අල්ලස් කොමිසම අලුත් වෙයි...! | දිනමිණ

අල්ලස් කොමිසම අලුත් වෙයි...!

වත්මන් සමාජය තුළ ඉතා ඉහළින් ම සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් ලෙස අල්ලස හා දූෂණය හැඳින්විය හැකි ය. වඩාත් පැහැදිලි ව කිවහොත් අල්ලස, දූෂණය හා වංචා යන ත්‍රිත්ව ක්‍රියාවලිය මේ මාතෘකාවට අදාළ වේ. සමාජයේ සෑම ස්ථරයක් වෙත ම ඉහත කී ක්‍රියාවලිය ව්‍යාප්ත වී තිබේ. වරෙක ශ්‍රී ලංකාව හැඳින්වූයේ දූෂණයෙන් පිරි රාජ්‍යයක් හැටියට ය. තව වරෙක රාජ්‍ය ආයතන දහයක් දූෂණයෙන් හා වංචාවෙන් උපරිම තැනක පසුවන්නේ යැයි හෙළිදරව්වක් සිදු විය. තවත් වරෙක දූෂණ හා වංචා විමර්ශන සිදු කරන කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ද පැමිණිලි ඉදිරිපත් විය. මෙයින් පෙනී යන්නේ අදාළ ක්ෂේත්‍රය තුළ විශාල අවුලක් ඇති බව ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුව ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත් කළේ වත්මන් ආණ්ඩුව ය. එහි අරමුණ වූයේ දේශපාලන හෝ වෙනත් බලපෑම්වලින් තොරව ස්වාධීන හා ශක්තිමත් ආයතනයක් ලෙස අදාළ ක්‍රියාවලිය පවත්වාගෙන යෑම ය. මේ වන විට කොමිසම ස්වාධීන ලෙස කටයුතු කරන්නේ යැයි පිළිගත හැකි ය. එහෙත් එම ආයතනය කාර්යක්ෂම නැත. ජනතාව අපේක්ෂා කළ තරම් ඉක්මනට වැරැදිකරුවන් සොයාගන්නේ නැත. විමර්ශන සිදුවන්නේ ද ඉබි ගමනේ යැයි කිව හැකි ය. නඩු විභාග ද කල්යන බව පෙනෙයි. සමස්තය ගත්විට සතුටු විය හැකි තත්ත්වයක් නැත. කෝ හොරු ඇල්ලුවාදැ’යි විමසන තත්ත්වයක ජනතාව පසුවෙති.

අල්ලස් ගැනීම, දූෂණ සිදු කිරීම, වංචා කිරීම ආදිය පහසුවෙන් හෙළිදරව් කරගත නොහැකි බව සත්‍යයෙකි. අල්ලසක් ගැනීම විමර්ශන කණ්ඩායම්වල හදිසි මෙහෙයුමකින් හසුකර ගත හැකි වුව ආයතනවල සිදුවන වංචා හා දූෂණ පහසුවෙන් සනාථ කරගත හැකි නොවේ. වංචාකාරයන් ඒවා සිදු කරනුයේ ඉතා සූක්ෂ්ම ලෙස ය. නිදසුනක් ගතහොත් රජයේ ටෙන්ඩරයක් වංචා සහගත ලෙස ලබාදීම සනාථ කිරීම ඉතා දුෂ්කර ය. ආයතනවල ගිණුම් පරීක්ෂා කිරීම ද වෙන ම ක්‍රියාවලියකි. ඒ සඳහා විශේෂඥ ඥානයක් නැති කෙනකුට ගිණුම් පරීක්ෂාව විශාල අවුලක් බවට පත්වනු ඇත. රජයේ ඉදිකිරීමක සිදුවන වංචාවක් ගැන සෙවීමට සිවිල් ඉංජිනේරු විෂය දැනගෙන සිටිය යුතුය.

මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති කොමිසම ඒ සඳහා අලුත් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එහි වටිනා ම පියවර වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට විශේෂඥයන් පිරිසක් බඳවා ගැනීම ය. මේ අනුව ගණකාධිකරණ, බැංකු කටයුතු, ගිණුම්කරණ, කළමනාකරණ, සුරැකුම්පත්, අන්තර්ජාතික දේපොළ ගනුදෙනු, ඉංජිනේරු, පරිගණක විද්‍යාව, තොරතුරු සන්නිවේදනය වැනි විෂයයන් හදාරා ඒ පිළිබඳ විශේෂඥ ඥානයක් හා අත්දැකීම් ඇති දෙසීයක කණ්ඩායමක් කොමිසමට බඳවා ගනු ලැබේ. මීට පෙර මේ කොමිසම සමන්විත වූයේ නීතිඥයන් හා පොලිස් නිලධාරීන්ගෙන් පමණක් බවද කිව යුතුය. මේ තීන්දුව ඉතා වැදගත් බව කිව යුතුය.

2007 සිද්ධියක් අප සිහියට නැ‍ඟේ. එදා පුවත්පත් මගින් හෙළිදරව් කර තිබුණේ ජල සම්පාදන මණ්ඩලයේ ගිණුම් වෙනස්කර වසර කිහිපයක් තිස්සේ රුපියල් කෝටි හත්සිය විසිපහක් වංචාකර ඇති බව ය. මේ ගිණුම් වෙනස් කිරීම නිසා අදාළ ආයතනයේ වාර්ෂික ගිණුම් ලේඛන පවා සකස් කර ගැනීම දුෂ්කර වූ බව 2011 දී වාර්තා විය. මීට අදාළ විමර්ශන කටයුතුවලට සිදු වූයේ කුමක්දැ’යි ජනතාව නොදනිති. කාලයක් ගත වන විට දූෂණ වංචා යට යයි. ජනතාවගේ අවධානයෙන් ද ඒවා ගිලිහී යයි. ආයතනයක ගිණුම් පරීක්ෂා කිරීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ව්‍යාජ ගිණුම් පරීක්ෂාව කොහොමටත් අමාරු ය. බැංකු කටයුතු, සුරැකුම්පත්, අන්තර්ජාතික දේපොළ ගනුදෙනු ආදිය විමර්ශනය කිරීමට නම් එම විෂයයන් පිළිබඳ පූර්ණ දැනුමක් තිබිය යුතුය. සුරැකුම්පත් කියූ කල එහි ක්‍රියාකාරිත්වය රජයේ උසස් නිලධාරීන් පවා දන්නේ නැත.

කොමිසම සඳහන් කරන අන්දමට විශේෂඥ දැනුම සහිත සම්පත් දායකයන් බඳවා ගන්නවා පමණක් නොව; ඔවුනට විදේශීය පුහුණුව ලබාදීමට ද වැඩපිළිවෙළ සකස් කෙරේ. දූෂණ හා වංචා අඩු රටවල් හැටියට සැලකෙන්නේ සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව ආදී රාජ්‍යයන් ය. මේ රටවල් දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන් පුහුණු කරමින් ද, නීති-රීති ප්‍රතිසංස්කරණය කරමින් ද, අදාළ ආයතනවලට උපරිම බලතල ලබා දෙමින්ද ප්‍රශස්ත මට්ටමක් කරා පැමිණ තිබේ. ඇතැම් රටවල හෝටලයක සේවකයකුට ‘ටිප්’ එක ලබා ගැනීම ද තහනම් ය. මෙබඳු ශිෂ්ටාචාරයක් එකවර පහළ වන්නේ නැත. එය දිගු ගමනක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි ය. මේ වනවිට කොමිසම පෙන්වා දෙන්නේ අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පමණක් නොව; නිවාරණ කටයුතු ද කොමිසමේ රාජකාරියක් වී ඇති බව ය.

නූතන ලෝකය ගතහොත් එහි දූෂණ හා වංචා සිදුවන්නේ කිසිවකුටත් සිතාගත නොහැකි සූක්ෂ්ම අන්දමින් ය. බොහෝ වංචා සඳහා තාක්ෂණය උපයෝගී කර ගනී. තව වංචා සඳහා මුළා කිරීම උපයෝගී කර ගනී. තවත් වංචා සඳහා අන්තර්ජාතික ගනුදෙනු යොදා ගනී. මෙබඳු වංචාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒම දුෂ්කරය. ඊට අදාළ එක් හේතුවක් වන්නේ වංචා හා දූෂණ විද්‍යාත්මක ලෙස හෙළිදරව් කරගැනීමට ඇති අපහසුතාවයි. විද්‍යාත්මක ව සනාථ කළ නොහැකි දේවල් සඳහා නීතියෙන් දඬුවම් ලබාදීමට නොපුළුවන. රටක දූෂණ හා වංචා හෙළිදරව් කරගැනීමට ද, වැරදිකරුවනට දඬුවම් ලබාදීමට ද, විද්‍යාත්මක විමර්ශන පැවැතිය යුතුය. පරණ පන්නයේ මෙවලම් හා පරණ පන්නයේ නිලධාරීන් සමඟ අල්ලස් හෝ දූෂණ වැළැක්විය නොහැකි ය.

කොමිසම ගෙන ඇති අලුත් පියවර ගැන සතුටු විය හැකි ය. එහෙත් අපට ඒවා මුළුමනින්ම පිළිගත හැක්කේ ප්‍රතිඵලය හොඳ වුවහොත් පමණි. 

අදහස් 1ක් ඇත

serama horu diya wannawe vasayv krayai

නව අදහස දක්වන්න