඇයට සිය සැමියා සහ කැමිලා කුමරිය අතර තිබු දිගුකාලීන පෙම් පළහිලව්ව ගැන දැනගැනීමට ලැබුණේ චාල්ස් කුමරු සමග විවාහ ගිවිස ගැනීමටත් පෙර බව ඇය මේ හඬ පටයෙන් කියා සිටින්නීය.

වසර 1981 පෙබරවාරි මස 24 වැනිදා දෙදෙනා අතර විවාහ ගිවිස ගැනීම සිදුවෙද්දී චාල්ස් කුමරු හා කැමිලා කුමරිය අතර තිබූ පෙම් සම්බන්ධතාව ගැන ඇයට වටින් පිටින් ආරංචි වී තිබිණි. සිය හදවත කම්පාවෙන් පුරවා දැමූ මේ සිදුවීම හෙළිවීමෙන් ඇතිවූ මානසික ව්‍යාකූලතාවය නිසා ඇය බ්ලේඩ්තලයකින් ඇගේ අත කපා ගැනීමට උත්සාහ කළාය. ‘මේ සිද්ධිය දැනගත්තු ගමන් මම සෑහෙන්න මානසිකව වැටුණා. ඒකයි මම බ්ලේඩ් තලයකින් අත කපා ගන්න උත්සාහ කළේ. එදා දිගටම වැස්සා. හොඳටෝම වැස්සා.

‘ ඇය එම හඩ පටයේ එසේ කියා තිබිණි. එවකට 33 හැවිරිදි වියෙහි පසුවූ චාල්ස් කුමරු සමග අතිනත ගන්නා විට 20 හැවිරිදි යොවුන් තරුණියක වූ ඩයනා කුමරියට මේ හදිසි කම්පාව දරාගත නොහැකි තරම් බර වැඩි එකකි. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවූ වින්ඩ්සර් පවුලේ ස්කොට්ලන්ත නිවහන වූ බැල්මෝරල් මාළිගාවේ උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී පවා සිය සැමියාගේ ප්‍රේමය දිනා සිටි කැමිලා කුමරිය සොයා ඇගේ නෙත දිව ගියේය.

‘උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී පවා මා සෙව්වේ ඇය කොහේද කියායි. ඇය එතැන සිටින බව මම දැන සිටියා. එදා රාත්‍රියේ හැමෝම සිටියේ සතුටින්. ඒත් මට සතුටක් දැනුණේ නෑ.‘

එහෙත් ඇය කියා සිටියේ ඒ වනවිට ඇයට සිය පෙම්වතාගෙන් දෙනෙත් ඉවතට ගැනීමට බැරි ලෙස ඔහුට ආදරය කරන්නට පටන් ගෙන තිබූ බවය. ‘මට ඔහු අමතක කරන්න බැරිවුණා. මම ඒ තරමට ඔහුට ආදරය කළා. විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ මේ හැමදෙයක්ම හොඳ අතට හැරේවි කියලයි මම කල්පනා කළේ. කැමිලා ගැන දැනගන්නට කළින් මම හිතාගෙන හිටියේ ලෝකයේ ඉන්න වාසනාවන්තම තරුණිය මම වෙන්න ඇති කියලයි. ඔහු මාව රැකබලාගන්නයි සූදානම් වෙන්නේ. ඔහු ඔටුන්න හිමි කුමාරයෙක්. ඉතිං මම වාසනාවන්ත යුවතියක් නෙවේද..? ඒත් ඒ උපකල්පනය කොයිතරම් වැරැදි ද..?‘

‘ඉතිං මම උත්සව ශාලාවේ ආසන අතරින් ඇවිද යද්දී ඔන්න මම දකිනවා කැමිලා කුමරිය ඉන්නවා. ලා අළුපාට...හිස් වැස්මක් පැළඳ ඇය ඔහු දෙස බලා සිටියා. ඇගේ පුතු ටොම් පුටුවක නැග අප දෙස බලා සිටියා. ඒක අමතක වෙන්නෙ නැති සිද්ධියක්.‘

ඒ වසරේදිම ජූලි මාසයේ 29 වැනිදා ඇය චාල්ස් කුමරු හා අතිනත ගත්තේ මේ සියලු දේවල් දැන දැනමය. එහෙත් ඇය සිතුවේ විවාහයෙන් පසුව සිය සැමියා අතීතය අමතක කර ඇය සමග අලුත් ජීවිතයක් ගත කරනු ඇති බවකි. එසේ වුවත් කැමිලාගේ රුව ඇගේ සිතට නිතර නිතර වද දෙන්නට වූ බව ඩයනා කුමරිය හඬ පටයෙන් අනාවරණය කරන්නීය.

ඇය කියන පරිදි මධුසමය ගත කරන්නට ගිය මොහොතේ පවා කැමිලාගේ රුව ඇගේ සිතට නිතර නිතර වද දුන් බවකි.

‘මධුසමය ගතකරමින් සිටියදී පවා කැමිලාගේ රුව රෑ සිහිනෙන් මා තැති ගැන්වූවා.‘

ඩයනා කුමරිය කියන්නේ විවාහයෙන් පසුවත් චාල්ස් - කැමිලා සම්බන්ධය එක දිගටම ගලා ගිය බවය.

‘මම එයාව (චාල්ස්) විශ්වාස කළේ නෑ කොහෙත්ම.මට හිතුණේ ම එයා මිනිත්තු පහෙන් පහට කැමිලාට දුරකතන ඇමැතුම් දීලා අපේ විවාහ ජීවිතය ගෙවන්න ඕන විදිහ අහන්න ඇති කියලයි. අනික අපි විවාහවුණු අලුත මට දැනුණේ කැමිලා මාව නිරීක්ෂණය කරමින් සිටින බවකුයි.‘

සියලු වේදනා සඟවා ගනිමින්ම ඇය චාල්ස් කුමරු සමග යුගදිවිය ගෙවන්නට කෙන්සින්ටන් මාළිගාවේ පදිංචියට ගියාය. ඒ සියල්ල මැද විලියම් හා හැරී කුමරුට උපත දුන් ඩයනාගේ ජිවිතයෙන් චාල්ස් කුමරු ඈත් වූයේ ඔහුගේ තරුණ වියේ දී කැමිලා පාකර් හා තිබූ පෙම් සම්බන්ධතාව නැවතත් අලුත් වූ නිසාය. සිය බිරියත්, දරු දෙදෙනාත් තනි කොට ඔහු ඉඩ ලද මොහොතේ කැමිලා සොයා ගියේය. ඩයනාගේ සංවේදි සිත වේදනාවෙන් පුරවා දැමූ මේ සිදුවීමෙන් පසුව ඇය සිය ජීවිතයේ වැඩි කාලයක් කැප කළේ ජාත්‍යන්තර මට්ටමේ නොයෙකුත් සුබසාධන කටයුතුවල නිරතවෙමිනි. ඉන් ලද සැනසීම ඇයට සිතට දැනුණු වේදනාව දුරු කරගැනීමට කදිම ඔසුවක් බවට පත්වී තිබිණි.

ඊට වසර 10කට පසුව ඇගේ ජිවිතයේ වඩාත්ම නිර්භීත රාත්‍රීය උදාවී තිබිණි. එදා කැමිලාගේ සොයුරියගේ 40වැනි උපන්දින සාදය පැවැති දිනය විය. එදා 1989 වසරේ පෙබරවාරියේ එක්තරා දිනෙක ඩයනා කුමරිය සිය ජීවිතය අඳුරට තල්ලු කළ ඇගේ පෙම්ලොව ප්‍රතිවාදිනිය වූ කැමිලා කුමරිය මුහුණට මුහුණ හමුවූවාය.

‘මගේ ජීවිතයේ වඩාත්ම වේදනාකාරී සිදුවීම වුණේ සැමියා නැවත කැමිලා කුමරිය වෙත ගිය බව දැනගැනීමයි. එදා කවුරුත් හිතුවේ නෑ මම ඒ විදිහට හැසිරේවි කියලා. මට පුදුම ආත්ම ශක්තියක් දැනුණා. ඒ මගේ දරු දෙන්නා නිසයි.‘ ඇය එසේ කියන්නීය.

‘මම හිතාගත්තා මේ ගැහැනියව මම හාද්දක් දීලා ‘හෙලෝ‘ කියන්නේ නෑ කියලා. ඒ වෙනුවට මම ඇයට අතට අත දුන්නා. ඒක මම කරපු ලොකු දෙයක් හැටියටයි මට දැනුණේ. හැමෝම අපි දෙන්න දිහා බලාගෙනයි හිටියේ. ඒ හැමෝම ඒ වෙද්දී හැමදෙයක්ම දැනගෙනයි හිටියේ. මට කිසිම චකිතයක්, බයක් දැනුණේ නෑ.‘ කැමිලා මෙන්ම චාල්ස් කුමරුද තමාට වැඩිය වයසින් මුහුකුරු ගිය දෙදෙනකු වුවත් එදා උත්සව ශාලාවේ කැපී පෙනෙන චරිතය බවට පත්ව සිටියේ ඩයනා කුමරියයි. ඇය කිසිදු චකිතයකින් තොරව අමුත්තන් සමග සිනහව බෙදා ගත්තාය. සියලුදෙනා සමගම කතාබහ කරන්නට වූවාය.

 එහෙත් මොහොතකින් ඇයට පෙනුණේ සිය සැමියා සහ කැමිලා කුමරිය උත්සව ශාලාවේ නැති බවකි. එය ඇගේ සිත බෙහෙවින් තැති ගැන්මට ලක් කළ සිදුවීමක් විය. ඒ මොහොතේ උත්සවය පැවැති ඉහළ මාලයේ සිටි අමුත්තන් ඇයට කියා සිටියේ ඔවුන් සොයන්නට උත්සාහ නොගන්නා ලෙසයි. එහෙත් ඒ වෙනුවට ඇය නිර්භීත ලෙස ඔවුන් සොයා පහළ මාලයට පිය මැන්නාය.

‘මම පහළ මාලයට යද්දී ඔන්න චාල්ස් මේ ගැහැනිය සමග තවත් පුද්ගලයකු හා කතාබහ කරමින් ඉන්නවා. ඉතිං මම හිතුවා ඔන්න දැන් තමයි මගේ වාරය කියලා. මම එයාලා අතරට ගිය සැනින් එතැන සිටි අමුත්තා කිව්වා දැන් අපි උත්සව ශාලාවට යමු කියලා.‘

‘එතකොට තමයි මම කිව්වේ කැමිලා මට ඔයා එක්ක කතා කරන්න ආසයි.. පුළුවන්ද කියලා. ඊට පස්සේ මම එයාලට කිව්වා හරි ඔයාලා උඩට යන්න මම කැමිලා එක්ක ටිකක් කතා කරලා එන්නම් කියලා. චාල්ස් අමුත්තා එක්ක හිස බිමට පහත් කරගෙන ඉහළ මාලයට ගියේ හරියට කුකුළු පැටවු දෙන්නෙක් වගේ හෙමින් හෙමින්. ඊළඟට මම කැමිලා දිහාවට හැරුණා.‘

‘කැමිලා මෙතැන මොකක්ද වෙන්නෙ කියලා මම හොඳටම දන්නවා. එතකොට එයා පුදුමයෙන් වගේ මා දිහා බලලා මගෙන් අහනවා ඔයා මොනව ගැනද කතා කරන්නේ කියලා මම නම් දන්නෙ නෑ කියලා. එතකොට මම කිව්වා කැමිලා ඔය දෙන්නා අතරේ මොනවද වෙන්නෙ කියලා මම දන්නවා කියලා. එතකොට එයා මට මෙහෙම කියනවා.‘ ‘ඩයනා..ඔයාට හැමදේම ලැබිලා තියෙනවා.

හොඳ සැමියෙක්. ලස්සන හුරුබුහුටි ළමයි දෙන්නෙක්. තව මොනවද ඔයාට ඕනේ කියලා.‘ ‘මට මගේ සැමියා ආපහු දෙන්න..‘ මම කැමිලාට එහෙම කිව්වා. ‘ඔයාට මාව මෝඩයෙක් වගේ පේනවා ඇති. මම තමයි ඔය දෙන්නා අතරේ එකම බාධකය කියලා ඔයාලා හිතන බවත් මම දන්නවා. මම මේ විදිහට කතා කරන එකට සමාවෙන්න. ඒත් මට මෙහෙම කතා නොකර බෑ. එහෙම කියලා මම උත්සව ශාලාවට ගියා.‘ ඩයනා ඇගේ හඬපටයේ එසේ කියා තිබේ.

‘එදා රාත්‍රියේ මම හොඳට කෑවා බීවා. හොඳට සතුටුවුණා. ඒත් කැමිලා පැත්තකට වෙලා හිටියා. ඒක මගේ සතුටට හේතුවක් වුණා.‘ ඩයනා කුමරියගේ හඬ පටයේ තිබුණේ මේ කතාවය.

කැමිලාගේ පෙම් පළහිලව්ව නිසාම සැමියා අහිමි කරගත් ඩයනා කුමරිය පසුකලෙක ඩොඩී අල්ෆයිඩ් සමග ඇතිකරගත් පෙම් සම්බන්ධතාව ඇතැමුන්ගේ අප්‍රසාදයට ලක්වූවත් සැබැවින්ම සිදුවූයේ ඇය ඇගේ සිත අවබෝධ කරගත් පුද්ගලයකුගේ ජිවිතයට ළංවීමය. ඩොඩීට ලියූ අප්‍රමණවූ පෙම් හසුන්වලින් ඇය පුන පුනා කියා තිබුණේ ඒ බවය. ඇගේ අවසන් කාලයේ ඉතා සතුටින් සිටි බව ඇගේ සමීපතම යෙහෙළියන් පසුකලෙක පැවසූහ.

එය ඩොඩීගේ ප්‍රේමය නිසාම ඇතිවූවකි. හැකි ඉක්මනින් විවාහ වීමේ බලාපොරොත්තුවෙන් පසුවූ ඩයනා - ඩොඩී පෙම් යුවළ මෙලොවින් සමුගත්තේ එකටමය. ඩයනාගේ මරණය සිදුවූයේ පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ පටු අරමුණු මග හැරීමට ඇය ගමන් ගත් රථයේ රියැදුරු ගත් උත්සාහය වැරැදීම නිසා බවට වාර්තා පළවී තිබුණත් පසුකලෙක ඒවා අභියෝගයකට ලක්විය. ඩයනා කුමරියගේ මරණය සම්බන්ධව රජපවුලට ඇඟිල්ල දිගුකළ පිරිසක් ද වූහ. කෙසේවෙතත් එය අදටත් නොවිසඳුණු අභිරහසකි.

 

 

නව අදහස දක්වන්න