කිරි ගවයන් 14ක් මරා මස් ගෙනයද්දී මාට්ටු | දිනමිණ

කිරි ගවයන් 14ක් මරා මස් ගෙනයද්දී මාට්ටු

සකුන්තලා ජයසිංහ

ගොවීන්ගෙන් සොරා ගත් කිරි ගවයන් දාහතර දෙනෙක් මස් කර සංචාරකයන් ප්‍රවාහනය කරන පුවරුව සහිත සුපිරි වෑන් රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් තුන්දෙනෙක් අඹන්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහව ,මීගලෑව සහ ගල්ගමුව ප්‍රදේශවලින් සොරා ගන්නා ලද කිරි ගවයන් දාහතර දෙනෙක් මරා මස් කර මාතලේ යටවත්ත ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී අඹන්පොළ පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මේ සැකකරුවන් සමඟ , මස් තොගය සහ ශරීර කොටස් අත් අඩංගුවට ගන්නා ලදී.

කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය බණ්ඩාර සහ මහව සහකාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අඹන්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.එස් පත්මකුමාර , අපරාධ හා පාලන අංශයේ පොලිස් පිරීක්ෂක ඩබ්ලිව්.ජී.එන්.එම් චන්ඳ්‍රසිරි යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සුක්ෂම වැටලීම සිදු කළහ.

ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ කිරි ගවයින් අතර පැටවකු බිහිකර දෙදිනක් ගත වු වැස්සියක ද වන අතර මේ වන විට සතුන්ගේ අයිතිකරුවන් කිහිපදෙනකු විසින් තම සතුන් ශරීර කොටස්වලින් හඳුනා ගැනීමට සමත් වී තිබේ.

අපරාධය සඳහා යොදා ගත් සුඛොපභෝගි වෑන් රිය සංචාරකයන් ප්‍රවාහනය කරන ස්වරූපයෙන් ඉතාමත් සුක්ෂම ලෙස සකසා තිබුණු අතර එය කුලි පදනම මත දංකොටුව ප්‍රදේශයෙන් ලබා ගත් එකක් බැව් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු අඹන්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී .එස් පත්මකුමාර මහතා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මීට පෙර විවිධ වැරැදි සම්බන්ධයෙන් අධිකරණයේ වැරැදිකරුවන් වු පිරිසක් බවත් ඔවුන් වාරියපොළ බන්ධනාගාරය තුළදි ඇති කර ගත් සුහදත්වයක් මත මේ ජාවාරම කර ගෙන ගොස් ඇති බවත් කියා සිටියේය. සිද්ධියේ සැකකරුවන් රන්දෙණිගම මීගලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මේ ගව මස් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් එක් සැකකරුවකු පලා ගිය බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීම ට විමර්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සැකකරුවන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොළ , ගල්ගමුව මීගලෑව සහ මහව පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ෂන සිදු කෙරේ.

ගල්ගමුව සමුහ එම්.එම්.ක්‍රිෂාන්

නව අදහස දක්වන්න