අමෙරිකානු මානුෂීය සහන කණ්ඩායමට රජයේ ප්‍රණාමය

මහින්ද අලුත්ගෙදර
ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සහාය වීම සඳහා මෙරටට පැමිණි ඇමෙරිකානු මානුෂීය සහන කණ්ඩායමට ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය පිරිනැමීම කොළඔ වරාය පරිශ්‍රයේ දී පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් සහ නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහත්වරු පිළිසඳරක නිරතව සිටි අයුරු.

පසුගිය දා සිදුවූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සහායවීම සඳහා මෙරටට පැමිණි අමෙරිකානු මානුෂීය සහන කණ්ඩායමට ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය පිරිනමයි. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපද (USS Lake Erie) ලේක් ඊරි නෞකාවේ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළකිරීමේ උත්සවයක් කොළඔ වරාය පරිශ්‍රයේ දී පැවැති අතර විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් සහ නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවගේ මානුෂීය සහන කටයුතු සඳහා මේ නෞකාවෙන් භට පිරිස් 300 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණි අතර USS ලේක් ඊරි නෞකාවේ කපිතාන් ඩැරන් මැක්ෆසන් විසින් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිස පිළිගත් අතර එයින් අනතුරුව, සිය කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව තුළ සිදුකළ කාර්යභාරය පිළිබඳව ඩැරන් මැක්ෆසන් විසින් හැදින්වීමක් සිදු කළේය.

මෙහිදී විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා එක්සත් ජනපදය ලබාදුන් සහාය කිසිඳු මොහොතක අමතක කළ නොහැකි බවත් ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද ආපදා තත්ත්වය හමුවේ ඇමෙරිකාව ඇතුළුව ලොව බලවත් රාජ්‍යයන් ලබාදුන් සහාය ඉතා ප්‍රශංසනීය බවත්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු කෙරෙහි විශ්වාසය තබා ජාත්‍යන්තරය මඟින් එවැනි සහායක් ලැබුණු බවද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා ද USS ලේක් ඊරි නෞකාවේ භට පිරිස් වෙත ප්‍රණාමය පිරිනැමීය.

අමෙරිකානු සහන කණ්ඩායම ඉකුත් දෙසතිය තුළ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක විපතට පත් ජනතාවගේ ජිවන තත්ත්වය නඟා සිටුවීම සඳහා විවිධ අයුරින් සහාය ලබාදුන් අතර පාසල් පිරිසුදු කිරීම, ළිං පිරිසුදු කිරීම, වැව් බැමි පිළිසකර කිරීම ඒ අතර විය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද අරමුදල (USAID) මඟින් රුපියල් මිලියන 350කට ආසන්න මුදලක් විපතට පත්වූවන්ගේ සහන කටයුතු සඳහා ලබා දී තිබේ.

පිරිසුදු පානීය ජලය ලබාදීම සඳහා පිරිසුදු කිරීමේ කට්ටල, හදිසි රැකවරණ කට්ටල, නිවාස අලුත් වැඩියා කට්ටල සහ විවිධ රෝග පළවා හැරීමේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා මේ මුදල් ප්‍රදානය කර ඇත. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...