ක්‍රිකට් සහ ශෝකයේ රසය | දිනමිණ

ක්‍රිකට් සහ ශෝකයේ රසය

අපි ක්‍රිකට් ක්‍රීඩාව සමග හැදී වැඩුණු අය වෙමු. කාලයත් සමඟ මිනිසුන්ගේ බොහොමයක් ආශා වියැකී යයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම එසේ නොවේ. ඇන්ටනා කූරට සාප කරමින් හෝ එදවස හැම තරගයක්ම අප විසින් බැලිණි. මන්ද යත් ගුවන්විදුලි විස්තර ප්‍රචාරය සහ රූපවාහිනී විකාශය හැරුණු කොට ක්‍රිකට් ක්‍රීඩාව හා යාවත්කාලීන වීමට වෙනත් මාධ්‍යයක් අප සතු නොවීමෙනි.

නමුත් තාක්ෂණික යුගයේ දී ක්‍රිකට් අප ජීවිත සමඟ පෙර නොවී විරූ අයුරින් සමීප වී ඇත. පන්දුවෙන් පන්දුවට විස්තර විචාරයකුත් සමග යාවත්කාලීන වීමට හෝ අනික් අය යාවත්කාලීන කරවීමට හැකියාවක් ඇත. ගෙවත්තේ මායිම් හතරට සීමා වී කරන ක්‍රීඩාව වුවත් ජාත්‍යන්තරයට ගෙන යාමට ඇත්තේ ඇඟිලි තුඩක දුරකි.

ක්‍රිකට් අවසාන මොහොත තෙක්ම අවිනිශ්චිත ක්‍රීඩාවකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු ක්‍රීඩා ලෝලියෙකුට අවසානය ළඟා කිරීමට හැකි ක්‍රීඩාවකි. මන්ද යත් පරාජය භාරගෙන සිටින අවස්ථාවක ජයග්‍රහණයක් ලැබීමේ සම්භාවිතාව අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ බැවිනි. කටුකම්බිවලින් සැදි බෝලයක් සිරුර අභ්‍යන්තරයේ නැවතීමක් නැතිව එහාට මෙහාට දෝලනය වීම වැනි හැඟීමක් ක්‍රිකට් තරඟයක් නැරඹීමෙන් ලැබිය හැකිය.

මේ නිසාම ක්‍රීඩාව නරඹන්නෙකුගේ හැඟීම් සහ ආවේග විශාල පරාසයක පිහිටයි. ඒවා කෙසේ හෝ පිට කරගත යුතුය. නැතිනම් පෙර සඳහන් කළ පරිදිම ජීවිතය ක්‍රීඩාවක් නැරඹීම නිසා අවසන් වෙනු ඇත. මෙය ගොතන ලද ප්‍රබන්ධයක් නොවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අතින් අන්තර්ජාලය මහත් වූ සද්කාර්යයක් සිදු කරයි. පන්දුවෙන් පන්දුවට ක්‍රීඩා ලෝලියාට දැනෙන හැඟීම ප්‍රකාශ කිරීමට අන්තර්ජාලය වේදිකාවකි. අන්‍යයන්ට විටක එය හිසරදයක් විය හැකිය. නමුත් අදාළ අවස්ථාවේ මිනිස් චෛතසික පිළිබඳ අවබෝධයක් ඇත්තෙකුට ඒ දෙස උපේක්ෂාවෙන් බැලිය හැකිය.

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. එය ශ්‍රී ලංකාවේ පිළට සහ ඉන්දියානු පිළට ස්වර්ගමෝක්ෂ සම්පත්ති පවා උදා කර දිය යුතු තරඟයකි. මන්දයත් ලාංකිකයන්ට එය ලෝක කුසලානය ජය ගත්තා හා සමාන හැඟීමක් වන බැවිනි ; ඒ තරම් සතුටක් අපට අත්කර දුන් බැවිනි.

නමුත් ඊට දවස් කිහිපයකට පසු තරඟ කරන්නට යෙදුණු පකිස්තානයට එදිරි තරඟය ශ්‍රී ලංකා පිළට ජය ගැනීමට නොහැකි විය. ජයග්‍රහණය සේම පරාජයද විඳ දරා ගැනීමේ හැකියාව පිළිබඳ ලාංකිකයන් වන අපට දේශන දීම අනවශ්‍යය ය. මන්දයත් ඕනෑම අන්ත පරාජයකට පසු දින කිහිපයක් තුළ යළි ජයග්‍රාගී මානසිකත්වය අප තුළ දලුලන බැවිනි.

මේ නිසා ඉහත සඳහන් කළ පරාජය මොහොතකට හෝ ආවේගශීලීව විඳීමට අයිතියක් ඕනෑම ක්‍රීඩා ලෝලියෙකුට හිමිය. ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඕනෑ තරම් තිබියදී පරාජය විණි නම් එම ආවේගය වැඩි ය. මේ නිසා දින කිහිපයකින් කල් ඉකුත්වන මෙම ආවේගයට සම්බාධක පැනවීම බක පණ්ඩිත කමකි. දරුවෙකු වරදක් කළ තැන වැඩිහිටියෙකු ඒ මොහොතෙහි ඔහුට බැණ වැද ටිකකින් එය අමතක කරයි. ඔහු කෙරේ ජන්මාන්තර වෛරයක් ඇති කර නොගනී. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ද එය එසේමැයි.

වාර්ගික හේතු මත බෙදී සිටින අප එක් කරන ප්‍රබල සාධකයකි ක්‍රීඩාව. ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වේ. සතුට සහ දුක අපට දැනෙන ආකාරය සමානය. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ අපේ ළමා මතක එක සමානය. ක්‍රීඩාවේ වීරයන් අප සියල්ලගේ වීරයන් ය. අපේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඉපදෙන බලාපොරොත්තුවේ හැඟීම සමානය.

පරාජය නිසා ඇති වූ දුක මිශ්‍ර ආවේගය ක්‍රීඩකයන් කෙරේ සදහටම නොපවතින්නකි. රටක් නියෝජනය සඳහා යැවුණු පිරිසක් නිසා කෝපයක් ඇති වීම ද සාධාරණය. නමුත් එය ඉක්මන් අවසානයක් ඇති හැඟීමකි.

ශ්‍රී ලාංකිකයන් සහ ක්‍රිකට් අතර අවියෝජනීය බැඳීම නොදත්තෙකුට එය පරාජය ඉවසාගත නොහැකි දුර්වලකමක් ලෙස දැකිය හැකිය.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න