මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අද සිට

ඔලිම්පික් ගිනිසිළුව පලාපත්වල නගරයේදී මාතලේ අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අංශය විසින් හරසරෙන් පිළිගත් අයුරු. ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය අතින් මාතලේ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (ක්‍රීඩා) ධම්මික හේවාවසම් මහතා බාරගත් අයුරු.  ඡායාරූප - මාතලේ දිසා විශේෂ

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙල අද (19) සිට 22දා දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගේ උපදෙස් මත පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන මහතා විසින් සංවිධාන කරන මේ තරගාවලියේදී මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500ක් පමණ තරග වදිති. මෙහිදී අවු.12, 14, 16, 18 හා 20න් පහළ බාලක බාලිකා තරග පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උළෙල අද (19) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරිණි නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය 22 වැනිදා පස්වරුවේ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම සඳහා මධ්‍යම පළාතේ මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ආවරණය කරමින් පාසල් දරුදැරියන්ගේ සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් ගිනි සිළුව රැගෙන ඒම පස්වැනි වරටත් පසුගිය 15 වැනිදා මාතලේ රංගිරි දඹුලු රජමහා විහාරයෙන් ආරම්භ කෙරුණි. එම විහාරස්ථානයේ සිට ගලේවෙල, වහකෝට්ටේ, මිල්ලවාන, අකුරම්බොඩ, පල්ලේපොල, පලාපත්වල ඔස්සේ මාතලේ නගරයටද, මාතලේ සිට වත්තේගම පාර ඔස්සේ මහනුවරට ගිනි සිළුව රැගෙන ඒමට නියමිතය. මෙවර ගලේවෙල, මාතලේ වත්තේගම, කටුගස්තොට සහ මහනුවර යන අධ්‍යාපන කලාප පහ ආවරණය වන පරිදි පාසල් 70 ක පමණ දරුදැරියන්ගේ දායකත්වය ලැබි තිබිණි.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාවට මධ්‍යම පළාතේ පාසල් දරුවන්ගේ දායකත්වය ලබාගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය මුල්වරට ආරම්භකර ඇත්තේ 2013 වසරේදීය. ක්‍රීඩාව පිළිබ‍ඳව පාසල් දරුවන්ගේ අභිමානය ගොඩනැගීමත් ප්‍රජාව දැනුවත් කිරීමත් මෙම ව්‍යාපෘතිය වාර්ෂිකව පැවැත්විමේ අරමුණ වී ඇතැයි මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන මහතා ‘දිනමිණ’ට පැවසීය.

පසුගියදා රංගිරි දඹුලු රජමහා විහාරයේ සිට අධ්‍යාපන කලාප පහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින් මහනුවර දක්වා රැගෙන ආ ගිනි සිළුවෙන් අද (19) මහනුවර බෝගම්බර ක්‍රිඩාංගණයේදී ආරම්භ වන 2017 මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමට නියමිතය. මෙවර ඔලිම්පික් පහන දැල්වීම ආසියාතික යොවුන් ක්‍රීඩා උළලේ මීටර් 800 රිදි පදක්කම දිනු වලල ඒ රත්නායක ම.ම.වි හර්ෂණ දිසානායක ක්‍රීඩකයා සහ 2017 පොදුරාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට මීටර් 400 කඩුලු ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අඹගමුව ම.ම.වි කාවින්ද්‍යා සත්සරණි ක්‍රීඩිකාව අතින් සිදුකෙරේ. ගිනිසිළුව රැගෙන ඒමේදී පාසල් දරුදැරියන් හා ප්‍රජාව මහත් හරසරින් පිළිගැනීමද විශ්ෂත්වයකි.

මාතලේ දිසා විශේෂ අසෝක හිඳගොඩ සහ මාතලේ දිස්ත්‍රික් සමූහ

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...