ජාතියේ මුරගල්! | දිනමිණ

ජාතියේ මුරගල්!

අගමැතිවරයා ඉතා නිර්භීත ප්‍රකාශයක් කර ඇති සේම; ඒ අනුව ක්‍රියාත්මක වන බව ද පෙනෙන්නට තිබේ. මේ ප්‍රකාශයෙහි හරය ගතහොත් රටේ පවත්නා අන්තවාදයට, ආගම්වාදයට හා ජාතිවාදයට මින් පසු කිසිදු බුරුලක් ලැබෙන්නේ නැත. එබඳු ක්‍රියාවලට සම්බන්ධ අයට නීතිය අකුරට ම ක්‍රියාත්මක වන අතර අවශ්‍ය නම්; අලුත් නීති සම්පාදනයට ද රජය සූදානම් ය. තිස් අවුරුදු යුද්ධයක් පරාජය කළ බවට ද; මිනීමරු ත්‍රස්තවාදයක් මර්දනය කළ බවට ද වහසි බස් දොඩන අපි ඒවාට අදාළ පසුබිම හා හේතු - සාධක විමර්ශනය නොකළෙමු. ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම ද නොයෙදුවෙමු.

යුද්ධය අවසන් වූ විගස අප කළ යුතුව තිබුණේ ජාතිවාදයට හා ආගම්වාදයට වැට බැඳීම ය. එහෙත් එදා සිටි පාලකයන් එබඳු බුද්ධිමත් තීරණයකට ගියේ නැත. ඒ වෙනුවට ඔවුන් අතින් සිදු වූයේ ජාතිවාදය හා ආගම්වාදය දේශපාලන වාසිය උදෙසා පාවිච්චි කිරීම ය. මේ නිසාම යුද්ධය අවසන් වුව ත්‍රස්තවාදී මතවාදය අවසන් වූයේ නැත. යුද්ධයේ අවසන් ප්‍රතිඵලය විය යුතුව තිබුණේ ත්‍රස්තවාදී හෝ බෙදුම්වාදී හෝ මතවාදය ද පරාජය කිරීම ය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. බරපතළ ගැටුමකින් පසු දකුණු අප්‍රිකාවේ බලයට පත් වූ නෙල්සන් මැන්ඩෙලා පළමුව සිදු කළේ වර්ගවාදයේ විනාශයට හේතු-සාධක වූ පුද්ගලයන් හා සංවිධාන නීතිය හමුවට ගෙන ඒම ය.

නිදහසින් පසු ගෙවී ගිය ඉතිහාසය දෙස නැවත හැරී බැලුහොත්; ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් රාශියක් ඇති වී තිබේ. මේවා නිසා සිදු වූ ජීවිත හානි හා දේපොළ හානි ඉතා බලවත් ය. ඊටත් වඩා බරපතළ තත්ත්වය වන්නේ ජාතීන් අතර විශ්වාසය මේ නිසා ඛේදනීය ලෙස බිඳවැටීම ය. එහෙත් අදාළ සිද්ධීන් පිළිබඳ නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වූයේ නැත. එදා පාලකයන් ඒ ගැන උනන්දුවක් දක්වා ඇත්තේ ද නැත. අවසන් ලෙස 2014 දී ද ආගම්වාදී ගැටුම් කිහිපයක් ඇති විය. ඒවාට මුල් වූයේ පාලක පක්ෂයේ අනුග්‍රහය ලැබූ අන්තවාදී සංවිධාන කිහිපයකි. මේ සිද්ධි සම්බන්ධයෙන් සාධාරණ විමර්ශන පවා සිදු වී නැත. ඒවා යට ගැසූ දේවල් ලෙස හැඳින්වීම වඩා නිවැරැදි ය.

ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් බරපතළ විවේචන ඉදිරිපත් කරන විශාල පිරිසක් රටේ සිටිති. එහෙත් මානව හිමිකම් කොමිසම විමසා සිටින ඇත්ත ප්‍රශ්න ගැන ඔවුන්ගේ අවබෝධය ඉතා අල්ප ය. යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවේ පාලකයන් ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම සඳහා කළ යුතු බොහෝ දේවල් තිබිණි. එහෙත් ඒ එකක්වත් සිදුවූයේ නැත. මානව හිමිකම් කොමිසම පමණක් නොව; අන්තර්ජාතික ක්ෂමා ආයතනය, හියුමන් රයිට්ස් වොච් සංවිධානය හා තවත් සංවිධාන ගණනාවක් මීට අදාළ චෝදනා ගොනු කර තිබිණි. එහෙත් අපේ පාලකයන් කළේ බටහිර රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණ ලෙසින් සලකා ඒ සියල්ල ඉවත දැමීම ය. මේවා බුද්ධිමත් දේශපාලන තීන්දු ලෙස සැලකිය නොහැකි ය.

ජනාධිපතිවරයා මෙන් ම ජනමාධ්‍ය අමාත්‍යවරයාද දින දෙකකට ඉහත දී කළ ප්‍රකාශ දෙකක් අප සිහියට නැ‍ඟේ. ඒ ප්‍රකාශවල ඒකායන හරය ගතහොත් අපේ ජාතික වැඩපිළිවෙළට මුරගල් තුනක් තිබේ. එක ප්‍රජාතන්ත්‍රවාදය යි. දෙක ජාතික සංහිඳියාව යි. තුන සංවර්ධනය යි. ජනමාධ්‍ය පවා මේ මුරගල් තුන ගැන මනා වැටහීමකින් ක්‍රියා කළ යුතු බව ඇමැති මංගල සමරවීර මහතා පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සැලැකිය යුතු කාලයක් තුළ අපට අහිමි වී තිබිණි. එදා පැවැතියේ ඒකාධිපති පවුල් පාලනයකි. දැන් එය වෙනස් වී ඇත. ජනවාරි අට දේශපාලන වෙනසින් පසු සංහිඳියාව ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතීන් අතර සංහිඳියාව නැති ව ලබාගත හැකි සංවර්ධනයක් ද නැත.

තිස් වසරක යුද්ධය නිසා ද, වෙනත් ගැටුම් නිසා ද ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පමණක් නොව; සාමාජික හා දේශපාලනික වශයෙන් ද බොහෝ පසුපසට ගමන් කළේ ය. නිදහසින් පසුව ගෙවී ගිය ඉතිහාසය දෙස ආපසු හැරී බලනවිට එය හොඳින් පැහැදිලි වෙයි. කිසිදු දේශපාලන පක්ෂයක් මේ තත්ත්වය හොඳින් වවටහාගත් බවක් පෙනෙන්නට නැත. වාමාංශික පක්ෂ පවා ජාතික සමගිය ගැන සංවාද ඇති කළා මිස; ඊට අදාළ යථාර්ථවාදී වැඩසටහනක් ක්‍රියාත්මක කළේ නැත. දැන් අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක වැඩසටහන් මිස සංවාද නො වේ. ජාතිවාදය හා ආගම්වාදය පතුරවන අන්තවාදී සංවිධාන හා පුද්ගලයන් ගැන සොයා බැලීමට ද, ඔවුන් වරදක් කරන්නේ නම්; නීතිය ක්‍රියාත්මක කිරීමට ද පොලීසියට බලය ලබාදීම ඉතා හොඳ තීන්දුවකි.

නීතියෙන් සියල්ල කළ නොහැකි බව සත්‍යයෙකි. එහෙත් නීතියට ශිෂ්ට සමාජයක් ගොඩනැගීමේ පදනම ඇති කළ හැකි ය. ශිෂ්ට සමාජය කිසිවිටෙක ජාතිවාදය අනුමත කරන්නේ නැත. ආගම්වාදය අනුමත කරන්නේ ද නැත. ගැටුම් ඇති වූ සෑම අවස්ථාවක්ම නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ එහිදී ශිෂ්ටත්වය ඉතා බරපතළ ලෙස කෙලෙසී ඇති බව ය. මට ඇති අයිතිය අනෙකාට ද ඇතැ’යි සිතන්නට හැකි නම්; ශිෂ්ටත්වය ගොඩනැඟිය හැකි ය. සමාජයක් නීතිගරුක වන විට ඉහත අයිතිය පිළිගැනීමට සිදු වේ. නීතිය මෙහිලා වැදගත් වන්නේ ඒ නිසා ය. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ජාතීහු හතරක් ජීවත් වෙති. සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් වශයෙන් ය. තවත් සුළු ජන කොටස් ද ගත් කල ජාතීන් පහළොවක් හෝ දාහතක් හෝ රට තුළ ජීවත්වන්නේ යැයි කිව හැකි ය. ප්‍රධාන ආගම් හතරක් රටේ පවතී. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් වශයෙනි. මේ හැරෙන්නට තවත් ඇදහීම් ගණනාවක් ද පවතී. කුමන වර්ගයකට අයත් වුව කුමන ආගමක් පිළිපදින්නේ වුව ඒ සියලු දෙනාටම තිබිය යුත්තේ සමාන අයිතිවාසිකම් ය. කිසිවකු එම අයිතියට බාධා කරන්නේ නම්; එය නීතියෙන් දඬුවම් ලබාදිය යුතු වරදකි.

මේ ටික තේරුම්ගත හැකි නම්; ජාතිවාදය හෝ ආගම්වාදය හෝ ඇවිස්සීමට කිසිවකු යන්නේ නැත. මේ කොයිවාදය පසුපස වුව ඇත්තේ මෝහය හෙවත් මෝඩකමය. 

නව අදහස දක්වන්න