ඩෙංගු මෙහෙයුම! | දිනමිණ

ඩෙංගු මෙහෙයුම!

 පුංචි මදුරුවෙක් රටක් කලඹමින් සිටී; යනුවෙන් මේ තීරය ආරම්භ කළ හැකි ය . බරපතළ ආයුධ සහිතව ද? මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිත ව ද ක්‍රියාත්මක වූ ත්‍රස්ත කල්ලියක් මුළුමනින්ම පරාජය කළ ශ්‍රී ලංකාවට මේ මදුරුවා තව ම යටත් කර ගත නො හැකි වූ බව සඳ හන් කරමින් තවදුරටත් අදාළ ගැටලුව විග්‍රහ කරගෙන යා හැකි ය. ඩෙංගු මදුරුවා සිය පැවැත්ම හා ස්වභාවය මුළුමනින් ම වෙනස් කරගෙන තිබේ. ඌ තවදුරටත් පිරිසුදු වතුරේම බිත්තර දමන්නේ නැත. වැසිකිළි වළවල් තුළ ඩෙංගු බිත්තර යහමින් ඇති බව පර්යේෂණවලින් සනාථ වී තිබේ. ඌ දෂ්ඨ කරන වෙලාවල් ද වෙනස් කරගෙන තිබේ.

අලුත් ම සොයාගැනීම් වලින් පෙනී යන්නේ මේ මදුරුවාට පුදුමාකාර අනුවර්තන හැකියාවක් ඇති බවය. ඩෙංගු මදුරුවාට තේ හැන්දක වතුර ස්වල්පයක බිත්තර සියයක් දමන්නට හැකි බව සොයාගෙන තිබේ. මදුරු වර්ගයේ ගැහැනු සතා දින හතළිස් පහක් ජීවත්වන බවද එම කාලය තුළ බිත්තර එක්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් දමන බව ද සොයාගෙන ඇත. ගස්බෙන, බොකුටු ගැසුණු කොළ, මල් ගස්වල වතුර රැ‍ඳෙන තැන් පමණක් නොව; රඹුටන් ලෙලිවල පවා ඩෙංගු මදුරුවා බිත්තර දමන බව කියති. කැළි - කසළ ශුද්ධ කිරීමෙන් පමණක් ඩෙංගු මදුරුවා මර්දනය කළ නොහැකි බව මෙයින් පෙනී යයි.

දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද මදුරුවාට එ‍රෙහි ප්‍රහාර දියත් කර තිබේ. බී. ටී. අයි. බැක්ටීරියාව ඉසීමෙන් මදුරුවා තුරන් කළ හැකි බව කියැවිණි. එහෙත් එය සිදුවූයේ නැත. බෙහෙත ඉස්සද මදුරුවා යහතින් සිටියේ ය. ලුණු හා ක්ලෝරීන් සැක සහිත ස්ථානවල ජලයට මිශ්‍ර කිරීමෙන් මදුරුවා මර්දනය කළ හැකි බව කියැවිණි. එය සාර්ථක වූයේ ද නැත. මදුරු කීටයන් අල්ලන උගුලක් ගැනද ඇහැළ මල් වලින් හදන බෙහෙතක් ගැනද බුලත් යුෂවලින් මදුරුවා පලවා හරින ක්‍රමයක් ගැන ද කියැවිණි. එහෙත් එක ක්‍රමයක් වත් සාර්ථක වූයේ නැත. පසුගිය මාස හය තුළ ඩෙංගු රෝගීන් හැට දහස් ගණනක් වාර්තාවීමෙන් ද ඒ බව සනාථ වෙයි.

ආණ්ඩුවේ අලුත් ම තීර ණයට අනුව සිකුරාදා දිනයේ පැයක් ඩෙංගු මර්දනය වෙනුවෙන් කැප කළ යුතුය. ඒ අනුව සියලු රාජ්‍ය ආයතන, පාසල්, රෝහල් පමණක් නොව; ‍පෞද්ගලික ආයතන පවා සතියට පැයක් යන ලෙසින් ඩෙංගු මර්දනයට එක්විය යුතුය. ‍මෙය ඉතා වැදගත්, තීන්දුවක් ලෙසද වැදගත් කාර්යයක් ලෙස ද සඳහන් කළ හැකි ය. ඩෙංගු මදුරුවා පරිසරයේ නිර්මාණයකි. පරිසරය ඌට නො ගැළපෙන ලෙස සකස් කළ හොත් මදුරුවා මර්දනය කිරීම පහසු වනු ඇත. මේ කාර්යය සඳ හා නිලධාරීන් මෙන් ම ජනතාව ද අවංක කැපවීමක් සිදු කළහොත් ඩෙංගු පරාජය කළ හැකි යැයි සිතන්නට පුළුවන.

ඩෙංගු මර්දනයේ දී මදුරුවා හා උගේ පැවැත්ම ගැන මහජනයා දැනුම්වත් කිරීම ඉතා වැදගත් ය .ඒ සඳහා අලුත් ම පර්යේෂණ අවශ්‍ය වේ. මුලින් පළවූ මතයක් වන්නේ ඩෙංගු මදුරුවා නිශ්චල ජලයේ බිත්තර දමනබව ය . එය දැන් වෙනස් වී ඇත. නිශ්චල ජලයේ මෙන්ම චංචල ජල‍යේ ද ඩෙංගු මදුරුවා බිත්තර දමන බව සොයාගෙන තිබේ. ඒ අනුව තැඹිලි කෝම්බ, යෝගට් කප් ගැන පමණක් නොව; ඇළ -දොළ ගංගා ආදිය ගැන ද අවධානය යොමු කළ යුතු කාලය පැමිණ තිබේ. ඩෙංගු මදුරුවා උදෑසන කාලයේ ද, සන්ධ්‍යා කාලයේද දෂ්ඨ කරන බව මුලින් කියැවිණි. එහෙත් අලුත්ම පර්යේෂණ වලින් තහවුරු කරගෙන ඇත්තේ මේ මදුරුවා දවසේ ඕනෑම කාලයක සිය දෂ්ඨනය කරගෙන යන බවය. මදුරුවා මෙන් ම මිනිසා ද අනුවර්තනය විය යුතු යැයි කියන්නට පුළුවන .

ඩෙංගු රෝගය වැඩියෙන් ම ප්‍රචලිත වී ඇත්තේ බස්නාහිර පළාත තුළ ය . මේ පළාත ආශ්‍රයෙන් මදුරුවා ගැනත්, මදුරුවාගේ ව්‍යාප්තිය ගැනත් කරුණු දැනගත හැකි ය . කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තුන බස්නාහිර පළාතට අයත් ය. ‍මේ දිස්ත්‍රික්ක තුනෙහිම ජනගහනය අධික ය. නිවාස අතර ඇති ඉඩ ප්‍රමාණ අවම ය. කුණු කසළ විශාල ප්‍රමාණයක් ද මේ කලාපය තුළ එකතු වෙයි. ඒ හැරෙන්නට තදබදය වැඩිය. ජරා ඇළවල් මෙන් ම කුණු කාණු ද මේ කලාපයෙහි පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ. මේ සාධක ආශ්‍රයෙන් ඩෙංගු පැතිරීම ගැන නිගමනයකට එළැඹිය හැකි ය. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ සිදු කළ බවක් පෙනෙන්නට නැත.

කියුබාව හැඳින්විය හැක්කේ ලෝකයේ ඉහළම සෞඛ්‍ය ‍සේවාවක් ඇති රටක් හැටියටය. ඒ රට ඩෙංගු රෝගය ඇතුළු වසංගත රෝග ගණනාවක් මුළුමනින්ම වළක්වාගෙන ඇත. ඒ සඳහා කියුබාව පර්යේෂණ සිදු කළා පමණක් නොව; දැඩි නීති රීති ද අනුගමනය කළේ ය. ඇතැම් අවස්ථාවල මදුරු කීට විනාශ කිරීම සඳහා වටිනා දේපොළවලට ගිනි තැබූ අවස්ථා තිබු බවද කියති. වඩාත් වටින්නේ මිනිස් ජීවිත මිස; මිනිසා උපයාගත් දේපොළ නො වේ. එහෙත් අපේ රටේ ජීවිතවලට වඩා දේපොළ වටින ලෙස සලකා ක්‍රියා කරන අය සිටිති. ඔවුන් රජයේ උපදේශන පිළිපදින්නේ නැත. මේ නිසා මදුරුවාගේ ව්‍යාප්තිය වැඩි වී ඇත.          

සාමාන්‍යයෙන් අපට දකින්නට ලැබෙන්නේ පිරිසක් ඩෙංගු මර්දනයට පියවර ගන්නා අතර තව පිරිසක් ඩෙංගු ව්‍යාප්තියට පියවර ගනිමින් සිටින බව ය. ඩෙංගු කීටයන්ගේ තවාන් රජයේ ආයතන වෙතින් ම සොයාගෙන ඇත. තවත් පිරිසක් දඩ ගැසුවද තම පිළිවෙත් වෙනස් නොකරති. ඩෙංගු මර්දනය ආණ්ඩුවකට පමණක් කළ හැකි දෙයක් නොවේ. ජනතාවගේ සහයෝගය මෙහි දී අංක එක ලෙස පවතී. මේ අනුව බලනවිට සතියකට පැයක් මුළු රටම ඩෙංගු මර්දනයට එකතු වුවහොත්, මදුරුවාට හිස එසවීමට නොහැකි වනු ඇත. මේ ක්‍රමය මාස හයක් අවංක ලෙස ක්‍රියාවට නැංවුවහොත් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකි ය. 

නව අදහස දක්වන්න