රෝස පැහැති ලෝකයක් | දිනමිණ

රෝස පැහැති ලෝකයක්

ෙරා්ස තල්මසා

ළමුන් හා කාන්තාවන් අතර ජනප්‍රියම වර්ණය රෝස පැහැයයි. එසේ කියූ පමණින් කාගේත් සිහියට නැඟෙන්නේ රෝස පැහැය තම ආවේණික වර්ණය කරගත් බාබි බෝනික්කන්, ආදරවන්තයන්ගේ සැමරුම්, හා බබල්ගම් වැනි දේයි. පියයුරු පිළිකා මර්දන ව්‍යාපාරය ඇතුළු බොහෝ ව්‍යාපෘති හා සන්නාමයන් සඳහා නිර්දේශිත වර්ණය බවට පත්ව තිබෙන රෝස පැහැයට සිත සන්සුන් කිරීමේ හැකියාවක් ඇති බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. නමුත් මේ සුන්දර පැහැය වර්ණයක් ලෙස හැඳින්වීමට තිබිය යුතු තරංග ආයාමයකින් හෝ අංශුවලින් හෝ සැදුණක් නොවනවා මෙන්ම දෘශ්‍ය වර්ණාවලියේ පිහිටි වර්ණයක්ද නොවේ. අප රෝස පැහැය දකින්නේ එය සැබෑ ලෙසම පවතින නිසා නොව එය පවතින බව අපගේ මොළය විසින් පිළිගන්නා නිසාය. පුදුමයක් වුවත්, ඊටත් වඩා පුදුම විය යුත්තේ වර්ණයක් නොවන වර්ණයක් වන රෝස පැහැය ස්වභාවිකව පැවතිය නොහැකි යැයි අප සිතන විරල ස්වභාවික නිමැවුම්වලට ලැබී තිබීමයි. මේ සොබාදහම සමඟ එතරම් සැබැඳියාවක් නැතැයි අප සිතන රෝස පැහැයෙන් සොබාදහම සොඳුරු කළ විරල පිහිටීම් හා ජීවීන් පිළිබඳවයි.

රෝස පැහැයෙන් සිත්තම්වු ස්වභාවික පිහිටීම් අතර ඕස්ට්‍රේලියාවේ ‘හිලියර්‘ විල, ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ‘කාගිල් විල්‘ හා සෙනෙගලයේ ‘රෙටිබා‘ විල නැරඹිය යුතුම අතිශය මනස්කාන්ත ස්ථාන ය. මෙම විල්වල රෝස පැහැයට හේතුව ඒවායේ වැඩෙන ‘ඩුනලියෙලා‘ නමැති ඇල්ගී විශේෂයයි. විල්වල ජලයේ ඇති අධික ලවණ සාන්ද්‍රණය ඩුනලියෙලා ඇල්ගී වර්ධනයට පොහොසත් මාධ්‍යයක් සපයන අතර එම තත්ත්වය යටතේ දැඩි හිරු රශ්මිය හොඳින් අවශෝෂණය කර ගනිමින් තද රෝස පැහැයෙන් වර්ධනය විමට ඩුනලියෙලා ඇල්ගී විශේෂය සමත් ය. ලවණ, ඇල්ගි හා හිරු රශ්මිය යන සංඝටක නියමිත මාත්‍රාවන්ගෙන් සංකලනය වූ විට මෙම විල් වසරේ ඇතැම් කාලවලදී රෝස පැහැය ඉක්මවමින් තද රතු පැහැ ගන්නා අවස්ථාද නැතුවා නොවේ. මේ අතරින් කාගිල් ලවණ විල් කෙතරම් පැහැදිලිළි සොඳුරු වර්ණ රටාවක් මවන්නේද යත්, අභ්‍යාවකාශ යානාවල සිටින ගගනගාමින් පිහිටීම සටහන් කර ගැනීමට දෘශ්‍ය සංකේතයක් ලෙසද කාගිල් විල් භාවිතා කරති. හිලියර්විලට හිමිව තිබෙන ආවේණික රතු පැහැයට හුරු තද රෝස පැහැයට එහි ලවණ මිශ්‍රිත ජලයේ අඩංගු වෙනත් බැක්ටිරියා විශේෂ ද වගකිව යුතු බව පවසන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එය මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් බවයි. 1900 දී පමණ මෙම විල ආශ්‍රිතව සම් පදම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර විල් ජලයේ අඩංගු අතිරේක බැක්ටීරියා විශේෂ එම ක්‍රියාවලියේ දී එකතු වන්නට ඇති බව සැලකේ.

සුරංගනා කතාවකින් කලඑළි බැසි දසුනක් යැයි සිතෙන තරමට බහාමාස්හි හාබර් දිවයිනේ සැතපුම් තුනක් දිගට විහිදි ඇති රෝස පැහැති වෙරළ තීරය, මනස්කාන්තය. වෙරළේ ආරක්ෂාවට ස්වභාවිකවම පිහිටි කොරල් පද්ධතිය එහි රෝස පැහැයේ හිමිකරුවා වන්නේ ය. කොරල් පරය තම නිවහන කරගත් ඒක සෛලික ක්ෂුද්‍රජීවින් විශේෂයක් වන ෆොරැමිනිෆෙරාවන් දීප්තිමත් රෝස පැහැති පිට කටුවක් සහිත සත්ත්ව විශේෂයකි. ජීවත්ව සිටියදී කොරල් පරයේ පැවැත්ම වෙනුවෙන් කැපවන මෙම අපුරු ක්ෂුද්‍රජීවි විශේෂය මිය යෑමෙන් පසු ඔවුන්ගේ වර්ණවත් කටු සැඩ පහරට හසුව බිඳීගොස් වැල්ලට එක්රැස් වන්නේ වෙරළ තීරය සිය රෝසපැහැයෙන් වර්ණවත් කරමිනි. 1886 දී හටගත් භුමිකම්පාවක් හේතුවෙන් දියේ ගිලී සදහටම නොපෙනී යාමට පෙර නවසීලන්ත ජාතිකයින්ගේ අභිමානය ලෙස සැලකුණු රොටොමහානා විල් මළුව ලොව අනර්ඝම තත්ත්වයේ රෝස පැහැති ක්වාර්ට්ස් තැන්පතුවක් ලෙස සැලකෙන්නකි. මෙම පාෂාණ තලාවේ රෝස පැහැයට හේතුවූයේ ඊට කලවම්ව තිබු කිසියම් රසායනික අපද්‍රව්‍යක් බවයි විශ්වාස කෙරෙන්නේ. නවසීලන්තවාසීන් අතර ලොව අටවන පුදුමය ලෙසද ප්‍රකව තිබුණු මෙම පාෂාණ තලාවන් දියේ ගිලී සදහටම අහිමිව ගිය බව සිතුවත්, වසර එකසිය පනහකට පසු ගැඹුරු විල් පත්ලේ තිබි යළි සොයා ගැනුණේ සෝනාර් තරංග ආධාරයෙන් සිදුකළ ගවේෂණවලිනි. නමුන් අදට එලෙස ඉතිරිව තිබෙන්නේ පෙර පැවති ප්‍රමාණයෙන් 10%ක් පමණි.

සත්ත්ව ලෝකයෙන් හමුවන විරල රෝස පැහැති ජීවියකු වන්නේ රෝස ඩොල්ෆින් ය. දකුණු ඇමරිකාවේ ඇමසන් නදිය ඇතුළු ගංගා හා මිරිදිය ජලාශවලට පමණක් සීමාවූ මොවුන් ප්‍රමාණයෙන් අඩි නවයක් පමණ දිගු වන අතර බරින් කිලෝ එකසියහැටක් පමණ වේ. වයසින් වැඩෙත්ම රෝස පැහැය උරුම කර ගන්නා මෙම ඩොල්ෆින් මසුන් අතරින් දිප්තිමත්ම රෝස පැහැයට හිමිකම් කියන්නේ පිරිමි සතුන් ය. නිතර කලහ කර ගන්නා ආවේගශීලි ගති පැවතුම්වලින් යුතු සත්ත්ව කොට්ඨාශයක් ලෙස සැලකෙන රෝස ඩොල්ෆින් මත්ස්‍යන්ගේ ශරීර වර්ණය එලෙස සටන් වැදිමේදී සම තුවාල වීමෙන් ලැබුණක් බවටද මතයක් තිබේ. ඕකිඩ් වන්දා හා රෝස තණකොළපෙත්තා කෘමි ලොවෙන් හමුවන රෝස පැහැය උරුමකර ගත් විරල සාමාජිකයින් දෙදෙනෙකි. වරක් බැලු පමණින් උඩවැඩියා මලකින් වෙන්කර ගැනීමට අසීරු ඕකිඩ් වන්දාගේ මුලු සිරුරම රෝස පැහැති උඩවැඩියා මලක ස්වරූපය ගනී. සත්ත්ව ලෝකයේ අපුර්වතම අනුවර්තනයක් දක්වන ඕකිඩ් වන්දා, ඒ නිසාම සුවඳවත් උඩවැඩියා මලකටවත් ආකර්ශනය නොවන ආකාරයේ කෘමීන් පවා තමන් වෙත ගෙන්වාගෙන ගොදුරු කරගැනීමට සමත් ය.

දිගු කලක සිට විද්‍යාඥයින් අතර පිළිගත් මතය වූයේ උතුරු ඇමරිකාවේ රෝස තණකොළ පෙත්තාගේ රෝස පැහැය නිලීන ජානයක බලපෑමෙන් හටගන්නා විකෘතියක් බවයි. එනම් මිනිස් ජනගහනයක ඇලි මිනිසුන් බිහිවන ආකාරයටයි. නමුත් ඇත්තෙන්ම රෝස පැහැය යනු මෙම තණකොළ පෙති විශේෂයේ ප්‍රමුඛ වර්ණය බව මෑතකදී අනාවරණය වුයේ, එසේ නම් රෝස පැහැති තණකොළ පෙත්තන් මෙතරම් විරල වන්නේ ඇයිද යන පැනයද සමඟයි. කොළ පැහැති පරිසරය තුළ ඉස්මතු වී පෙනෙන වර්ණයක් වන රෝස පැහැය නිසා මොවුන් අධිකව විලෝපීයන්ට ගොදුරු වන බව ඒ අනුව පිළිගැනීමට සිදුවිය. මොවුන් කෙතරම් විරලද යත් නිව් ඕර්ලියන්ස් ජනපදිකයින් අතර මෙබදු කියමනක්ද තිබේ.

“ රෝස තණකොළ පෙත්තෙක් ආදරවන්තයන්ගේ දිනයේදී ඔබේ උරහිස මත වසයිද, එම වසරේදි ඔබට සැබෑ ආදරය හමුවනු ඇත“

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න